[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජීවිතයේ යථාර්ථය දැන අභියෝගයට මුහුණ දෙමු

ජීවිතයේ යථාර්ථය දැන අභියෝගයට මුහුණ දෙමු

" රජයක් ලෙස අභියෝගයට මුහුණ දෙමින් සිටින අතරේ පවුලේ, සමාජයේ සුබ සිද්ධිය සැලසෙන සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ඇති කර ගත හැකි විදිහේ ජීවන රටාවකට යොමු විය යුතු ව තිබේ."


වර්තමානයේ ලෝකය පුරා වේගයෙන් පැතිර යන, අප ද මුහුණ දී සිටින භයානක වසංගත රෝග තත්ත්වය පිළිබඳ ව සුවිශේෂී අවධානය යොමු කළ යුතු ව ඇත.

විශේෂයෙන් තථාගත ශ්‍රී සද්ධර්මය අනුව බෞද්ධයන් ලෙස අප තේරුම් ගත යුතු දෙයක් වේ. ඒ, ලෙඩ රෝග සහ මරණය පිළිබඳව ය. අපට ලෙඩ රෝග ඉක්මවීමට පුළුවන්කමක් නැත. ඒ නිසා එය නිරන්තරයෙන් සිහිපත් කළ යුතු බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළහ.

ශාරීරිකව ඇතිවන විවිධ විපර්යාසයන්, පාරිසරික හේතු ආදී විවිධ හේතු සාධක නිසා අප ලෙඩ රෝගවලට ගොදුරුවීමට පුළුවන. ඒ කවරාකාරයකින් රෝගී වුවද එයට මුහුණ දෙන ආකාරය ද උන්වහන්සේ පෙන්වා දුන්හ. එහිදී ධර්මය මෙනෙහි කිරීම, ශාරීරික වශයෙන් යථාර්ථය මෙනෙහි කිරීම ආදී ක්‍රමෝපායයන් මගින් රෝගය සමනය කරගන්නා ආකාරය, මානසික සුවයක් ඇති කරගන්නා ආකාරය අනුදැන වදාළහ. විශේෂයෙන් බොජ්ඣංග සූත්‍රය ගිරිමානන්ද සූත්‍රය මෙනෙහි කොට මානසික වශයෙන් දුක තුනී කරගන්නා ආකාරය පෙන්වා දුන්හ.

ඊට අතිරේකව වසංගත තත්ත්වයන්හි දී රතන සූත්‍ර දේශනය තුළින් බාහිර වශයෙන් ඇති වී තිබෙන අපල උපද්‍රව, බිය දුරු කරගන්නට අනුදැන වදාළහ. ඒ අනුව බෞද්ධයන් ලෙස දීර්ඝ කාලයක් තිස්සේ අපේ රටේ අපල උපද්‍රව වගේ ම, ලෙඩ දුක් වසංගත තත්ත්වයන් හමුවේ ඒවාට බොහොම අවබෝධයෙන් යුතුව මුහුණ දීම සිදු කර තිබුණි.

ඒ අනුව වර්තමානයේ ඇති වී තිබෙන මේ කොරෝනා වසංගත තත්ත්වයට මුහුණ දීම සුරක්ෂිත ව කළ යුතු ව තිබේ. අපට පාරම්පරික ව ලැබුණු යහ පුරුදු තිබේ. තමන්ට ලෙඩක් දුකක් සැදුණ විට දී සමාජයේ අනෙක් අයට ද හානියක්, කරදරයක් වීමට අප ඉඩ දුන්නේ නැත. ඒ රෝග තත්ත්වයෙන් මිදෙන තුරු අපි නිවෙසට ම වී සිටියෙමු. රටක් සමාජයක් ලෙස මේ රෝග තත්ත්වයෙන් මිදීමට අප එම පිළිවෙත් අනුගමනය කළ යුතුව ඇත.

විශේෂයෙන් රාජ්‍ය නායකත්වය මේ සඳහා නිවැරැදි නායකත්වයක් ලබා දී තිබේ. ඕනෑම කාරණයක දී නායකත්වයෙහි තිබෙන සෘජු ලක්ෂණ ප්‍රයෝජනවත් ය. ඒ නිසා තමයි අද අප දකින්නේ රාජ්‍ය නායකත්වයක් සමඟ එකමුතුව, බොහොම සුසංයෝගී ව අදාළ නිලධාරීන් මේ වසංගතය වැළැක්වීම සඳහා කටයුතු කරන ආකාරය හමුදා අංශයත්, සෞඛ්‍ය ක්ෂේත්‍රය, විවිධ රාජ්‍ය නිලධාරීන් බොහොම හොඳින් කටයුතු කරමින් සිටී. එය ජනතාවට මේ අවස්ථාවේ ශක්තියක් වී තිබේ.

