[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තපස්සු - භල්ලුක වෙළෙඳුන් ලක්දිවට පැමිණි සමුද්‍රගිරි පිච්චමල් විහාරය

තපස්සු - භල්ලුක වෙළෙඳුන් ලක්දිවට පැමිණි සමුද්‍රගිරි පිච්චමල් විහාරය


සමුද්‍රගිරි විහාරයේ වලස් කන්ද

බුදු රජාණන් වහන්සේගේ තෙමඟුල සැමරෙන වෙසක් පුර පසළොස්වක පොහොය මෙවර ගෙවෙන්නේ ලෝකයම අඳුරට හෙලූ රෝග බිය පසුබිමකයි. එවන් පසුබිමක් යටතේ වුව ද උන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වීමෙන් පසු දහම් අසා පළමුව බුදුන් දහම් සරණ ගිය තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් මෙරටට ගොඩ බසින ලද ඒ පූජනීය ස්ථානය ගැන තොරතුරු බිඳක් ගෙන ඒමටයි වෙසක් පුර පසළොස්වක පොහෝ දින මේ සූදානම.

එකල නැඟෙනහිර පළාතේ ගෝකණ්ණ නමින් හැඳීන්වූ නගරයට සැතපුම් 21ක් (කිලෝමීටර් 34ක්) පමණ උතුරින් වූ කරඩි මලේ නම් ස්ථානයට තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් ගොඩ බැස ඇති බව ඉතිහාසයේ දැක්වෙනවා.

භූමියෙන් සොයා ගත් හිටි පිළිමය

චෛත්‍යය 16ක කැටයම් නෙළා ඇති පෙරළී ගිය ශිලා ස්ථම්භය
සේයාරූ - විමල් කරුණාතිලක

ආරම්භක කාල වකවානු ගැන පැහැදිලි තොරතුරු නැතත් එළාරගේ ආක්‍රමණයෙන් පසු කරඩි මලේ නමින් මේ ස්ථානය හඳුන්වා තිබෙනවා. දෙමළ භාෂාවෙන් කරඩි යනු වලසා හඳුන්වන නමයි. මලේ යනු කන්දයි. ඒ අනුව වලස් කන්ද නමින් හැඳීන් වූ මුහුදු වෙරළේ ඇති මේ කඳු ගැටය අතීතයේ වලසුන්ගෙන් ගහන වූ හෙයින් එයට වලස් කන්ද යනුවෙන් ද හැඳීන් වූ බවයි දැන ගන්නට ඇත්තේ.

දඹදිව සිට පැමිණි වෙළෙඳ දෙබෑයන් කරඩිමලේ සිට පා ගමනින් ම කිලෝමීටර් 16ක් පමණ තිරියායේ ගිරිහඬු සෑය පිහිටි කඳු මුදුන දක්වා ගිය බවත් අතීත වංශ කතාවල දැක්වෙනවා.

බොහෝ වන්දනාකරුවන් ගිරිහඬු සෑය වන්දනා පිණිස පැමිණියත්, තපස්සු භල්ලුක වෙළෙන්ඳන් දඹදිව සිට පැමිණ ගොඩබට මේ ස්ථානයට යන්නේ අතළොස්සක් වූ පිරිසක් පමණයි.

කරඩි මලේ හෙවත් වලස්කන්ද නමින් හැඳීන් වූ පුද බිම අද හඳුන්වන්නේ සමුද්‍රගිරි පිච්චමල් විහාරය යන නමින්. 1950 වසරේ දී පමණ මේ ස්ථානයේ පොළොවේ කැණීම් කළ අයට අඩි 4කට ආසන්න ව හිටි පිළිමයක් හමුවීම නිසා තපස්සු භල්ලුක වෙළෙන්ඳන් ගොඩබට ස්ථානය හා පසුව බෞද්ධ සිද්ධස්ථානයක් ලෙසින් මේ ප්‍රදේශය පැවතුණු බව පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තහවුරු කර ගත්තා.

එසේ වුවත් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් එහි කැණීම් කටයුතු ආරම්භ කරන ලද්දේ 1978 වසරේ නොවැම්බර් මාසයේ දී යි. එතැන් සිට වරින් වර සිදු කළ කැණීම්වල දී විවිධ පුරා විද්‍යා භාණ්ඩ හමුවුණා. මුහුදු වෙරළේ ඇති වලස්කන්දේ එක් පැත්තක් මායිම් වන්නේ ගල් කඳු හා ගල් ලෙන් බහුල ව සම්පූර්ණයෙන් ම මුහුදු ජලයෙන් සේදී යන ශිලා පර්වතයකට ය.

කාලාන්තරයක් තිස්සේ මුහුදු ජලයට නිරාවරණය වෙමින් හා රළ පහර වැදීම නිසා හානි වූ මේ ශිලා පර්වත හා ගල් ලෙන්හි, රජ කල භික්ෂූන් වහන්සේ වැඩ සිටින්නට ඇතැයි අනුමාන කෙරේ.

1984 වසරේ මෙහි කළ කැණීමක දී 1950 වසරේ හමු වූ ආකාරයේ පිළිමයක් හමු වූ අතර අඩි 6ක් පමණ යට තිබී සිරස රහිත බුදු පිළිමයක් හා සිරස් දෙකක් වළං කැබළි හා රෝම කාසි ද හමුව තිබෙනවා.රෝම කාසි හමුවීම නිසා ඒ පිළිබඳ ව විශේෂ අවධානයක් යොමු වූ අතර, පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් කැණීම් හා පර්යේෂණ වැඩි කරන්නට යද්දී 1985 වසරේ ත්‍රස්තවාදීන් මෙම ස්ථානයේ තිබූ කුච්චවේලි පොලිසියට ප්‍රහාර එල්ල කර ත්‍රස්තවාදී කටයුතු ආරම්භ කිරීමත් සමඟම සියලු කැණීම් හා පර්යේෂණ කටයුතු ඇණ හිටියා.

