[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සම්බුදු උපත සැපතකි

සම්බුදු උපත සැපතකි


මිනිස්සු උපදිනවා, ජීවත්වෙනවා, මැරෙනවා. ඒ මිනිසුන් අතරෙන් ම කලාතුරකින් කෙනෙක් බුද්ධත්වයට පත්වෙනවා. ඒ කාලාන්තරයක් පුරා පුරන ලද පෙරුම්දම්වල ප්‍රතිඵල වශයෙන්. අප ජීවත් වන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වූ, උන් වහන්සේගේ දහම පවතින කාලයක යි.

බුදුවරයන් වහන්සේ නමකගේ පහළවීමත්, ධර්ම විනය ලෝකයේ පැවතීමත් ලෝකයට හිත පිණිස, සැප පිණිස පවතින බව සුගත විනය සූත්‍රයේ තථාගතයන් වහන්සේ ම දේශනා කොට තිබෙනවා. ලෝකයේ මිනිස්සු කල්පනා කරන්නේ, තමන් සිතන දේ එලෙසින් ම ඉටු වෙනවා නම් එය සැපයක් කියලයි. ඇස, කන, නාසය, දිව හා ශරීරය යන පසිඳුරන් ඇසුරෙන් ලබන සංතෘප්තිය ම ඔවුන් අපේක්ෂා කරනවා.

ඉඳුරන් පිනවන්නට ලැබීම සැපයක් කියලා හිතනවා. එහෙත් කිසිවෙකුටත් කිසි විටෙකත් එලෙස තමන් සිතන පතන සියල්ල එලෙසින්ම සපුරා ගැනීමට හැකියාව ලැබෙන්නේ නැහැ. එසේ නොවන විට ඇති වන්නේ දුකක්. එබැවින් ලෝකයේ සියලු දෙනාම බොහෝ විටජීවත් වෙන්නේ බලාපොරොත්තු කඩ වූ අය හැටියට දුකෙන්, වේදනාවෙන්. එනිසා බොහොම ඈත කාලයක ඉඳලාම දුක යටපත් කිරීමට, නැතිනම් නැතිකර දැමීමට ක්‍රම සෙවීම කෙරෙහි මිනිසුන් උනන්දුවක් දැක්වූවා. බුද්ධ කාලයට පෙර සිටම මිනිසා දුකෙන් මිදීම පිණිස, නොයෙක් ක්‍රියා මාර්ග අනුගමනය කළ බව පොත පතෙහි දැක්වෙනවා. මහා බ්‍රහ්මයා, ඊශ්වරයා වැනි අදෘශ්‍යමාන බලවේග කෙරෙහි විශ්වාසය තැබීම ඒ අතරින් එක් ක්‍රමයක්. තව කොටසක් සිරුරට දුක්දීම තුළින්ම සියලු දුක් නිමා කළහැකි බව හිතුවා. මේ අතර සිරුරට අසීමිත ලෙස සැප දීමෙන් දුක් දුරලිය හැකි බව පිළිගත් පිරිසක් ද හිටියා. මේ කිසිදු ක්‍රමයකින් දුක නැතිකළ නොහැකි බව පසක් කරගත් බුදු රජාණන් වහන්සේ, ලෝකයට අනාවරණය කරන ලද්දේ එතෙක් ලෝකයේ කිසිවෙකුත් සොයා නොගත් නවතම ක්‍රියා මාර්ගයකි.

වරක් අචේල කස්සප නම් පිරිවැජියා බුදුරජාණන් වන්සේ වෙත පැමිණ ප්‍රශ්න කීපයක් ම විමසුවා.

ගෞතමයන් වහන්ස, දුක ඇති කරන්නේ තමා විසින් ම ද? නැතිනම් අනුන් විසින් ද? එසේත් නැතිනම් තමන් හා අනුන් යන දෙදෙනා විසින්දැ’යි? කස්සප ප්‍රශ්න කළා. තථාගතයන් වහන්සේගේ පිළිතුර වූයේ, දුක තමන් විසින් හෝ අනෙකෙකු විසින් හෝ තමා හා අනෙකෙකු විසින් හෝ ඇති කරන ලද්දක් නොවන බවයි.එසේනම් දුක ආකස්මික ව ඇති වන්නක් දැයි කස්සප නැවතත් විමසුවා. දුක ආකස්මික ව ඇති වන්නක් ද නොවන බව තථාගතයන් වහන්සේ වදාළා. එසේනම් දුක කියා දෙයක් නැද්දැයි ඔහු නැවත විමසුවා. දුක කියා දෙයක් තිබෙන බව බුදු පියාණන් වහන්සේ වදාළා. ඔබ වහන්සේ දුක දැක තිබේදැයි? ඔහු නැවතත් විමසා සිටියා. තමන් වහන්සේ දුක දැක ඇති බව උන් වහන්සේ වදාළා.

