[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශාසන මෙහෙවර රැසක යෙදෙන හාල්පන්විල පාලිත හාමුදුරුවෝ

ශාසන මෙහෙවර රැසක යෙදෙන හාල්පන්විල පාලිත හාමුදුරුවෝ

" විරැකියාව නිසා පීඩා විඳී දුගී සමාජයේ තරුණ, තරුණියන් රැස් කර උන්වහන්සේගේ මඟපෙන්වීම හා ආශිර්වාදය තුළ , රාජ්‍ය අංශයේ, පෞද්ගලික අංශයේ හා දෙස් විදෙස් රැකියා රැසක නිරත වී ජීවිතාලෝකය ලබාගත් සැදැහැවත් බොදුණු බැතිමතුන් ලෙස ජීවත්වෙති. එම පිරිස අප්‍රමාණය. වර්තමානය වන විට රටපුරා ව්‍යාප්තව ඇති මත් උවදුරට එරෙහිව ද විශාල හඬක් උන්වහන්සේ නගමින් සිටි."

ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ නියෝජ්‍ය අධිකරණ ලේඛකාධිකාරි රතන ශ්‍රී භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ මහා පිරිවෙනෙහි කෘත්‍යාධිකාරි හා විහාරාධිපති ශ්‍රාස්ත්‍රවේදී හාල්පන්විල පාලිත නායක ස්වාමිපාදයන් වහන්සේ මැයි මස 03 වෙනි දින ජීවිතයේ 66 වන වියට පා තැබූහ. මේ ඒ වෙනුවෙන් තබන සටහනකි.

පුත්තලම් දිස්ත්‍රික්කයේ පමණක් නොව දෙස් විදෙස් රටවල් රැසක බෞද්ධ ආගමික පුනර්ජීවනය උදෙසා අමිල මෙහෙවරක නිරත උන්වහන්සේ නාත්තන්ඩිය මැතිවරණ කොට්ඨාසයේ හාල්පන්විල නම් සුන්දර ගම්මානයේ සම්භාවනීය පවුලක “සිමියොන් අප්පුහාමි හා සෝමාවති ජයලත් යන මාපියන්ට දාව 1955 වෙසක් මස 03 වෙනි දින ජන්මලාභය ලැබීය. “ගිහිකල චිත්‍රනන්ද ජයලත්” නමින් හඳුන්වනු ලැබූ කුලකුමරු හාල්පන්විල රජයේ විද්‍යාලයෙන් 6 වසර දක්වා අධ්‍යාපනය හදාරා 11 වන වියේ දී බිංගිරිය, කලුගම රත්නාලෝක මහා පිරිවෙනහිදි පුරාකෘත පුණ්‍ය මහිමයෙන් “බලගල්ල සරස්වති පිරිවෙන් ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ අනුනායක හපුවලානේ ඥානාලෝක නාහිමියන්ගේ උපාධිත්‍යයෙන් හා කලුගම රත්නාලෝක පිරිවෙන් විහාරාධිපති දඹුවේ රතන ශ්‍රී නාහිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් “ප්‍රවෘජ්‍යාභූමියට” පැමිණ 1967 ඔක්තෝම්බර් මස 19 වෙනි දින සසුන්ගත වූහ. ඉතා කෙටිකලකදීම උගත මනා බණ දහම් දැනගෙන වර්ෂ 1976 ජූලි මස 01 වන දින කළුතර කළු ගඟ උදකුක්ඛේප සීමා මාලකයේදී උපසම්පදාව ලැබීය. උසස් අධ්‍යාපනය සඳහා පේරාදෙණිය ශ්‍රී සාරානන්ද මහා පිරිවෙනට ඇතුළු විය. ඉන් නොනැවතුණ උන්වහන්සේ කැලණිය විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයෙන් ශ්‍රාස්ත්‍රවේදී උපාධිය 1979 වර්ෂයේ දී ලබාගෙන තම උපන්ගම වූ හාල්පන්විල ශ්‍රී ඥානෝදය මහ පිරිවනේ ධර්මාචාර්‍ය වරයෙකු ලෙස ද නියෝජ්‍ය පරිවනාධිපතිවරයෙකු ලෙස ද වසර ගණනාවක් සංඝ සමාජයේ උන්නතිය උදෙසා කටයුතු කළහ.

