[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දුක තුළින් සතුට සොයා යන දහම් මග

දුක තුළින් සතුට සොයා යන දහම් මග

දුක යනු කුමක්දැයි බෞද්ධ ඉගැන්වීම් වලට අනුව නිවැරැදි ව වටහා නොගන්නාට ‘බුදු දහම දුක තුළින් සතුටට’ යන කියමන ම ප්‍රහේලිකාවක් වනු ඇත.

බුදු දහමේ පදනම චතුරාර්ය සත්‍යයයි.. එය දර්ශනයේ සහ චරණයේ හදවතයි. එහි පරමාර්ථය පරම සැපය සාක්ෂාත් කරගැනීමය්. පරම සැපය නිවනයි. නිවන සාක්ෂාත් කළ හැක්කේ වර්තමාන ජීවිතයේයි. පරලොව නොව මෙලොව දී ම මෝක්ෂය, නිවන හෙවත් නිෂ්ටාව අවබෝධ කළ හැකි කිසිදු නිර්මාණවාදී දහමක් ලොව තිබුණේ නැත. එබැවින් මේ දහම පෙර නොඇසූ විරූ

(පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු) දහමයි. අද ද එවැනි වෙනත් දහමක් නැත.රහතන් වහන්සේ යනු සුජීවත්ව වැඩ හිඳීමින් නිවන් සැපය නම් අවේදයිත සැපය විඳීන උත්තමයා යි. ගෞතම බුදුරජාණන් වහන්සේ නිවන් සැපයට පත් වූයේ උපතින් වසර 35 දීයි. සැරියුත් මහා රහතන් වහන්සේ නිවන් සුවය ලැබුවේ වයස අවුරුදු විස්සට අඩු භද්‍ර යෞවන සමයේ යි. ඒ උත්තමයෝ සුජීවත්ව පිරිනිවන් ව පිරිනිවන සඳහා අපට දහම් දෙසූහ. (පරිනිබ්බුතො සෝ භගවා

පරිනිබ්බානාය ධම්මං දේසේති). මෙයින් නිවන යන්න වටහා ගත හැකිය.

දුක්ඛ ආර්ය සත්‍යය දුක පිළිබඳ උතුම්ම සත්‍යයයි. විගහ්‍රයයි. එය යථාර්ථ දර්ශනයයි. යථා භූත ඤාණයට වන ආධාරකයයි. දුක යන්නේ සාමාන්‍ය අර්ථය වේදනාව, කනගාටුව, විපත, කරදරය, යන්නයි. එම අර්ථයන් දුක්ඛ යන වචනයෙන් ප්‍රකාශ වෙයි. එසේ වුව ද බුදු රජාණන් වහන්සේ දුක්ඛ යන්නෙන් වදාළේ අනිත්‍යතාව, තුච්ඡතාව, අපරිපූර්ණතාව යන ගැඹුරු අරුතයි. ඒ ඉගැන්වීම් සාමාන්‍ය අර්ථයෙන් සලකා වුව වඩාත් සිහි නුවණින් කල්පනා කිරීමෙන් දාර්ශනික අර්ථයට ප්‍රවේශ විය හැකිවේ. යමක් අනිත්‍ය ද එය දුකකි. (යද’නිච්චං තං දුක්ඛං) ඒ අනුව විශ්වගත යම් සංස්කාරයක් වේද එය දුකකි.