මේ අවස්ථාවේ ජාත්‍යන්තර වශයෙන් ජනාධිපතිතුමා ඇතුළු රජයට, අපේ වැසියන්ට විශාල ප්‍රසාදයක් ද ලැබී තිබේ. ඒ මෙම වසංගත රෝගයට මුහුණ දීමේ ශක්තිය පිළිබඳව ය. එය ද අගය කළ යුතු වේ.

ඒ වගේ ම විශේෂයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බොහෝ අය තම දරුවන් ගැන පවා බලන්නට අවස්ථාවක් පවා නො ලැබ කටයුතු කරමින් සිටී. ඒ රෝහල් ගත ව සිටින රෝගීන්ට ඇප උපස්ථාන කිරීම වෙනුවෙනි. බුදුරජාණන් වහන්සේ ආදර්ශයෙන් පෙන් වූ දෙය ඔවුන් මෙසේ අනුගමනය කරමින් සිටීමද අගය කළ යුතුම ය.

මේ අප බෞද්ධ සමාජයක බලාපොරොත්තු වන දේ ය. ආදර්ශයෙන් පෙන්විය යුතු දේ ය. අපට ලැබුණු බොදු සංස්කෘතික උරුමය අපේ ජන ජීවිතයට සිත් සතන්වලට කා වැදී තිබෙන බවයි. මෙයින් පෙන්නුම් කරන්නේ. දානය, පරිත්‍යාග, අනුන්ට උපකාර කිරීම ආදී ගුණාංග අපට බුදු දහමින් ලැබුණු දේ ය. ඒ නිසා බෞද්ධයින් වශයෙන්, භික්ෂූන් වහන්සේ වශයෙන් මේ අවස්ථාවේ එය අගය කළ යුතු වේ.

ඒ වගේම මේ උවදුර රටට, ජාතියට බලපාන විශාල අර්බුදකාරී තත්ත්වයක් බව අවබෝධ කරගත යුතු වේ. අපට පමණක් නොව ලෝකවාසී සමස්තයට ම එහි බලපෑම විශාල ය. මේ අභියෝගයට මුහුණ දීමට යම් විදිහකින් අපට අවස්ථාව ලැබෙනු ඇත. එහෙත් ආර්ථිකය ගොඩනඟා ගැනීමේ දී නැවත සිතන්නට සිදුව තිබේ. අපේ රටට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය බොහොමයක් ආනයනය කළ දේ ය.

එහෙත් මේ ව්‍යසනකාරී අවස්ථාවේ ඒවා ගෙන්වා ගැනීමේ අර්බුදයක් මතු වේ. එයට මුහුණ දීමටනම් කෘෂිකාර්මික රටක් ලෙස ආහාර නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියකට අනිවාර්යයෙන්ම යන්නට අපට සිදුවේ. මේ අර්බුදය අතර ම එය ද තේරුම් ගත යුතු ය.

රජයේ අනුග්‍රහය ඇතිව අපේ ජනතාව යම්තාක් දුරකට මේ වන විටත් ඒ පිළිබඳව කටයුතු කරනු පෙනේ. එය සතුටුදායක තත්ත්වයකි.

ලෙඩ රෝග වැළඳීමත්, අපේ ආහාර රටාවත් අතර සෘජු බලපෑමක් ඇති බව පෙනේ. ජාන විකෘති කළ ආහාර එහි ලා ප්‍රධාන ය. එදිනෙදා අවශ්‍ය එළවළු, පලතුරු ටික කාබනික පොහොර භාවිතයෙන් වගාකර ගන්නවා නම්, අපට ලෙඩ දුක් බොහොමයකින් වැළකී සිටිය හැකි වනු ඇත.

ඒ වගේම දේශීය වශයෙන් අපට හොඳ සෞඛ්‍යාරක්ෂක වැඩපිළිවෙළක් තිබුණි. එහෙත් එය ටිකෙන් ටික දුරස් වුණි. එහෙත් මේ අවස්ථාවේ ඉඟුරු, කොත්තමල්ලි, අත් බෙහෙත්, විවිධ කැඳ වර්ග ගැන සැලකිලිමත් වන බවක් පෙනේ. එය යහපත් පරිවර්තනයකි. කොළ කැඳ, කැඳ වර්ග ආදිය ශරීරයට සුදුසු බව බුදුරජාණන් වහන්සේ ද දේශනා කළහ.

රජයක් ලෙස අභියෝගයට මුහුණ දෙමින් සිටින අතරේ පවුලේ, සමාජයේ සුබ සිද්ධිය සැලසෙන සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ඇති කර ගත හැකි විදිහේ ජීවන රටාවකට යොමු විය යුතු ව තිබේ. බුදුරජාණන් වහන්සේ අගය කළේ සරල, සැහැල්ලු ජීවිතය යි. චාම් ජීවිතය යි. ඒ විදිහට ගොඩනැඟෙන්නට මෙය හොඳ අවස්ථාවකි. එහිදී විපතක් ඇති වුව ද එම උපද්‍රවයෙන් මිදී මතු වී ඇති තත්ත්වය සුබවාදී කරගන්නේ කෙසේද? යන වග කල්පනා කළ යුතු වේ.

