[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිරිතේ ආශිර්වාදය ලබා ගන්නට නම් !

 

බෞද්ධයන් වශයෙන් ආරක්ෂාව සලසා ගැනීම පිණිස අතීතයේ සිටම පිරිත් සඡ්ඣායනාව පැවැත්වීම සිදු කරනු ලැබුවා. එසේම බුදුරජාණන් වහන්සේගේ ජීවමාන සමයේදී පවා විශාලා මහනුවර ඇති වූ තුන් බිය දුරු කිරීමටත් රතන සූත‍්‍රය දේශනා කළ බව බෞද්ධයන් වශයෙන් අප කවුරුත් දන්නා සිදුවීමක්.

එදා දඹදිව විශාලා මහනුවර පමණක් ඇති වූ එම තුන් බිය වෙනුවට අද වන විට ලෝකය පුරාම රෝග බිය හා මරණ බියත් ඇතිව තිබෙනවා.

ඒ සඳහාද මේ වන විට රතන සූත‍්‍රය දේශනා කිරීමට ශ‍්‍රී ලංකාවේ බෞද්ධයන් මෙන්ම බෞද්ධ නොවන අය පවා කටයුතු කරමින් සිටිනවා.

විශේෂයෙන්ම අමනුෂ්‍ය බලවේග සම්බන්ධව විශ්වාසයන් ඇති ශ‍්‍රී ලංකාවාසීන් මේ අවස්ථාවේ රතන සූත‍්‍රය දේශනා කිරීම ඉතාම වැදගත් වන අතර එයින් ලැබෙන ආශිර්වාදය සමස්ත ශ‍්‍රී ලංකාවාසීන්ටම හිමිවන බවත් පෙන්වා දිය යුතු වනවා.

එහෙත් මෙහිදී පෙන්වා දිය යුතු විශේෂිත කරුණු කිහිපයක් ද තිබෙනවා. එනම් කුමන හේතුවක් මත හෝ ප‍්‍රතිපත්තියෙහි නොපිහිටා කටයුතු කරන අයට පිරිතෙහි ආශිර්වාදයක් බලාපොරොත්තු වීම නුසුදුසු බවයි. විශේෂයෙන්ම පංචශීීලයෙහි නොපිහිටා පිරිතෙන් ආශිර්වාද පැතීම බුදු දහමට එකඟ නැහැ.

පිරිත් සූත‍්‍ර දේශනාව ආරම්භ කිරීම සිදු කරන්නේ,

විපත්ති පටි භාහාය
සබ්බ සම්පත්ති සිද්ධියා
සබ්බ දුක්ඛ විනාශාය
සබ්බ රෝග විනාශාය
සබ්බ භය විනාශාය.........
යනුවෙන්, බවද පෙන්වා දිය යුතුයි.

ඒ අනුව සියලූ සම්පත් ළඟා කරදෙන විනාශකාරී යම් උපද්‍රවයක් ඇත්නම් එය දුරු කිරීම සඳහාත් සියලූ දුක්, රෝග, භය ඉවත් කර දැමීමට හෙවත් විනාශ කර දැමීමට අවශ්‍ය පිරිත් සඡ්ඣායනාවක් පැවැත්වීමේ ආරම්භය සිදු කෙරෙන බවයි එයින් අදහස් වන්නේ.

අද වන විට විහාරස්ථානයයන්හි උදෑසන හා සවස් වරුවේ සිදු කරන පිරිත් දේශනාවන්ට අමතරව මාධ්‍ය මඟින්ද පිරිත් දේශනා කරනු ලබනවා. ජනාධිපතිතුමා පවා මේ වන විට එම පිරිත් දේශනා සම්බන්ධව අවධානය යොමු කර තිබෙනවා.

මෙහිදී අප අවබෝධ කර ගත යුත්තේ පිරිතේ ආශිර්වාදය ලබා ගන්නට නම් පිරිතට නිසි පරිදි සූදානම් වී ශ‍්‍රවණය කළ යුතු බවයි.

පිරිත දේශනාවක් පමණක් ම නෙමෙයි. එහි නිසි ආශිර්වාදය ලබා ගැන්මට නම් පිරිතේ ජීවමානත්වය ගොඩනඟා ගත යුතුයි. ඒ සඳහා පිරිත් සූත‍්‍රයන්හි අර්ථය, එහි පරමාර්ථය, ඒ සඳහා දක්වන මානසික සම්බන්ධය, දේශනා මාධ්‍යය ගැන අවබෝධයෙන් කටයුතු කළ යුතු ය. එනම් දේශකයාණන් වහන්සේ මෙන්ම පිරිත් අසන්නන්ද නිසි පරිදි සැදැහැවත්ව ශීල ගුණාංග සහිතව පිරිත ශ‍්‍රවණය කළ යුතු ය.