ධර්මධර, විනයධර, ආරෝහ, පරිණාහ, දේහධාර, අයුක්තිය හා අසාධරණය හමුවේ සිහනාදය කරන නා හිමියන් එකල මාර්ග දුෂ්කරතා පැවති සමයක වන දුර්ග, තරණය කරමින් 1982 පොල් අතු සෙවිලි කල ආරාමයකින් හලාවත-කැබැල්ලෑවල ශ්‍රී මුනින්දාරාම විහාරස්ථානය (වර්තමානයේ රතන ශ්‍රී මහා පිරිවෙන හා භික්ෂු පුහුණු මධ්‍යස්ථානය) ගොඩ නැගීමට මහත් සේ කැපවීමෙන් කටයුතු කළ බව කෘතවේදීව සිහිපත් කළ යුතුය. එදා මෙදා කාලය තුළ සම්බුද්ධ ශාසනයේ පුනර්ජීවනය උදෙසා අපරිමිත සේවාවක් ඉටුකරමින් පවතී. දක්ෂ නක්ෂත්‍රකරුවෙක් මෙන්ම විචිත්‍ර කර්ම භාණකයෙකි. කිසිදු බේදයකින් තොරව කුදු මහත් සියලු කටයුතුවලදී උන්වහන්සේ නොපැකිලිව ජනතාවටත්-සංඝ සමාජයටත් ජීවය දුන් මහා යතිවරයාණන් වහන්සේ නමකි. විරැකියාව නිසා පීඩා විදි දුගී සමාජයේ තරුණ, තරුණියන් රැස් කර උන්වහන්සේගේ මඟපෙන්වීම හා ආශිර්වාදය තුළ , රාජ්‍ය අංශයේ, පෞද්ගලික අංශයේ හා දෙස් විදෙස් රැකියා රැසක නිරත වී ජීවිතාලෝකය ලබාගන සැදැහැවත් බොදුණු බැතිමතුන් ලෙස ජීවත්වති. එම පිරිස අප්‍රමාණය. වර්තමානය වන විට රටපුරා ව්‍යාප්තව ඇති මත් උවදුරට එරෙහිව ද විශාල හඬක් උන්වහන්සේ නගමින් සිටි. උන්වහන්සේගේ පරිත්‍රාණ දක්ෂතාවය ගැන ගිහි පැවිදි සියලුදෙනා දශක ගණනාවක් නොපැකිලිව අදත් කථා කරති.

දීර්ඝ කාලයක් ලක්වැසි ජනතාවගේ හා භික්ෂු ශාසනයේ සකලාර්ථයන් සාධනය කරවමින් නොවෙනස්ව අද දක්වාම පැවත එන පිරිවෙන් අධ්‍යාපනය මෙරටෙහි පුරාතණ අධ්‍යාපන ක්‍රමය බව අවිවාදිතය. එහෙත් කාලයාගේ ඇවෑමෙන් අපට මුහුණ දීමට සිදුවූ විවිධ ආගමික, සංස්කෘතික හා ජාතික ආක්‍රමණ හේතුවෙන් පිරිවෙන් අධ්‍යාපනය විශාල බිඳ වැටීමකට මුහුණ දෙන්නට සිදුවිය. එවන් පසුබිමක් තුළ “පූජ්‍ය හාල්පන්විල පාලිත නායක ස්වාමින් වහන්සේ තුන්කල් දක්නා ණුවනින් යුතුව ඒ දවස බොහෝ දුෂ්කරතා මධ්‍යයේ ආරම්භ කළ රතන ශ්‍රී මහා පිරිවෙන අද වන විට 21 වන සියවසේ භික්ෂු අධ්‍යාපනයේ නැවුම් තෝතැන්නක් බවට පත්ව ඇත.