අප දන්නවා, අපි සුනාමි ව්‍යසනයෙන් පසුව නැඟී සිටි ජාතියකි. එක් අවස්ථාවක ඇමෙරිකාවට "කැප්සුණා" කුණාටුව පැමිණ අවස්ථාවේ ගොඩ එන්නට අපහසු වුණි. ආසියාවේ මේ රටවලින් බෞද්ධ ජනතාව මේ තත්ත්වයන්ගෙන් ඉක්මනින් ගොඩනැගුණේ කෙසේද යන්න තේරුම් ගත යුතු යි. අප ජීවිතයේ ඕනෑම අභියෝගයකට මුහුණ දීමට ශක්තිය ඇති ජාතියක්. නරක අයහපත් ජීවන රටාව නිසායි, ව්‍යසනවලට මුහුණ දෙන්නේ. "අනිච්චං දුක්ඛං" කියන හැඟීම අප තුළ තිබේ. එසේත් නැතිනම් කර්මය මේවාට බලපානවා කියන හැඟීම තිබේ. ඒ නිසා බෞද්ධයන් කියන්නේ ජීවිතය ගැන අවබෝධයකින් කටයුතු කරන පිරිසකි. ඒ නිසා බෞද්ධයන් ලෙස අපට ජීවිතය ගොඩනඟා ගැනීම පහසු ය. මේ අවස්ථාවේදීත් මේවා සියල්ල තේරුම්ගෙන, ජීවිතය පිළිබඳ, සමාජය පිළිබඳ තේරුම් ගෙන කටයුතු කරන අතරේ රටේ සෞභාග්‍ය වෙනුවෙන් අනාගතය වෙනුවෙන් කැපවිය යුතු වේ.

අපේ තරුණ පිරිස් අපේ රට තුළ ම නව නිර්මාණ කළ ආකාරය අපි දුටුවෙමු. බොහෝ දෙනාට හැකියාව තිබේ. විවිධ කුසලතා තිබේ. ඒවා ඉස්මතුවන ආකාරයද අපි මේ අවස්ථාවේ දී දකිමු. එවැනි නව නිර්මාණ ද වැඩි දියුණු කර ගත්තේ නම් රටක් වශයෙන් මේ අවස්ථාවේ මේ අභියෝග ජය ගෙන ගොඩනැගීමට අපහසු නො වනු ඇත. අභිමානවත් ජාතියක් හැටියට ගොඩ ඒමට ශක්තියක් ලැබෙනු ඇත. ඒ සියල්ලට ම පසුබිම හැදී තිබෙන්නේ මේ බෞද්ධ සිතුම් පැතුම් රටාව තුළ බව අප තේරුම් ගත යුතු වේ. බුදු දහම, බුදුරජාණන් වහන්සේගේ දේශනා ක්‍රම අගය කරමින් ඒ අනුව කටයුතු කිරීමය මේ අවස්ථාවේ සිදු කිරීමට අධිෂ්ඨාන කරගත යුතු වන්නේ. වෙසක් උත්සවය කියන්නේ බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමඟුල සිහි කිරීමයි. අනාදිමත් කාලයක සිට දාන, සීල, භාවනා පින්කම් පවත්වමින් ඒ උතුම් තෙමඟුල සිහිපත් කරමු. එහෙත් මේ රෝග තත්ත්වයන් සමඟ අපට වෙනදා ස්වරූපයෙන් ඒ පින්කම් කිරීමට හැකියාවක් නැත. ඒ අනුව, හොඳින් සිතා බලා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව, ප්‍රතිපත්ති අනුව කටයුතු කිරීමට පෙළඹිය යුතු වනවා සේ ම හැකි ආකාරයෙන් මේ උපද්‍රවයන්ගෙන් පෙළෙන පිරිසට උපකාර කිරීමේ අවස්ථාවක් සලසා ගැනීමට පුළුවන. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ආකාරයට ආමිෂ පූජාව, ප්‍රතිපත්ති පූජාව අගය කරමින්, ඒ අනුව අනුගමනය කරමින් මේ අවස්ථාවේ දී උන්වහන්සේගේ උපත, සම්මා සම්බුද්ධත්වය, පරිනිර්වාණය සිදු වූ උතුම් දිනය සැමරීමට පුළුවන. එය තමයි අපේ ජීවිතයේ උසස් දෙයක් ලෙස මේ අවස්ථාවේ දී සැලකිය යුතු වන්නේ.

 වෙසක් පුර පසළොස්වක පෝය 

  වෙසක් පුර පසළොස්වක පෝය මැයි මස 06 වනදා බදාදා අපරභාග 07.44 ට ලබයි. 07 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 04.15 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි 07 වනදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය 14 වනදා
බ්‍රහස්පතින්දා

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මැයි 07

Second Quarterඅව අටවක

මැයි 14

Full Moonඅමාවක

මැයි 21

First Quarterපුර අටවක

මැයි 30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]