සමහරුන්ගේ විශ්වාසය වෙනස් නොවෙන සදාකාලික ආත්මයක් ඇති බවයි. තව කොටසක් කලක් තිබී විනාශවන ආත්මයක් ඇතැයි පිළිගනී.ි තමන් වහන්සේ මේ අන්ත දෙකට ම නොගොස් මධ්‍යම ප්‍රතිපදාවේ සිට ධර්ම දේශනා කරන බව තථාගතයන් වහන්සේ පෙන්වා දුන්නා. ඒ අනුව සදාකාලික හෝ කලක් තිබී වෙනස්වෙන හෝ ආත්මයක් නැත, සිදු වන්නේ ප්‍රත්‍යයන්ගෙන් උපන් ධර්මය හා නිරෝධය පමණි. මෙය ඇති කල්හි මෙය වේ, මෙය නැති කල්හි මෙය නොවේ, මේ ප්‍රත්‍ය සම්බන්ධතාවය තුළ උපදින්නේ දුක මිසක් ආත්මය නොවේ. මෙයින් පැහැදිලි වන්නේ දුක කිසියම් පුද්ගලයෙකු විසින් ඇති කරන්නක් නොව, හේතු ප්‍රත්‍යයන්ගේ ඵලයක් බවයි.

බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි භද්‍රක නම් ගම් දෙටුවෙක්, ස්වාමිනී, මට දුකෙහි සමුදයත්, අස්තයට යාමත් පැහැදිලි කර දෙන්නැයි ඉල්ලා සිටියා. එවිට තථාගතයන් වහන්සේ කරුණු පැහැදිලි කර නොදී, ඔහුට තම අත්දැකීම් තුළින් වටහා ගැනීමට සලසාලනු පිණිස ඔහු සමග සාකච්ඡාවක යෙදුණා. ඔබ ජීවත්වෙන උරුවේලකප්ප ගමේ යම් කෙනෙකුට දුකක් ඇති වුවහොත්, ඔබටත් දුක හිතෙන අවස්ථා තිබේදැයි ප්‍රශ්න කළා. එවැනි අවස්ථා ඇති බව ඔහු ප්‍රකාශ කළා.

එමෙන්ම යමෙකුට දුකක්, දොම්නසක් ඇතිවූ විටෙක, ඔබට දුකක් ඇති නොවෙන අවස්ථාත් ඇද්දැයි ඊළඟට ප්‍රශ්න කළා. ඊට පිළිතුරු වශයෙන් එවැනි අවස්ථා ද ඇතැයි ඔහු ප්‍රකාශ කළා. යමෙකුට විපතක්, දුකක් ඇති වූ විටෙක, ඔබේ හිතේ දුකක් ඇතිවූයේ කුමන හේතුවක් නිසාදැයි ප්‍රශ්න කළවිට, ඒ ඡන්දරාගය නිසායැයි කිව්වා. සමහර වෙලාවට වෙනත් කෙනෙකුට දුකක් ඇති වෙච්ච වෙලාවල්වල, ඔබේ හිතේ දුකක් ඇති නොවෙන්නේ කුමක් නිසාදැයි ප්‍රශ්න කළා. ඒ ඡන්දරාගය නැති නිසායැයි ඔහු ප්‍රකාශ කළා. මේ සාකච්ඡාවෙන් පැහැදිලි වෙන්නේ දුකට හේතුව ඡන්දරාගය බවයි. භද්‍රකට තව දුරටත් පැහැදිලි කර දෙන තථාගතයන් වහන්සේ, ඔබේ බිරිඳ ඔබ දැකලාවත් අහලාවත් නැති නොමැති අවදියේ ඇය පිළිබඳ ඡන්දරාගයක් තිබුණාදැ’යි ප්‍රශ්න කළා. එවැන්නක් නොතිබුණු බවත්, ඇය දැක ඇසුරට ගැනීමෙන් පසුව ඡන්දරාගය උපන් බවත් ඔහු ප්‍රකාශ කළා.

තථාගතයන් වහන්සේ භද්‍රක සමග මෙතරම් ප්‍රශ්න කළේ, දුක හටගන්නා හේතුව ඡන්දරාගය බව ඔහුටම තම අත්දැකීම් අනුසාරයෙන් අවබෝධ කර ගැනීමට අවස්ථාව සලසාදීමටයි.