මෙහි දෙස් විදෙස් සාමණේර භික්ෂුන් වහන්සේ රැසක් අධ්‍යාපනය ලබන අතර ගෙවීගිය කාලපරිච්ඡේදය තුළ මෙමගින් භික්ෂුන් වහන්සේලා රැසක් විශ්වවිද්‍යාල අධ්‍යාපනයට යොමු කර ශාසනයේ උන්නතිය උදෙසා ප්‍රඥාවන්ත භික්ෂු පිරිසක් මෙම පුණ්‍ය භූමියෙන් දැයට දායාද කර ඇත. මෙම ධර්ම ආයතනය තුළ නිසසල හා ගොමුවක් අභියස අභිනවයෙන් ඉදිකරන්නට යෙදුණු සිව්මහල් භික්ෂු පුහුණු මධ්‍යස්ථානය තුළ එකවර විශාල භික්ෂූන් වහන්සේලා පිරිසකට අධ්‍යාපනය හැදෑරීමේ පහසුකම්වලින් ද අන්තර්ගතය. අදවන විට රතන ශ්‍රී මහා පිරිවෙන මගින් සිරිලක වෙහෙර විහාරස්ථාන රැසක් පාලනය වේ. ඒ අතර “ලෝක උරුමයක් ලෙස ප්‍රචලිත රෝස තිරුවාන කන්ද පිහිටා ඇති “උල්පත්ගම- ගල්කිරියාගම ජාතික නාමල් උයන විහාරස්ථානය ප්‍රධාන ස්ථානයක් ගන්නා අතරම මහගම-ශ්‍රී විජිතාරාමය , විලත්තව, බිංගිරිය ශ්‍රී ධර්මාරාමය - වේලාසිය, රත්මල්වැව, ශ්‍රී සම්බෝධි විහාරය පුත්තලම, කරුවලගස්වැව, ශ්‍රී ධර්මරාජ විහාරය - පුත්තලම, කණුව-සෙන්දකන්වල, ශ්‍රී අභිවනාරාමය, පුත්තලම, කොට්ටුකච්චිය, දංගහවෙල, ශ්‍රී ධර්ම රාජ විහාරය, සෙත්සිරිගම, වාලහේන, ශ්‍රී සුමිත්ත්‍රාරාමය ඇතලු විහාරස්ථාන රැසක් පාලනය වේ.කෙතරම් අවිවේකි කාර්ය බහුල ජීවිතයක් ගත කලත් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය විසින් උන්වහන්සේට පවරණ ලද විවිධ තනතුරු හා වගකීම් මැනවින් ඉටු කිරීමට තරම් උන්වහන්සේ කාර්යසූර චරිතයක් විය. හලාවත ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේකම් ධූරය වසර 30 කට අධික කාලයක් දරණ අතරම පුත්තලම දිසා ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේකම් ධූරය වසර 12 ක කාලයක් මේ දක්වා දරමින් තම යුතුකම් කොටස මැනවින් ඉටු කරනු ලබති. ගෙවී ගිය කාලය තුළ හලාවත-පුත්තලම ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේකම් ධූරය මෙන්ම අනුවිජ්ජික ධූරය ද උන්වහන්සේ හොබවා ඇත. අදවන විට පුත්තලම දිශා ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති ධූරය ද ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නියෝජ්‍ය අධිකරණ ලේඛකාධිකාරි ධූරය ද දරමින් ආගමික හා සමාජීය වශයෙන් විවිධ තනතුරු රාශියක වගකීම යහමින් ඉටු කරමින් සිටි.

