[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තුන් ලොවටම මෙත් වඩමු -  අග‍‍්‍රාමාත්‍ය හා බුද්ධශාසන අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා

තුන් ලොවටම මෙත් වඩමු -  අග‍‍්‍රාමාත්‍ය හා බුද්ධශාසන අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා

මෙවර අප වෙසක් සැමරීම කළ යුත්තේ වසංගතයෙන් රට මුදාගැනීම සඳහා කරනු ලබන සටනේ ජයග්‍රහණය රැකෙන ආකාරයෙන් බව වෙසක් දින වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග‍‍්‍රාමාත්‍ය හා බුද්ධශාසන අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසයි.

අග‍‍්‍රාමාත්‍යවරයා විසින් නිකුත් කළ නිවේදනයේ මෙසේද දැක්වේ.

බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය හා පරිනිර්වාණය සිදු වූ වෙසක් මංගල්‍යය මෙවර සමරන්නට සිදුව ඇත්තේ කොරෝනා වසංගතයට ලංකාව සේම ලෝකයම එකසේ මුහුණ දී ඇති තත්ත්වයක් යටතේ ය. දැඩි කැපකිරීමෙන්, ඉවසීමෙන් හා බෞද්ධයාට හිමි උපේක්ෂාවෙන් යුතුව කටයුතු කිරීම නිසා ලංකාවාසී ජනතාව එම වසංගතයෙන් මුදාගැනීමේ ජයග්‍රහණය අත්පත්කර ගැනීමට ආසන්න ය. ඇඳීරි නීතිය හෝ සෞඛ්‍යමය නීතිරීති ධර්මානුකූල ජීවිතයට කිසිදු බාධාවක් ගෙන එන්නේ නැති බව මගේ වැටහීම ය. වසර දෙදහස් ගණනක් තිස්සේ ධර්මානුකූල ජීවිතයක් ගත කළ බෞද්ධයාට නිවසේ සිටම ආමිස පූජාවෙහි ද ප්‍රතිපත්ති පූජාවෙහි ද යෙදීමට තරම් ශික්ෂණයක් ඇත. වෙසක් දා ට පහනක් දල්වා සැරසිලි කර ආමිස පූජාවෙහි යෙදී චිත්ත ප‍‍්‍රීතිය වඩවා ගැනීම බෞද්ධයාට පුරුදු ය. අකුසලින් දුරු වීමටත් සියලු කුසල් වැඩීමටත් උද්ගතව ඇති වාතාවරණය කිසිදු බාධාවක් නොවේ.

තථාගතයන් වහන්සේ පෙන්වා දුන් මාර්ගය මෙම ව්‍යසනයේ දී අපට පිහිට කොට සිටී. ජීවිතය නිශ්චිත නොවන බවත් ස්ථිරසාර කිසිවක් නැති බවත් කියවෙන බුදු වදනෙහි සත්‍යතාව මේ ව්‍යසනයේ දී ලෝකයම පසක් කරගත් බව පෙනේ. සිත, කය, වචනය යන තුන් දොර සංවර කර ගැනීමේ බුදු වදන මෙබඳු ව්‍යසනයන්ට මුහුණ දීමට ඇති හොඳම මඟය.

බෞද්ධයා පුරුදු පුහුණු කළ ඒ හික්මීම වෙනත් රටවලට පෙරාතුව කොවිඩ් වසංගතයට එරෙහිව ජයග්‍රහණය ලැබීමට ද හේතුවන බව මගේ විශ්වාසයයි. එබැවින් මේ වෙසක් සමයේ සිත, කය, වචනය යන තුන් දොර හික්මවාගෙන උපේක්ෂාවෙන් ජීවිතය දෙස බලා තුන් ලොවටම මෙත් වඩා අපි බුදුන් සරණ යමු. සියලු සත්වයෝ නිදුක්, නීරෝගී වෙත්වා !

 වෙසක් පුර පසළොස්වක පෝය 

  වෙසක් පුර පසළොස්වක පෝය මැයි මස 06 වනදා බදාදා අපරභාග 07.44 ට ලබයි. 07 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 04.15 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි 07 වනදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය 14 වනදා
බ්‍රහස්පතින්දා

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මැයි 07

Second Quarterඅව අටවක

මැයි 14

Full Moonඅමාවක

මැයි 21

First Quarterපුර අටවක

මැයි 30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]