ඉන් පසුව භද්‍රක, මෙතෙක් කල් එක් එක්කෙනා පැමිණ දුක නැති කිරීම සඳහා යැයි කරන ලද ඉගැන්වීම් පිළිබඳ මතක් කිරීමක් කරමින්, ඒවා තර්ක වැඩෙන කතා පමණක් වූ නිසා මගෙ හිත් ගත්තෙ නැහැ, ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම ප්‍රසන්නයි, පැහැදිලියි, සැකයක් නැහැ එනිසා දුක ඇති කරන්නේ කාමරාගය බව පැහැදිලියැයි ඔහු ප්‍රකාශ කොට එය දුරලීමට ඇති ක්‍රමවේදය කුමක්දැයි නැවත විමසා සිටියා. යමෙක් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හා ධර්ම වශයෙන් ලබන ප්‍රිය දේවල් පිළිබඳව ඇතිවන ඡන්දරාගය ප්‍රහාණය කළහොත් ඔහු දුක නැති කළ කෙනෙකු වෙනවා. ඒ සඳහා යෝනිසෝ මනසිකාරය ඇතිකර ගත යුතුයැයි උන්වහන්සේ වදාළා.

අපේ හිතට නිතරම නොයෙක් දේ සිහිවෙනවා, උවමනාවක් ඇතත් නැතත් නොයෙක් දේ කල්පනාවට එනවා. සමහර විට අතීත සිදුවීම්, එසේත් නැතිනම් ඉදිරියේ දී කිරීමට බලා පොරොත්තු වෙන දේවල්, නැතිනම් මේ වෙලාවෙ යෙදෙන මොකක් හෝ අරමුණක් ගැන විය හැකියි .මෙලෙස සිහිපත්වෙන සියල්ලම හඳුන්වන්නේ මනසිකාරය කියලයි. හිතේ එලෙස සිතිවිලි ඇතිවෙන්නේ ඇස, කණ, නාසය ආදි සළායතන රූප, ශබ්දාදි අරමුණු සමග ගැටීම නිසයි. අරමුණු අල්ලා ගැනීම, හැඳීන ගැනීම හා විඳීම නිසයි.

ලෝකය හා ලෝකයේ පවතින දේ පිළිබඳවත් ඇති අනවබෝධය නිසා ලෝකයේ සත්වයා දුක් විඳින බව තථාගතයන් වහන්සේ හා භද්‍රක අතර ඇති වූ මෙම සාකච්ඡාවෙන් පැහැදිලි වෙයි. උන්වහන්සේ පෙන්වා දුන් මග ගමන් කොට භද්‍රක සියලු කෙලෙස් නසා සසර දුකින් එතෙර වෙයි.එනිසා ඔහ දුක් නැති කිරීමටයැයි එතෙක් නොයෙක් දෙනා ඉදිරිපත් කළ දේශනාවන් මිථ්‍යවන් ම බවත් පසක් කරගනී.

බුදුවරයන් වහන්සේ නමකගේ පහළවීම සැපයක් යැයි යන කියමන සැබෑවක් බව වටහා ගැනීමට, මේ භද්‍රක සූත්‍ර දේශනාව වැනි එක් සූත්‍රයක් ම ප්‍රමාණවත්යැයි සිතේ. උන්වහන්සේ ජීවමාන ව වැඩ සිටි හතළිස් පස් වසරතුළ දේශ දේශාන්තරයන්ගෙන් පැමිණි මිනිසුන් ද දෙවියන් බඹුන් ද තථාගතයන් වහන්සේ වෙත පැමිණ සාංසාරික දුකෙන් නිදහස් වූ බව සත්‍යයකි. සත්වයා දුකෙන් එතෙර කිරීමට මග පෙන්වීම බුදු වරයන් වහන්සේ නමකගේ කෘත්‍යයයි. මේ වෙසක් සමයේ මිථ්‍යාවේ කඩතිර ඉරා දමා, ප්‍රඥා ඇස පාදා ගෙන, දුක් නිමා කරන මගට අපි පිවිසෙමු.

 වෙසක් පුර පසළොස්වක පෝය 

  වෙසක් පුර පසළොස්වක පෝය මැයි මස 06 වනදා බදාදා අපරභාග 07.44 ට ලබයි. 07 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 04.15 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි 07 වනදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය 14 වනදා
බ්‍රහස්පතින්දා

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මැයි 07

Second Quarterඅව අටවක

මැයි 14

Full Moonඅමාවක

මැයි 21

First Quarterපුර අටවක

මැයි 30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]