[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අසාධාරණ ලෙස ලාභ උපයනවාද?

අසාධාරණ ලෙස ලාභ උපයනවාද?

"නියම බෞද්ධ ආර්ථික ආකල්පය නම් ධනයේ පැටලීමකින් තොරව සිහි මුළා නොවී එයට යට නොවී ආදීනව හොදින් දැන ආදීනව මෙනෙහි කරමින් කටයුතු කිරීමයි"

ජනතාව ආර්ථිකමය වශයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව බුදු දහම විසින් විවිධ සූත‍්‍ර දේශනා ඇසුරින් පෙන්වා දී ඇත.

වේයකු තුඹසක් බඳින්නා සේ බඹරකු මලකින් රොන් ගන්නා සේ වෙහෙස මහන්සි වී ධනය ඉපැයීම බුදු දහමින් අනුමත කර තිබේ.

බුදුරජාණන් වහන්සේ ධම්මික සූත‍්‍රයෙන් ගිහියන් උදෙසා ධාර්මික ලෙසින් ධර්මය උපයන අයුරු පවා දේශනා කර තිබේ.

ධම්මෙන මාතා පිතරෙ භරෙය්‍ය
පයොජයේ ධම්මිකං යො වණිජ්ජං
එතං ගිහි වත්තයං අප්පමත්තො
සයං පභො නාම උපෙති දෙවං

ඒ අනුව ‘ධර්මයෙන් ධනය උපයා මවුපියන් පෝෂණය කරන්න. දැහැමි වෙළෙඳාමෙහි යෙදෙන්න. එසේ අප‍්‍රමාදව ගිහි ගෙයි විසීමෙන් ස්වයං ප‍්‍රභූ දෙවියන් අතර උපදියි‘ යනුවෙන් දක්වා තිබේ.

බුදු රජාණන් වහන්සේ අවස්ථා ගණනාවකදී දැහැමිව ධනය ඉපැයීම ගැන දේශනාවන් ගෙන හැර දැක් වූ සේක. දැහැමි ධනෝපානය මාර්ග බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර වදාළේ එහි ඇති වටිනාකම නිසාවෙනි.

විශේෂයෙන්ම නොකළ යුතු වෙළෙඳාම් 5ක් උන් වහන්සේ විසින් දේශනා කර වදාළේ ඒ ඔස්සේ වන සමාජ ගැටලූ අර්බුද දෙස අවධානය යොමු කිරීමෙනි.

බුදුරජාණන් වහන්සේගේ සමයේ බ‍්‍රාහ්මණ වර්ගීකරණය තූළ වෛශ්‍ය නම් වෙළෙඳාම වෙනුවෙන් වෙනම කුලයක් නම් කර තිබීමෙන් ජනතාවගෙන් විශාල පිරිසක් වෙළෙඳාම් කිරීමේ නිරතව සිට ඇති බව ද පෙනේ.

එම නිසා ඔවුන්ගේ වෙළෙඳාම් කාර්යයන් ධාර්මිකව කළ යුතු බව පෙන්වා දීමට බුදුරජාණන් වහන්සේ නිරතුරුවම මෙසේ කටයුතු කළ බව අපට පැහැදිලිය. නොකළ යුතු වෙළෙඳාම් මෙන්ම වෙළඳාමෙහිදී නොකළ යුතු කූටෝපක‍්‍රමද බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ සේක.

ඒ අනුව තුලා කූට කංස කූට හා මාන කූට යන ත‍්‍රිවිධ කූට ක‍්‍රම කිසිසේත්ම වෙළෙඳාමේදී නොකළම යුතු බව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ සේක.