පිරිත් ශ‍්‍රවණය කිරීම ගීතයක් රසවිඳිනවා මෙන් සවන් දීම නොකළ යුතුයි. එය ශ‍්‍රද්ධාවෙන්, මහත් භක්තියෙන් සිදුකළ යුතුයිි. ඇතැම් නිවෙස්වල රාත‍්‍රිය පහන් වන තුරු පවා පිරිත් ඇතුළත් හඬ පට දමන්නට හුරු පුරුදු වී සිටිනවා. එහෙත් එමඟින් සැබෑවටම ඔබට පිරිත් ශ‍්‍රවණය වීමක් සිදුවෙන්නේ නැහැ. රැුය පහන් වනතුරු පිරිත් හඬ පටය හරහා යම් ආකාරයක පිරිත් ආශිර්වාදයක් හිමි වන නමුත් එහි නිසි ප‍්‍රතිඵල ලබන්නට නම් නිසි ප‍්‍රතිපත්තියෙහි පිහිටාම කටයුතු කළ යුතු වෙනවා.

සැම විටම පිරිත් ශ‍්‍රවණය කරන්නට හැකිනම් එය මහත් වටිනා කුසල කර්මයක් වන නමුත් පිරිත් හඬ පට යොදා පැය ගණන් එය විකාශය වෙන්නට සලස්වා නිවසේ ඔබ මොබ යමින් ශ‍්‍රවණය කරනවාට වඩා විනාඩි 30ක් හෝ පැයක් පමණ නිසි ගෞරවයකින් යුක්තව පිරිත් ශ‍්‍රවණය කරන්නේ නම් එය මහත් ම වූ ආශිර්වාදයක් හිමි වන්නකි.

විහාරස්ථානයට යන විට ස්නානයෙන් පිරිසිදු වී යන්නේ නම් නිවසේ බුදු පහන තබද්දී නිසි ලෙසින් පිරිසිදු වී කටයුතු කරන්නේ නම් පිරිත් ශ‍්‍රවණයේදී වෙනත් කාර්යයන් සිදු කරන අතරම එය සිදු කිරීම සුදුසුයැයි සිතනවාද?

යහපත්ව කටයුතු කිරීමෙන් ඔබේත්, පවුලේ අනෙක් අයගේත්, නිවෙසේත් දියුණුව නිරෝගී භාවය, ආයුෂ, සතුට, සැනසීම ළඟාකර ගත හැකිය.

උපතිස්ස රජ දවස සිදු වූ මහා දුර්භික්ෂ අවස්ථාවේ දී රජතුමා විසින් රටවැසියා සිල් සමාදන් කරවා නගරය සරසා මංපෙත් ඔස්සේ රතන සූත‍්‍ර දේශනාව පවත්වමින් දුර්භික්ෂය සමනය කළ බව සඳහන් වේ. පිරිතෙන් ලද අනුහස් හේතුවෙන් පිරිත් දෙසුම පැවැත්වීමට රාජ ආඥාවක් කළ බැව් ද මහා වංශයේ සඳහන් වේ.

එසේම පිරිතේ මෙන්ම පිරිත් නූල් හා පිරිත් පැන් සම්බන්ධයෙන්ද අප කටයුතු කළ යුතු නිසි පිළිවෙළ අවබෝධ කර ගත යුතු වෙනවා. නිසි අයුරින් පිරිත් කළ පිිරිත් නූලේ ඇති ආශිර්වාදය මාස දෙකක් හෝ තුනක් දක්වා හෝ පවතිනවා.

එසේම මේ දිනවල පවත්නා ජනතාව එක් රැුස් නොවීමේ ක‍්‍රමවේදයට අනුව විහාරස්ථානයකින් එක් අයෙක් පිරිත් නූල් ගෙන ගොස් අනෙක් අයට ලබා දීමත් සුදුසුයි. එමෙන්ම පිරිත් නූල අතේ බැඳ ගැනීම මෙන්ම කරේ පැළඳීමත් කොට්ටය යට තබා ගැනීමත් කළ හැකියි. විහාරස්ථානයකටම ගොස් සියලූ දෙනාම භික්ෂූන් වහන්සේ ලවාම පිරිත් නූලක් බැඳ ගැනීමම අවශ්‍ය වන්නේ නැහැ.

පිිරිත් පැන් මෙන්ම පිරිත් නූල්ද විදේශ ගත අයට යැවීමත් භික්ෂූන් වහන්සේ විසින් සිදු කරනවා. එම නිසා විහාරස්ථානයටම යාම විශේෂයෙන් මේ අවස්ථාවේ සිදු කළ යුතු නැහැ.