ධම්මචක්කපවත්තන සූත්‍රය ඇතුළු සූත්‍රවල විවිධාකාරයෙන් විස්තර වන දුක් ලේඛනයක්

වෙයි. ඉපදීම, වයසට යෑම, ලෙඩ වීම, මරණය , අප්‍රිය සම්ප්‍රයෝගය, ප්‍රිය විප්‍රයෝගය, ඉච්ඡා විඝාත පංච උපාදානක්ඛන්ධය සහිත දුක්ඛ දොමනස්සයන් අනිත්‍යතාව පදනම් වන දේවල් ය. ඉපදීම යනු සියලු දුක් වලට හේතු වන හේතු දුකයි. කෙලෙස් ඉපදීම නිසා වන සංතාපයයි. ඉපදීම ස්වභාව කර ඇත්තේ අඹුදරුවන් , වතු පිටි ,යානවාහන, දසු දැසියන් බව අරිය පරියේෂණ සූත්‍රයේ විග්‍රහ වෙයි. අනිත්‍යතාව යථාර්ථය වුවත් එය නොපිළිගැනීමෙන් ඇතිවන මානසික අසහනය සහ අතෘප්තිය වයසට යෑම, ලෙඩවීම, මරණ භය තුළින් ඇතිවේ. එවිට ඇතිවන්නේ සාමාන්‍ය ව්‍යවහාරයේ දැක්වෙන දුකයි. අනිත්‍යතාව නොදැනීම සහ අනාත්මයේ ස්වභාවය සාමාන්‍ය වශයෙන් වටහා නොගැනීම නිසා ඇති වන්නේ අපරිපූර්ණත්වයයි. සත්‍යය යථා තත්ත්වය ම බැවින් බුදු දහම අශුභවාදයක් හෝ ශූභවාදයක් හෝ දුක්ඛ වාදයක් හෝ සුඛ වාදයක් හෝ නොවන සියලු දෘෂ්ටීන් ප්‍රහාණය කිරීම තුළින් අවේදයිත සැපය ලබන දහමයි.

සංයුක්ත නිකායේ අණණ සුත්‍රයේ කාමභෝගි ගිහියකු විසින් ලබන සැප සතරක් විස්තර වෙයි.අත්ථි සුඛ,භොග සුඛ,අණණ සුඛ, අනවජ්ජ සුඛ යනුවෙන් එම සැප සතර හඳහන් ව ඇත. උට්ඨාන වීර්යයෙන්, දැතේ වීර්යයෙන්, දැහැමින් උපයා ගන්නා ධනයක් තමාට ඇතැයි සිතමින් ගිහියෙක් සැපයක් ලබයි. තමාට සහ තමන්ගේ , අඹු දරුවන්ගේ සහ දූදරුවන් ගේ යහ පැවැත්ම පිණිස ගේ දොර, යාන වාහන, සහිත සැපවත් ජීවිතයක් මට ඇතැයි සතුටට පත්වීම අත්ථි සුඛයයි. දරුවන්ට උසස් අධ්‍යාපනයක් දීම, අවශ්‍ය සමාජ සබඳතා පැවැත්වීම, රජයට බදු ගෙවීම, මියගිය ඤාතීන් වෙනුවෙන් පින් දහම් කිරීම,ඤාතීන්ට සංග්‍රහ කිරීම, ආගමික කාර්යයන්ට උදවු කිරීම ආදී බලි හෙවත් යුතුකම් කළ හැක්කේ ධනයෙනි. මහමග සිගාකමින් , බස් නැවතුම් පලක නිදාගනිමින් ලබන සතුටක් කිසි ගිහියෙකුට නැත. උට්ඨාන වීර්යය නැති කමේ අකුසලය (කෞශල්‍යය නැති කම) විනා මෙය සසර කර්ම දෝෂයක් නොවේ. කුලී ගෙවල්වල හෝ බදු ගෙවල් වල ජීවත්වන්නෝ අත්ථි සුඛයේ වටිනාකම මැනවින් දනිති. වර්තමාන කොවිඩ් 19 වසංගතය තුළ තමාට කියා කිසිවක් නැත්තෝ විඳින වේදනාව සුළු පටු නොවේ.

