[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ප්‍රතිපදාවම උතුම්ය

ප්‍රතිපදාවම උතුම්ය

මනුෂ්‍යන් විසින් ලබා ගැනීම සඳහා ප්‍රාර්ථනා කරන එහෙත් ලබා ගැනීමට අපහසු කරුණු හතරක් ඇති බව අංගුත්තර නිකා‍යේ චතුත්ත නිපාතයේ දැන්වෙන පත්තකම්ම සූත්‍රයෙහි සඳහන් වේ. එහි දෙවැනි කරුණින් “යසොමං අබ්භූග්ගච්ඡතු” යනුවෙන් තමාගේ කීර්තිය සෑම තැන පැතිරේවායි බොහෝ දෙනා ප්‍රාර්ථනා කරන බව පෙන්වා දී ඇත. යම්. කිසි කෙනෙක් අන් අයට ප්‍රිය මනාප ව ජීවත්වෙත් ද, ඔහු පිළිබඳ කීර්තියක් ඇතිවීම සාමාන්‍ය සිදුවීමකි.

සමාජයෙහි ජීවත්වන කෙනෙකු කෙරෙන් ප්‍රියමනාප ගතියක් ඇතිවීම එතරම් ලේසියෙන් සිදුවන පහසු කරුණක් නොවේ. දිනක් බුදුහු අසූ මහා ශ්‍රාවකයන් ප්‍රධාන පන්සියයක් භික්ෂූන් සමඟ රජගහනුවර පිඬුසිඟා වැඩියහ. ඒ වේලාවෙහි තරුණයන් කණ්ඩායමක් භාජනවල කැවුම් පුරවාගෙන මඟ ගමන් කරන අතර බුදුරදුන් ප්‍රධාන භික්ෂූන්ට නමස්කාර කරන්නට ද වූහ. එහි දී මහා කාශ්‍යප හිමියන් දුටු ගමන් ම ඔවුහු නමස්කාර කර “ඕනෑම තරමක් කැවුම් පිළිගන්න” යැයි ඉල්ලා සිටියහ. එවිට උන්වහන්‍සේ ඔය කැවුම් බුදුරදුන් ප්‍රධාන සංඝයාට ද පූජා කරන්න යැයි කළ ඉල්ලීම නිසා හැමදෙනා වහන්සේට ම කැවුම් ලබා ගැනීමට හැකි විය. එහි දී බුදුහු මහා කාශ්‍යප හිමියන් තුළ පැවති ‍බොහෝ ගුණධර්ම නිසා අන් සෑම දෙනාගේ ම ප්‍රසාදය දිනාගත හැකි අන්දමට වැඩ වසන බවත්, ඒ හේතුවෙන් කැවුම් පූජා කළ බවත් පෙන්වා දුන්හ.

සමාජයේ ජීවත්වන සමහර අය අන් අයගේ ප්‍රසාදය දිනා ගැනීම අවශ්‍ය වූ විට නැති හිතවත්කම් පෙන්වති. විවිධ අවශ්‍යතා සම්පූර්ණ කරමින් මහත් පරිත්‍යාගශීලීන් සේ කටයුතු කරති. අනාගතේ කිසිදු අඩුවක් නැතිව සලකන බවට පොරොන්දු ද දෙති. මේවායින් වැඩි හරියක් තම අවශ්‍යතාව සපුරා ගැනීමට දෙන බොරු පොරොන්දු පමණි. මධ්‍යස්ථව සිතන විට පෙනී යන්නේ අන් අයගේ ප්‍රසාදය අවංකව දිනා ගැනීමට නම් උසස් ගුණධර්ම අනුගමනය කළ යුතු අන්දම බුදුරදුන් විසින් පෙන්වා දී ඇති බවයි. ධම්මපදට්ඨ කතාවේ ප්‍රිය වර්ගයෙහි ඒ සඳහා අවශ්‍ය ගුණධර්ම පහක් පිළිබඳව සඳහන් වේ.

ප්‍රියවීමට හේතුවන පළමු වන කරුණ නම් සීලවන්ත වීමයි. බොහෝ විස්තරාත්මකව ධර්ම ග්‍රන්ථයන්හි සඳහන් වී ඇති සීලය ඉතා සැකෙවින් ගත් කල චාරිත්‍ර සීලය හා වාරිත්‍ර සීලය යනුවෙන් කොටස් දෙකකින් හැඳීන්විය හැකිය.

විශුද්ධි මාර්ගයෙහි “පාණාතිපාතාදී හි වා විරමන්තස්ස වත්ත පටිවත්තං වා පුරෙන්තස්ස චේතනාදයො ධම්මා” යනුවෙන් සතුන් මැරීම ආදී සියලු පාප ක්‍රියාවලීන් ඉවත් විය යුතු බව සඳහන් කළ හැකිය. ගෘහ ජීවිත‍යක් ගත කරන අය විසින් අනුගමනය කරන පංචසීලයේ පටන් ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පරිශුද්ධි සීලය හා ප්‍රත්‍යය සන්නිශ්‍රිත සීලය යන සිව් පිරිසිදු සීලයන් ආරක්ෂා කිරීම චාරිත්‍ර සීලයට අයත් වෙයි. මවුපිය, වැඩිහිටි ආදීන්ට සැලකීම, වැඳුම් පිදුම් කිරීම, ගිලනුන්ට උපස්ථාන කිරීම, ගේ දොර ඇඳුම් පැළඳුම් ආදිය පිරිසිදු කිරීම චාරිත්‍ර සීලට අයත් වේ. එසේ ම මහ මඟක දුම්රිය හෝ බස්රියක ගමන් කිරීමේදීත් කාර්යාලයක හෝ වෙනත් වැඩපලක රැකියාවක යෙදීමේදීත් අනුන්ට කරදරයක් නොවන අන්දමට ක්‍රියා කිරීම මෙන් ම අනුන්ට උපකාර කිරීම හොඳ චාරිත්‍රයන් ය. ඈත කාලයේ සිට ලාංකික සමාජය ලෝක‍යේම ගෞරවයට පාත්‍ර වූ‍යේ අනුගමනය කළ මෙවැනි හොඳ සිරිත් විරිත් නිසා බව අප වටහා ගත යුතු ය.