තුලා කූට යනුවෙන් පෙන්වා දුන්නේ තරාදිය ඇසුරින් සිදු කරන්නා වූ කූටෝපක‍්‍රමයන්ය. අදත් ඇතැම් වෙළෙන්දෝ මේ ලෙසින් තරාදියේ හෝ තරාදියට යොදනු ලබන බර ඒකක (පඩි* හරහා වවිධාකාර වංචනික ක‍්‍රියාවන් සිදු කරති. ඇතැම් විට තරාදියේ සැකසුම් වෙනස් කරති. කිලෝග‍්‍රෑම් එකක් ලෙසින් තරාදියේ පෙන්නුම් කළද නිවැරැුදි බර ග‍්‍රෑම් 800ක් පමණ වන්නට ඇත. එයින් සුළු ලාභයක් ලැබූවත් අවසානයේ එම වෙළෙඳුන් සිදු කර ගන්නේ නොකළ යුතු වෙළෙඳාම් සිදු කළා හා සමාන අකුසලයකි.

එසේම කංස කූට නමින් හැඳින්වෙන ආහාර හෝ වෙනත් දේ බාල කර අලෙවි කිරීම හෝ බාල දේ උසස් ලෙස අලෙවි කිරීම ද බුදුරජාණන් වහන්සේ විසින් බලවත් අකුසලයක් ලෙස පෙන්වා දී තිබේ. වර්තමානයේ ප‍්‍රසිද්ධ රහසක් වන ගම්මිරිස් හා ගස්ලඹු ඇට මිශ‍්‍ර කිරීම පොල් තෙල් හා බාල තෙල් වර්ග මිශ‍්‍ර කිරීම වැනි ක‍්‍රියාවන් කංස කූට ලෙස දැක්විය හැකිය. ඒ කූට ක‍්‍රියාවන් නිසා සිදු වන්නේ ඒවා පරිහරණය කරනු ලබන ජනතාවට ජීවිතවලින් පවා වන්දි ගෙවීමටය. බුදුරජාණන් වහන්සේ වසර 2500කට පෙර ඒ නොමනා ක‍්‍රියාවන්ගෙන් වැළැකිය යුතු බව දන්වා වදාළ සේක.

එමෙන්ම මාන කූට යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළේ මැනීමේදී සිදු කරනු ලබන කූට උපක‍්‍රමයන්ය. එම මැනීම මිනුම් කෝදු ආදියෙන් සිදු කරනු ලබන වංචාවන්ය. ජනතාව මිලදී ගන්නා රෙදි මෙන්ම මිනුම් කෝදුවෙන් ලබා ගන්නා වෙනත් භාණ්ඩද මේ ලෙසින් පාරිභෝගිකයාට අඩුවෙන් ලබා දී වංචා කිරීම බලවත් අකුසලයක් බව බුදු දහම පෙන්වා දී තිබේ. ඇතැම් විට ද්‍රව වර්ග ආදියද මැනීම් සිදු කිරීමේදී වංචාවන් ද මේ වර්ගීකරණයටම අයත් වේ. මේ සියලූම වංචා සහගත ක‍්‍රමයන් කිසිදු ලෙසකින් සාධාරණය කළ නොහැකි බවද බුදු දහමේ දැක් වේ.

මෙවන් තත්ත්්වයන්ට හේතු සාධක වන්නේ මිනිසා අතෘප්තිකර ආසාවන්ගෙන් පෙලීම නිසාය. මිනිසා එක් ආශාවකින් තෘප්තිමත් වන විට තවත් ආශාවක් ඇති වන බවද බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ ඇතුළත් ය. බටහිර දාර්ශනිකවාදීන් පවා පෙන්වා දෙන්නේ කරත්තයෙහි ඉදිරියෙහි රැුඳ වූ කැරට් අලයක් අල්ලා ගැනීම සඳහා දිව යන අශ්වයකු මෙන් මිනිසා ද කිසි කලෙක නොලබන තෘප්තිය පසු පස දිව යන බවයි.