තමන් පරිභොජනය කරමින් ද, පරහට දීමෙන් ද ගිහියා මෙලොව ප්‍රශංසා ලැබ පරලොව සුගති ගාමී වන බව බුදුරජාණන් වහන්සේ වදාළේ සම්භාවනීය ජීවිතය පරිත්‍යාගයෙන් යුක්ත බව පෙන්වා දීමටයි. ණය නොවී ජීවත් වීම අණණ සුඛයයි. මේ සැප තුනටම වඩා ශ්‍රේෂ්ඨ වන්නේ නිවැරැදිව ධාර්මික ව ධනය ඉපයීමයි. ජීවිතය දුක් ගොඩක් පමණක් නම් මෙවන් දේශනයක් තිබිය නොහැකිය. මේ සියලු සැප භික්ෂුවට ලැබෙනුයේ ආජීව පාරිශුද්ධි ශීලයෙන් සහ ඉන්ද්‍රිය සංවර සීලයෙනි.

බුදුරදුන් වදාළ සැපය කුමක් දැයි වටහා ගත හැකි දේශනයක් ධම්ම පදයේ නාග වග්ගයේ වෙයි. එහි සැප 12ක් කියවේ. විපතක දී උදවුවට මිතුරන් සිටීම, උට්ඨාන වීර්යයෙන් ලද දෙයකින් සතුටුවීම (තුට්ඨී), මුලු ජීවිත කාලයේ ම පින් කළෙමි’යි සිතීම, සියලු දුක් ප්‍රහාණය කිරීම, මාතෘ උපස්ථානය, පීතෘ උපස්ථානය, ශ්‍රමණ උපස්ථානය, අරහන්ත උපස්ථානය, ජීවිත කාලයම සිල් රැකීම, ශ්‍රද්ධාවත්වීම, ප්‍රඥාව ලැබීම ,පවු නොකිරිම යන දැ ජීවිතයේ ලබන සැප වෙයි.

ව්‍යගඝ්පජ්ජ සූත්‍රයේ දීඝජානු කෝලිය නම් කුලපුත්‍රයා බුදුරජාණන් වහන්සේගෙන් විමසූ කරුණුත් ඊට බුදුරදුන් දුන් පිළිතුරත් ගිහි ජීවිතයේ සැනසුම, සතුට සහ තෘප්තිය ලබා ගනීමට අදාළ වෙයි. ස්වාමීනි, අපි කාමභෝගී ගිහියෝ වෙමු. කම් සැප විඳීමින් අඹු දරු සම්බාධ සහිතව වසමු. කසී සළු, සඳුන් පරිභෝග කරමු. මල් ගඳ විළවුන් දරමු. රන් රිදී මසු කහවනු ඉවසමු. අපට මෙලොව හිත සුව පිණිසත්, පරලොව හිත සුව පිණිසත් දහමක් දෙසනු මැනවි. මේ ධනවත්, නැණවත් කුල පුත්‍රයාට බුදුරදුන් වදාළේ දෙලොව හිත සුව හෙවත් සන්තෝෂයෙන් ජීවිතය ගොඩ නඟා ගන්නා මගයි. උන්වහන්සේ කුල පුත්‍රය ඔය දුක් සහිත ගිහි ජීවිතය අතහැර සියලු වස්තු ගඟක පාකර දමා බ්‍රහ්මචර්යාව රකින්න මා සමග එක්වන්නැයි නොවදාළහ.