යළිත් මේ බොදු පුදබිමට අවධානය යොමු වූයේ වසර 25කට පමණ පසු 2010 වසරේදී ය. ඒ ත්‍රස්තවාදී යුද්ධය අවසානයෙන් පසුව ය.

වලස් කන්දේ ඉපැරැණි සෙල් ලිපියක් දක්නට ඇති අතර එම සෙල්ලිපියෙන් දැක්වෙන්නේ ‘මේ පින් බලයෙන් උපදින සියලු භවයන්හි ලෝ සත්වයාගේ සියලු දුක් බැහැරකොට සැප උදා කරන්නට මට හැකිවේවා. සියලු කල්හි ඉවසීමෙන් හා කරුණාවෙන් යුක්ත වේවා. මේ පින් බලයෙන් මර සතුරන් පරදවා ශ්‍රේෂ්ඨ වූ බුදු බව ලැබ මම මගේ මහා කරුණා නැමැති හස්තයෙන් දුකට පත් ලෝකයා සංසාර නැමැති මඩ වගුරෙන් ගොඩට ගන්නට හැකි වේවා‘ යන්න බව පුරා විද්‍යා මතය වෙයි.

මේ සෙල් ලිපියේ අදහස් අනුව එය මහායාන සම්ප්‍රදායට අයත් වන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා.

එමෙන්ම ගල් කන්ද තරණයට පෙර වෙරළේ පාමුල පෙරළී ගිය ශිලා ස්ථම්භයක එක් පෙළකට 4ක් බැගින් වූ කොටු 16ක චෛත්‍යය කොටා ඇත. එක් කොටුවක් අඟල් 4ක් පමණ වු සමචතුරස්‍රාකාරය.

මෙම භූමියෙන් සොයා ගත් බුදු පිළිම 2 වන සියවසට හා අනෙක් පුරා විද්‍යා නටඹුන් 7 වන සියවසට පමණ අයත් වේ යැයි විශ්වාස කෙරෙනවා. එසේම සෙල් ලිපිය ද 7 වන හෝ 8 වන සියවසට පමණ අයත් වන බවයි දැනට සොයා ගෙන ඇත්තේ.

අද සමුද්‍රගිරි පිච්චමල් විහාරය නමින් හැඳීන්වෙන මේ පුදබිමට ආසන්න ප්‍රදේශවල සිට දුටු ගැමුණු රජතුමාට රුවන්වැලි මහ සෑ රදුන්ට පුදන්නට පිච්චමල් රැගෙන ගිය බව පැවසෙනවා.

යුද හමුදාවත්, නාවික හමුදාවත් අද මේ පුද බිමේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරනවා. කඳු මුදුනට යන මාර්ගය මෙන් ම, විහාරස්ථානයේ අත්‍යවශ්‍ය අනෙක් ගොඩනැගිලි ඉදි කිරීම සිදු කරන්නේ ඒ හමුදා මඟින්. එහෙත් තවමත් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නම් අවධානය එතරම් යොමු වී ඇති බවක් නම් පෙනෙන්නට නැහැ.

පිච්චමල් විහාරාධිපති හිමියන් පවසන්නේ වන්දනාකරුවන්ට බොහෝ දේ දැක ගන්නට මේ ස්ථානයේ ඇති නමුත් වන්දනාකරුවන් පැමිණ වලස්කන්ද නැඟ පරිසරය අපවිත්‍ර කළහොත් ඉදිරියේදී මේ ස්ථානයේ ඇති වැදගත්කම විනාශ වී යනු ඇති බවයි.

කඳු මුදුණේ සිට එක් පැත්තකින් නිලාවේලි මුහුදු වෙරළ තීරයත් ති‍්‍රකුණාමලය ඇතුළු මුහුදු ප්‍රදේශත් හොඳීන් දර්ශනය වනවා. අනෙක් පැත්තෙන් පුල්මුඩේ ප්‍රදේශය හොඳීන් දර්ශනය වනවා.

අලංකාර වෙරළ තීරය මෙන්ම මේ කඳු මුදුන සිසිල් පවන් මැද බොහෝ වේලාවක් නැවතී සිටින්නට හැකි සිත එක්තැන් කරන ස්ථානයක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්. ති‍්‍රකුණාමලය පුල්මුඩේ මාර්ගයේ කුච්චවේලිහි මාර්ගය අද්දරම පිහිටා ඇති නිසා කිසිදු ගැටලුවකින් තොරව මේ ස්ථානයට යාමට හැකි වුවත් එහි ඇති පෞරාණිකත්වය හා ආගමික බවට හානි නොකර අපේ වන්දනාවන් කරන්නට හැකිනම් බෞද්ධයන් වශයෙන් අප එම පුදබිමට කරන ලොකුම ගෞරවයක් වේවි.

 වෙසක් පුර පසළොස්වක පෝය 

  වෙසක් පුර පසළොස්වක පෝය මැයි මස 06 වනදා බදාදා අපරභාග 07.44 ට ලබයි. 07 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 04.15 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි 07 වනදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය 14 වනදා
බ්‍රහස්පතින්දා

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 07

Second Quarterඅව අටවක

මැයි 14

Full Moonඅමාවක

මැයි 21

First Quarterපුර අටවක

මැයි 30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]