පැවිදි ජීවිතය තුළ සැබැවින්ම මහත් අභිමානය දනවන ශාසනික මෙහෙවරක යෙදෙන උන්වහන්සේ තායිලන්තය, මියන්මාරය (බුරුමය) දකුණු කොරියාව, නේපාලය, ඉන්දියාව, පාකිස්ථානය, සිංගප්පූරුව, ඉතාලිය, කැනඩාව ආදි විදේශ රටවල ධර්ම දූත සේවාවන් රැසක් ඉටුකරමින් බුදු දහමේ උන්නතිය උදෙසා සුවිශාල සේවාවක් අදවන විට ඉටු කර ඇත. තම පැවිදි දිවිය පුරා මෙතෙක් ආ ගමන් මඟ අර්ථවත් කරමින් සෑම වසරකට වරක්ම වෙසක් මස ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පාලක සංඝ මහා සභාව රතන ශ්‍රී භික්ෂූ පුහුණු මධ්‍යස්ථානයට එම නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපාන ප්‍රේමසිරි නාහිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් වැඩමවා කරනු ලබන ශාසනික මෙහෙවර හා දානමය පින්කම ද ඉතාමත් ප්‍රශංසනීයයි. වාර්ෂිකව වසර 15 කට අධික කාලයක් නවම් මහ පෙරහර ඉතා උත්කර්ෂවත් අන්දමින් ජනතාවගේ බුද්ධාලම්භන ප්‍රිය ඇතිවන අයුරින්, අනාගත ලෝකය දකිමින් ඒ මාවත සකස් කරන්නට කැපවන අපේ හාමුදුරුවෝ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුග්‍රයේ කොටස් කරුවෙකු ද වේ. “ලොව සියල්ල නැසෙන සුළුය. අප්‍රමාදිව කුසල් දහම් රැස්කරන්න.” යන බුදුවදන සිතේ දරාගෙන උන්වහන්සේ ශාසනයට කර ඇති අපරිමිත සේවාව සුවහසක් බොදුණු ජනතාවගේ වාසනාවකි.

පියෝච ගරු භාවනීයෝ
වත්තාච වචනක්ඛමෝ
ගම්භිරුඤ්ච කතං කත්තා
ත්‍නා් චට්ඨානෙ නියොජයෙ...
(අ.න.සත්තක නිපාතය)

’‘සැමට ප්‍රිය වූ, දුහුණන්ට ගුරු වූ සම්භාවනීය වූ විශ්වාසනීය තෙපුල් ඇත්තාවූ කතාව ගම්භිර වූ කරුණාභරිත වූ භික්ෂුව වූ කලි නිරතුරුවම භජනය කළ යුතු බවයි.” ඉහත බුදුවදන ප්‍රකට කරමින් අමුර්තයක් සේ පානය කළ තෙවලා දහමෙන් ප්‍රභාෂ්වර වූ ඥාණයෙන් ද තෙරුවණ පිළිබඳ අපමණ බැතියෙන් ද ආලෝකමත් වූ අධික වීර්යෙන් ද සුපටිපන්න උජුපටිපන්න ඥාණයෙන් ද, සමුපේත සිරිලක මහ සඟ කුසුමාංජලිය දිඳුලවමින් වැඩ වසන ගෞරවාර්ග ශාස්ත්‍රවේ දී හාල්පන්විල පාලිත නාහිමි සැබවින්ම ආදර්ශමත් භික්ෂුන් වහන්සේ නමක් බව ලක්වැසි හා ලෝ වැසි සැමට හද බැතියෙන් පසක් කරමි.

 වෙසක් පුර පසළොස්වක පෝය 

  වෙසක් පුර පසළොස්වක පෝය මැයි මස 06 වනදා බදාදා අපරභාග 07.44 ට ලබයි. 07 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 04.15 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි 07 වනදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය 14 වනදා
බ්‍රහස්පතින්දා

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මැයි 07

Second Quarterඅව අටවක

මැයි 14

Full Moonඅමාවක

මැයි 21

First Quarterපුර අටවක

මැයි 30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]