පුද්ගලයන්ගේ ධනය අසීමිතව ඉපදීමේ ආශාව නිසා ඉහත දැක් වූ කූට උපක‍්‍රම ආදිය යෙදීමෙන් අසීමිතව ධනය ඉපැයීමට කටයුතු කෙරේ. ආර්ථික වශයෙන් සමාජය තුළ අසහනකාරී තත්ත්වයක් උදා වී ඇත. ව්‍යාපාර නැත්නම් වෙළෙඳාමෙහි නියැළී සිටින අය අතරේ මේ තරගකාරීක්වය ඇතිිව තිබෙන අතර ඒ තරගය නිසා උපක‍්‍රමශීලී වීමත් වර්ධනය වී තිබේ. එවැනි තත්ත්වයන් පාලනය කිරීමට බුදු දහම ප‍්‍රධාන වශයෙන් ශ‍්‍රමයේ වැදගත්කම අවධාරණය කර ඇත. ධනය ධාර්මික වන්නේ ධාර්මික ලෙස ඉපයීම මඟින් පමණක් බව දක්වා ධනෝපානය මාර්ගයේ ඇති අකාරුණිකත්වයද පාලනය කර තිබේ.

එම පාලනය යනු නිවැරැදි ජීවන ප‍්‍රතිපදා අනුගමනය කිරීමයි.

උපයන ධනය පවා තමා පමණක් සැප විදීමට නොව අඹුදරුවන් දෙමාපියන් ඥාති මිත‍්‍රාදීන් මෙන්ම ආගමික උතුමන් වෙනුවෙන් පවා වෙන් කළ යුතුව තිබේ.

නියම බෞද්ධ ආර්ථික ආකල්පය නම් ධනයේ පැටලීමකින් තොරව සිහි මුළා නොවී එයට යට නොවී ආදීනව හොදින් දැන ආදීනව මෙනෙහි කරමින් කටයුතු කිරීමයි.

ධාර්මිකත්වය කරා ගමන් කළ හැකි වන්නේ බෞද්ධ ආර්ථික දර්ශනයේ දැක්වෙන ක‍්‍රමෝපායයන් අනුගමනය කළහොත් පමණක් බව අපට වැටහී යනු ඇත.

බුදු රජාණන් වහන්සේ විසින් සිගාලෝවාද සූත‍්‍රයෙන් දක්වා ඇති පරිදි ධනය පරිභෝග කළ යුත්තේ උදුම්බර ඛාදිකයකු කටයුතු නොකරන පරිද්දෙන් බවයි.

දිවුල් කඩා ගන්නකු දිවුල් කඩා ගන්නට ගොස් අතු ඉති මෙන්ම කුඩා නොමේරූ දිවුල් ගෙඩි පවා කඩා දමමින් මතුවට ඵලදාවක් නොලැබෙන සේ කටයුතු කරයි නම් ඔහු තම සම්පත්ද ඒ ලෙසින්ම විනාශ කර දමන්නෙකි.

එසේම අජද්ධුමරන නම් සියල්ල රැුස් කර තබා ගෙන නොකා නොබී මිය යෑමයි. බුදුරජාණන් වහන්සේ මේ දෙයාකාර වූ අන්ත ප‍්‍රතික්ෂේප කර තිබේ.

උන් වහන්සේගේ දේශනාව වන්නේ අරපිරිමැස්මෙන් හා නුවණින් යුක්තව ධනය පරිභෝග කළ යුතු බවත් ඊට පෙර උපයන ධනය අප ඉහත දැක්වූ නොකළ යුතු වෙළෙඳාම්වලින් වෙන්ව කිරුම් මිනුම් ආදියෙන් වංචනිකව නොකළ යුතු වෙළෙඳාම් බවයි.

වර්තමානයේ පැමිණෙන මෙවන් හදිසි විපත්වලට උපයන ධනයෙන් කොටසක් වෙන් කළ යුතු බවද බුදුරජාණන් වහන්සේ සිගාලෝවාද සූත‍්‍රයේ පැහැදිලිව දේශනා කර ඇත .

මිනිසාට සොබා දහමෙන් ලැබී ඇති සම්පත් සීමිත බව මෙනෙහි කරගෙන සම්පත් විනාශ නොකර කටයුතු කළ යුතු අතර ඒ සඳහා බුදු දහම විසින් ලබා දී ඇති උපදෙස් මහෝ්පකාරී වනු ඇත .

