[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

රෝග නිවාරණය දහම් ඇසින්

රෝග නිවාරණය දහම් ඇසින්


“සුඛෝ බුද්ධානං උප්පාදෝ” බුදුවරයකුගේ පහළ වීම ලෝකයට සෙතක්, ශාන්තියක් උදා කරන්නේ උපත, බුදුවීම, පිරිනිවන් පෑම කියන බුද්ධ චරිතයෙහි ප්‍රධාන කරුණු තුන මුල් කරගෙන ය.

මෙවර වෙසක් උත්සවය වෙනදා මෙන් හැම කෙනෙකුටම එකට ආරාමවලට ගොස් කටයුතු කරන්නට අවස්ථාවක් දැනට ඇති වී තිබෙන තත්ත්වය නිසා වැළකී ඇත.

ඒ මුළු මහත් ලෝකයම වෙළාගෙන තිබෙන කොරෝනා නමැති වසංගතය නිසා ය. කෙරෝනා වයිරසය හේතුවන් ලොව පුරා මිය ගිය ගණන අපේ‍්‍රල් 28 වනවිට 212000 පසු කර ගියේය. ලොව පුරා කොරෝනා ආසාදිතයන්ගේ ගණන තිස් ලක්ෂය ඉක්මවා ගොස් ඇත. විශ්වය තරණය කරන්නට සමත් වූ තාක්ෂණ ඥානයෙන් යුක්තව මුළු මහත් ලෝකයම අවි බලයෙන් පුපුරුවා හැරීමට සමත් බලවත් රාජ්‍ය අද ඇසට නොපෙනෙන වයිරසයක් නිසා අසරණ ව කළ හැකි දෙයක් නොමැති ව බලා සිටින තත්ත්වයට පත් වී සිටී.

මේ සම්බන්ධව බුද්ධ ධර්මයට අනුව බැලිය යුත්තේ කොයි ආකාරයට ද ? බුදු දහම අනුව එයට විසඳුමක් නැද්ද? ලෝකයේ වයිරස් රෝග එදත් තිබුණා. එදා ලංකාවේ ගැමියන් මේවා හැඳින්වූවේ දෙයියන්ගේ ලෙඩ කියා.

ගෙදර ලෙඩෙක් ඉන්න විට එය අන් අයට දැන්වූයේ ගෙදරට ඇතුල් වන කඩුල්ලේ දෙහි අත්තක් හෝ කොහොඹ කොළ අත්තක් එල්ලීමෙන්. දෙහි, කොහොඹ ආදිය වයිරසය වාරණයට හේතු වන බව ඔවුන් දැන සිටියා. රෝගියා ගේ ඇතුළේ කාමරයක සිටිනා අතර ඔහුගේ අවශ්‍යතා අන් අය ඉටු කරනු ලබනවා. නියමිත දින ගණන 14,21 අවසන් වූ පසු රෝගියා පිටට එන්නේ රෝගය සමනය වෙලා. ඔහුගෙන් අන් අයට රෝගය බෝවන්නේ නැහැ. එදා නිරෝධායනය කළේ ඒ ආකාරයටයි.

ලෝකයේ වරින් වර ඇති වන රෝගාබාධයන් නිසා ලක්ෂ ගණන් මිනිසුන් මිය ගිය ආකාරය දකින්නට තිබෙනවා. බුද්ධ කාලයේ විශාලා මහ නුවර ඇති වූ තුන් බිය නිසා විශාල සංඛ්‍යාවක් මිය ගිය බවත් රතන සූත්‍ර දේශනා කිරීම තුළින් එම තත්වය තුරන් වූ බවත් ශාසන ඉතිහාසයේ සඳහන් වෙනවා. 1918 ඇති වූ ස්පාඤ්ඤ උණ නිසා එක් කෝටි හැත්තෑ ලක්ෂයක් මියගිය බව ඉතිහාස ගත තොරතුරු වලින් පැහැදිලි වෙනවා. කුරුලු උණ, ඩෙංගු උණ, ස්පාඤ්ඤ උණ, මැලේරියා, කොලරා, මහා මාරිය ආදී විවිධ අන්දමේ වයිරස් නිසා එදා මෙදා තුර ලෝක ඉතිහාසය පුරාවටම කෝටි සංඛ්‍යාත ජනතාවක් මරණයට පත් වී තිබෙනවා. භූමි කම්පා, ගිනි කඳු පිපිරීම්, සුනාමි වැනි ස්වභාවික විපත් නිසා ද බොහෝ ජනතාවක් මිය ගිය ආකාරය දකින්නට තිබෙනවා. මේ නිසා ආතර් සී ක්ලාක් මහතා සඳහන් කරන්නේ ස්වභාවික විපත් ඉහළ යාම හේතුවෙන් වර්ෂ 2050 වනවිට ලෝකයේ හරි අඩක් මිනිසුන් බුදු දහම කෙරෙහි නැඹුරු වනු ඇති බවයි.

පෘතුගීසි ප්‍රකෝටිපතියකු වන පෘතුගාල සැන්ටැන්ඩර් බැංකුවේ සභාපති ඇන්ටෝනියෝ පියෙරා මහතා කොරෝනා ආසාදනය හේතුවෙන් මිය ගියා. ඔහුගේ දියණිය සමාජ ජාල වල ප්‍රචාරය කළා. “ අපි ධනවත් පවුලක්. නමුත් මගේ පියා අද ඉතාමත් වේදනාත්මක මරණයකට ලක් වුණා. කාටවත් ළඟටවත් යන්න බැරි වුණා. ඒ හැමෝටම ලබා ගත හැකි හුස්ම ලබා ගත නොහැකිවයි. කෙතරම් මුදල් තිබුණත් ඒවා නිවසේම නතර වුණා. මුදල් වලට කළ හැකි කිසිවක් තිබුණේ නැහැ.”