ජනප්‍රිය වීමට ඇති දෙවන ගුණය ප්‍රඥාවෙන් යුක්තව ක්‍රියා කිරීමයි. මෙය ලෞකික හා ලෝකෝත්තර යනුවෙන් දෙකොටසකට අයත් වෙයි. ගිහි පැවිදි සෑම දෙනාට ම තිබෙන වටිනාම වස්තුව ප්‍රඥාවයි. එහි අගය ආලවක සූත්‍රය ඇතුළු බොහෝ සූත්‍රවල පෙන්වා දී ඇත.

ධර්මයේ පිහිටා ක්‍රියා කිරීම කෙනෙක් ප්‍රියමනාපත්වයට පත්වීමට හේතුවන තවත් කරුණකි. මෙලොව වශයෙන් ලෙඩ දුක් වලින් තුරන්ව බාධක හිරිහැර මැඬ පවත්වාගෙන සෑහෙන කාලයක් ජීවත් වීමට ධර්මයේ පිහිටා සිටීම හේතු වෙයි. බොහෝ දෙනා දන්නා මහා ධර්මපාල ජාතකය මේ සඳහා නිදසුනකි. කොපමණ අවිවේකී ජීවිතයක් ගත කළත් හැකි සෑම අවස්ථාවක ම උතුම් සීලයේ පිහිටා සිට නිවන් අවබෝධ කරගැනීමේ ප්‍රතිපදාවක යෙදීම අතිශයින් වැදගත් ය.

“සච්‍චවේදී‘‘ යනුවෙන් දැක්වෙන සිව්වන කරුණින් පෙන්වා දී ඇත්තේ චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීමට ක්‍රියා කිරීමයි. එය සිතන තරම් ලේසි නොවිය හැකි ය. පළමුවන දුක්ඛ සත්‍යයෙන් ඉපදීම, ජරාව, ලෙඩවීම ආදිය දුක් සහිත බව අපට නිරන්තරයෙන් දැනගතහැකි වුවත්, එය ගැඹුරින් කල්පනා කොට හරිහැටි වටහා ගැනීමක් සිදු නොවේ. එසේ වීමට හේතුව දුක්ඛ සමුදය සත්‍යය තේරුම්ගෙන නිවන් අවබෝධ කර ගැනීමේ මාර්ගයෙහි නොයෙදීමයි. මෙසේ අතපසු කිරීම අප අපට ම කරගන්නා බලවත් පාඩුවකි. දුක් වූ සසර දිගු කලක් විසීමට ද එය හේතු වේ.

තමාට අයත් කාර්යයන් සිදු කිරීම ප්‍රිය මනාප භාවය ඇතිවීමට හේතුවන පස්වන කාරණයයි ලෞකික වශයෙන් බලන විට හැම කෙනෙකුට ම තමාගේ වයස අනුව ගෘහ ජීවිතයේ ගෙවන අවස්ථා අනුව කළ යුතු කාර්යයන් රාශියකි. මවුපියන් වශයෙන් සලකන විට දූ දරුවන් ගුණ නැණ දෙකින් උසස් තත්ත්වයට පත් කිරීමට විශේෂයෙන් ක්‍රියා කළ යුතු ය. ඒ සඳහා අවශ්‍ය කරන පළමුවන කාර්යය නම් ශ්‍රේෂ්ඨ උසස් ගුණධර්මයන්ගෙන් පරිපූර්ණ වූ ජීවිත මවුපියන් විසින් ගත කිරීමයි. වැඩිහිටි අය පස්පව් දස අකුසල් ආදියේ යෙදෙමින් සිටිත් නම් දරුවන් යහපත්ව හදාගැනීම කිසිසේත් පහසු නොවේ.

පීතෘ ඝාතක අජාසත් රජ උදායිභද්‍ර නම් තම පුතණුවන් ගුණධර්මවලින් යුක්තව සෑදීමට අධිෂ්ඨාන කළත් එය බොහෝ දුරට ඉටු නොවීය. පියා මරා රජකම ලබාගත් අජාසත් රජතුමා මරණයට පත් කොට උදායිභද්‍ර නම් වූ පුත්‍රයා රජවීම පිළිබඳ සිදුවීම සෑම දෙනාම සිහියේ තබාගත යුතු උදාහරණයකි. ඉගෙනීම, රැකියාවල යෙදීම ආදී සෑම කාර්යයක ම නියුක්ත අය තමන්ට අයත් වූ දේ නිසි ලෙස හරිහැටි සිදු කළ හොත් පුද්ගලයන් හා පවුල් පමණක් නොව රට ද යහපත් තත්ත්වයට පත්වනවාට සැක නැත.

 වෙසක් පුර පසළොස්වක පෝය 

  වෙසක් පුර පසළොස්වක පෝය මැයි මස 06 වනදා බදාදා අපරභාග 07.44 ට ලබයි. 07 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 04.15 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි 07 වනදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය 14 වනදා
බ්‍රහස්පතින්දා

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මැයි 07

Second Quarterඅව අටවක

මැයි 14

Full Moonඅමාවක

මැයි 21

First Quarterපුර අටවක

මැයි 30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]