නොමනා වෙළෙඳාමෙන් උපයන ධනය රදා නොපවතින බවත් නිරතුරුවම සොබා දහමට ගහට කොළට ආදරයෙන් යුතුව දැහැමි ක‍්‍රම අනුගමනය කළ යුතු බවත් අපට අද සිදුවන විපත්තිවලින් උගැන්මට සිදුව ඇත .

ආනන්ද හිමියන්ට සිවුරු 500ක් පූජා වශයෙන් ලද අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ එම සිවුරු පරිහරණය කරන ආකරය ගැන ආනන්ද හිමිගෙන් විචාළහ.

ආනන්ද හිමියන් ඒ සඳහා ලබා දුන් පිළිතුර වූයේ ‘වැඩිපුර ලැබුණු සිවුරු සියල්ල පෙරවිය නොහැකි ලෙස සිවුරු ඉරිගිය හෝ දිරා ගිය භික්ෂූන් වහන්සේට ලබා දෙන බවයි. ඒ හිමිවරුන් සතු එම දිරා ගිය සිවුරු ඇඳ ඇතිරිලි බවටත් පසුව පය පිිස දැමීම සඳහාත් භාවිත කරනු ලබන බවයි.

එයින් පසුව වුවද ඒවා මැටි සමඟ අනා බිත්ති බැඳීමට යොදා ගත හැකි බව ආනන්ද හිමියෝ කීහ.

ආනන්ද හිමිගේ ඒ පිළිතුරෙහි ගැබ්වුණු බොහෝ දේ එදාට වඩා අද අප ජීවත් වන සමාජයට බොහෝ ආදර්ශ සපයයි. ලොව සම්පත් සීමිත බව දැන දැනත් ඒ ගැන නොසලකා කටයුතු කරන ජනතාව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධාර්මික ධනෝපායන මාර්ගයන්හි ගමන් කළ යුතු වන්නේ වත්මන් කොරෝනා අර්බුදයද යම් කිසි ජන කොට්ඨාසයක් විසින් නිර්මාණය කර ඇති බවට මේ වන විට හෙළිව ඇති බැවිනි. අසීමාන්තික ආසාවන් හඹා යාම මෙන්ම මුදල් තණ්හාව නිසා අවසානයේ සමස්ත ලෝකයම විපතකට ඇද දමන්නට ඇහැට නොපෙනෙන කුඩා වයිරසකයට හැකි විය.

අප තේරුම් ගත යුත්තේ කුඩා දේ ලොකු කර බැලිය හැකි අන්වීක්ෂයකට පවා අසු නොවන අප විසින් කරනු ලබන නොකළ යුතු අයථා ලාභ ඉපැයීමේ හෝ ජනතාව මුළා කරන කටයුතු නිසා උපදවා ගන්නා අකුසල් කොරෝනා වයිරසයට වඩා බලවත් වන බවයි කොරෝනා විපාකය රදා පවතින්නේ මේ ආත්මයේ පමණි. එහෙත් අකුසලයන් නිවන් දක්නා ආත්මයන් දක්වාම ඔබ පසු පස පැමිණෙනු ඇත.

 

 

 

 බක් අව අටවක පෝය 

  බක් අව අටවක පෝය අපේ‍්‍රල් මස 14 වැනිදා අඟහරුවාදා අපරභාග 4.11න් අව අටවක ලබා 15 වැනිදා බදාදා අපර භාග 4.51න් ගෙවේ. සිල් සමාදන් විය යුත්තේ අඟහරුවාදා ය.

මීළඟ පෝය අප්‍රේල් 22 වනදා බදාදා.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 14

Full Moonඅමාවක

අප්‍රේල් 22

First Quarterපුර අටවක

අප්‍රේල් 30

Full Moonපසළොස්වක

මැයි 06

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]