දියණියගේ මෙම ප්‍රකාශය තුළින් බොහෝ දේවල් හිතන්නට අපට අවස්ථාව උදා කර තිබෙනවා. ආතර් සී ක්ලාක් මහතා සඳහන් කළ ආකාරයට බුදුදහම කෙරෙහි නැඹුරුවක් මේ තුළින් දකින්නට තිබෙනවා.

අද ලෝක බලවතුන් ලෙස සැලකෙන ඇමරිකාව , ප්‍රංශ ජනාධිපතිවරු ආදී අය පවා පෙරදිග ක්‍රමයට ආචාර කිරීමේ ක්‍රමය මෙම රෝගයත් සමඟ ආරම්භ වී ඇති බව ඒ සඳහා පළවන ඡායාරූප වලින් පැහැදිලි වෙනවා. කොරෝනා රෝගය පිළිබඳව බුදු දහමට අනුව කටයුතු කළ යුත්තේ කෙසේද යන කාරණය මෙහිදී විමසා බැලීම වැදගත් වෙනවා.

එයට හොඳම උදාහරණය තමයි ගිරිමානන්ද සුත්‍රය, ගිරිමානන්ද හාමුදුරුවන් වහන්සේට අසනීප වූ අවස්ථාවේ ආනන්ද හාමුදුරුවන් බුදුරජාණන් වහන්සේ හමු වී අසනීප තත්ත්වය පැහැදිලි කර දුන්නා. එහිදී බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන් වහන්සේට මතක් කළේ ගිරිමානන්ද හාමුදුරුවන් වහන්සේ වෙත ගොස් දස සඤ්ඤා නමින් හැඳින්වෙන කරුණු දහයක් දේශනා කරන ලෙස.

චුක්ඛු රෝගෝ, සෝත රෝගෝ ආදී වශයෙන් වැළඳෙන රෝග රාශියක් එහි සඳහන් වෙනවා. අපට වැදගත් වන්නේ රෝග හටගන්නා ක්‍රම අටක් උන්වහන්සේ ඉතා පැහැදිලිව දේශනා කරනවා.

වා, පිත්, සෙම් යන තුන්දොස් කිපීමෙන් , ඍතු විපර්යාසයෙන්, විෂම පැවැත්මෙන් උපක්‍රම නිසාවෙන් , කර්මය නිසාවෙනි. මෙහි සඳහන් වන “ විසමපරිහාරජා” විෂම පැවැත්ම යන නූතන කොරෝනා වසංගතයට ධර්මානුකූල පිළිතුරක් සපයනවා. කෙනෙකුගේ වැරදි හැසිරීම නිසා ලෙඩ රෝග තමන් වෙතට ගෙන්වා ගන්නවා කියන බවයි විෂම හැසිරීම යන්නෙන් අදහස් වන්නේ. අධික ලෙස මත්පැන් ගන්නා කෙනෙකුගේ විෂම හැසිරීම නිසා රෝග හටගන්න පුළුවන්. එසේම වැසි සහිත වෙලාවට ආවරණයක් නොමැතිව තෙමි තෙමී යන කෙනෙකුට සෙම්පතිශ්‍යාව වැළදුණ කෙනෙකුට කර්මය නිසා සිදු වූ දෙයක් නොව වැරැදි හැසිරීම් රටාව නිසා සිදු වූ බවට බුදු සමය පෙන්වා දෙයි.

තවත් නිදසුනකින් පැහැදිලි කරන්නේ නම් පන්සිල් පද වල සඳහන් වන තුන්වන ශික්ෂා පදය ආරක්ෂා නොකිරීම නිසා හට ගන්නා ඒඩ්ස් රෝගය සඳහන් කළ හැක. මෙයින් අදහස් කරන්නේ පුද්ගලයාගේ විෂම ජීවන රටාව නිසා විවිධාකරයෙන් රෝගාපීඩාවලට ගොදුරු වන බවයි. ලෝකයම භීතියට පත් වී ඇති යුගයක ඒ පිළිබඳව සඳහන් කළ යුත්තේද මෙයම ය. වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරන අයට මෙම රෝගය වැළඳෙන්නේ නැහැ. නිසි ආකාරව මුඛ ආවරණ අත් ආවරණ පැළඳ වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරන විට මේ රෝගයෙන් වැළකෙන්නට පුළුවන්. සමහර රෝග මදුරුවන්, මීයන්, මැක්කන් වැනි සතුන් නිසා බෝ වනවා. සමහර රෝග සුළඟින් පාවී ඇවිත් ආසාදනය වෙනවා. මෙම රෝගය බොහෝ විට හටගන්නේ තවත් කෙනෙකුගෙනි. ඒ නිසා තමයි නිසිලෙස හැසිරුණොත් මේ රෝගයෙන් වැළකෙන්නට පුළුවන්.

බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද සුත්‍රයේ ද දේශනා කළ වැරදි හැසිරීම් අවබෝධ කරගෙන කටයුතු කරන විට ඔබට ආරක්ෂා වගේම අන් අයගේ ආරක්ෂාවද සැලකෙනවා.

 වෙසක් පුර පසළොස්වක පෝය 

  වෙසක් පුර පසළොස්වක පෝය මැයි මස 06 වනදා බදාදා අපරභාග 07.44 ට ලබයි. 07 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 04.15 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි 07 වනදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය 14 වනදා
බ්‍රහස්පතින්දා

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මැයි 07

Second Quarterඅව අටවක

මැයි 14

Full Moonඅමාවක

මැයි 21

First Quarterපුර අටවක

මැයි 30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]