බුදු දහමට අනුව සියලු සත්වයෝ සැපයට කැමති ය. (සුඛ කාමානි භූතානි) පීඩාවට මරණයට භය ය. (සබ්බේ තසන්ති දණ්ඩස්ස-භායන්ති මච්චුනෝ) යමෙක් තමාට සැප ලැබීම සඳහා අනුන්ට පීඩා කෙරන්නේ නම් ඔහු පරලොව නසා ගනයි. සැප හා සතුට පරහිංසාවෙන් තොර විය යුතු ම ය. ඒ සඳහා ගිහියන්ට බුදුරදුන් වදාළ ශික්ෂණ ක්‍රමය පංච ශීල සමාදානයයි. පැවිදි ජීවිතයේ සතුට හා සැනසීම බ්‍රහ්මචර්යා මත පවත්නාක් මෙන් ගිහි ජීවිතයේ සතුට හා සැනසීම පවතින්නේ කාමේසු මිච්ඡාචාරයෙන් වෙන් වීමෙනි. මෙහි දක්වා ඇත්තේ කාමේසු හෙවත් කාමයන්හී යන්නයි. එය බහුවචනයි. කාමය යනු ඇසේ කාමය, කණේ කාමය, නාසයේ කාමය, දිවේ කාමය, කයේ කාමය හා මනසේ කාමය වශයෙන් මූලික ව සය වැදෑරුම් වෙයි. එය විග්‍රහ වන විට කෝටි ගණනක් කාමයන් සංඛ්‍යා කළ හැකියි. මෙම ආයතන මගින් මිනිසා ආශ්වාදයක් ලබයි. එම ආශ්වාදය වරදවා ලැබීම කාමේසු මිච්ඡාචාරයයි. එම අස්වාදය තුළින් කලකදී ඔහු විපරිණාමය දකියි.ඒ අනුව ආදීනව වටහා ගනියි . ඒ නිසා ආසාවන් තුනී කර ගැනීමත් ,ප්‍රහාණයත් සිදුකරයි.එය නිස්සරණයයි. ආර්ය මාර්ගය සැකසෙනුයේ මේ ලෙසයි.

ගිහි ජීවිතයේ සංවරය මෙන්ම සංයමය ලබනුයේ කාමයන් වරදවා නොපිළිපැදීමෙනි. තම සතුට හෝ පැවැත්ම සඳහා අනිත් සත්වයාට හිරිහැර කිරීම හෝ ජීවිතය නැසීම නම් වන ප්‍රාණ අතිපාතය නොකළ යුතු වෙයි. තම පැවැත්ම හෝ සතුට සඳහා නොදුන් දෙයක් නොගත යුතුවෙයි. තම සතුට හා පැවැත්ම සඳහා බොරු,කේලම් , පරුෂ, හිස් වචන නොකිය යුතු වෙයි. තම සතුට සඳහා සමාජ සම්මත ගිවිසුම් බිඳ දමමින් කටයුතු නොකළ යුතුවෙයි. සුරා පානය සහ මත්ද්‍රව්‍ය භාවිතය නොකළ යුතු වෙයි. ස්වකීය කුටුම්භ රක්ෂණය ගිහියා කළ යුත්තේ අනෙක් මිනිස් සාමාජිකයකුට මතු නොව සතෙකුට වුව බාධා නොකරමිනි. ගිහි සැපය පිළිබඳ දැනුමින් යුත් ගෘහස්ථ සාමාජිකයා දූ දරුවනට අධ්‍යාපනය ලබා දීමේ පටන් සියලු යුතුකම් ඉටු කළ යුත්තේ දැහැමි දර්ශනයකින් හා චර්යාවකින් යුක්තවයි.

කාම යන වචනය කෙනෙක් වරදවා වටහා ගත හැකි බැවින් එම වචනය ස්වාධීනව යෙදෙන අවස්ථාවල බුදු රජාණන් වහන්සේ කාමයේ අප්‍රසන්න බවම වදාළහ. කාමය කුණු මස් වැදැල්ලක්, ගිනි ගොඩක් වැනි උපමා යෙදුවේ එබැවිනි. අල්ප මාත්‍ර වශයෙන්වත් තමන් වහන්සේ කාමය වර්ණනා නොකරන බව උන්වහන්සේ වදාළහ.

දුක පිළිබඳ ඉගැන්වීමෙන් පැහැදිලි වන්නේ යථාර්ථයයි. ඇති දේ ඇති සැටියෙන් කීමයි.

 වෙසක් පුර පසළොස්වක පෝය 

  වෙසක් පුර පසළොස්වක පෝය මැයි මස 06 වනදා බදාදා අපරභාග 07.44 ට ලබයි. 07 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 04.15 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි 07 වනදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය 14 වනදා
බ්‍රහස්පතින්දා

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මැයි 07

Second Quarterඅව අටවක

මැයි 14

Full Moonඅමාවක

මැයි 21

First Quarterපුර අටවක

මැයි 30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]