පිරිත් නූලක් බැඳ ගැනීමෙන් පසු එහි ආශිර්වාදය තබා ගැන්මට කටයුතු කළ යුතුයි. අප කවුරුත් දන්නා පරිදි කිලි කුණුවලට අසු නොවී සිටිමෙන් මෙන්ම පංචශීලය ආරක්ෂා කිරීම මෙහිදී වැදගත් වනවා. පංචශීලය කඩමින් අපට පිරිතෙන් ආරක්ෂාව බලාපොරොත්තු වන්නට බැහැ.

වර්තමානයේ රටේ පවත්නා වසංගත රෝගී තත්ත්වය හමුවේ ප‍්‍රතිපත්ති රකින ගිහි පිිරිසක් එක්ව සෞඛ්‍යාරක්ෂක ක‍්‍රම අනුව පිරිත් කීමෙහි කිසිදු වරදක් නැහැ. එය මේ අවස්ථාවේ හැටියට ඉතාම කාලෝචිත ක‍්‍රියාවක් ලෙසත් පෙන්වා දෙන්න පුළුවන්. එමෙන්ම ගිහියන් විසින් පිරිත් කියනා අවස්ථාවන් ගැන අප අසා තිබෙනවා.

විශාලා මහනුවර මෙන්ම අප ඉහත පැවසූ උපතිස්ස රජ සමයේ ඇති වූ ව්‍යසන තත්ත්වයන් හමුවේ දේශනා කළ රතන සූත‍්‍රය විශාල ප‍්‍රතිඵල ලබා දෙන්නක් මෙන්ම අපට ආරක්ෂාව සලසන තවත් සූත‍්‍රයක් ලෙස ධජග්ග සූත‍්‍රය හඳුන්වා දෙන්න පුළුවන්.

චෛත්‍යයක මුදුණේ් සිට පහළට වැටුණු භික්ෂූන් වහන්සේ නමක් විසින් ධජග්ග සූත‍්‍රය දේශනා කිරීම නිසා දිවි රැුක ගැන්මට ලැබුණු පුවතක් ගැන මෙරට ඉතිහාසයේ අප අසා තිබෙනවා.

රතන සූත‍්‍රය කරණීය මෙත්ත සූත‍්‍රය හා මංගල සූත‍්‍රය යන තුන් සූත‍්‍රය මෙන්ම ධජග්ග සූත‍්‍රයද අපට මෙහිදී බෙහෙවින් ප‍්‍රතිඵල ලබා ගත හැකි පිරිතක් ලෙසද පෙන්වා දිය හැකියි.

අරඤ්ඤේ රුක්ඛ මූලේ වා
සුඤ්ඤාගාරේ ව භික්ඛවො
අනුස්සරෙථ සම්බුද්ධං
භයං තුම්හාක නො සියා

එවං බුද්ධං සරන්තානං
ධම්මං සංඝං ච භික්ඛවො
භවං වා ඡුම්භිතත්තං වා
ලොමහංසෝ න හෙස්සතී ති

රුක්මුල් වනයෙහි හෝ වෙනත් ඕනෑම ස්ථානයක හෝ බුදුරජාණන් වහන්සේ සිහි කරන්න එසේ සිහි කළ විට බියක් ඇති නොවේ.

බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නය හා සංඝයා වහන්සේ සිහි කරන අයට බියෙන් හෝ තැති ගැන්මක් හෝ ලොමු දැහැ ගැන්මක් හෝ නොවේ.

ඒ අනුව රතන සූත‍්‍රයත් ධජග්ග සූත‍්‍රයත් අපට ආරක්ෂාව පිණිසම හේතු වන අතර සෙසු සූත‍්‍රයන්ගෙන්ද අපට ආරක්ෂාව මෙන්ම ආශිර්වාදය හිමි වන අතර විශාලා මහනුවර තුන් බිය ඇති වූ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ විසින් කටයුතු කෙළේ රජතුමාගේ ඉල්ලීම හා සහායද සහිතවයි.

අප විසින්ද පිරිතේ නිසි ආශිර්වාදය නිසි පිළිසරණක් බලාපොරොත්තු වන්නේ නම් පළමුව ප‍්‍රතිපත්තියෙහි පිහිටා කටයුතු කළ යුතු අතර පිරිතටද නිසි පරිදි ගෞරවයකින් යුක්තව ශ‍්‍රවණය කළ යුතු වෙනවා.

 බක් අව අටවක පෝය 

  බක් අව අටවක පෝය අපේ‍්‍රල් මස 14 වැනිදා අඟහරුවාදා අපරභාග 4.11න් අව අටවක ලබා 15 වැනිදා බදාදා අපර භාග 4.51න් ගෙවේ. සිල් සමාදන් විය යුත්තේ අඟහරුවාදා ය.

මීළඟ පෝය අප්‍රේල් 22 වනදා බදාදා.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 14

Full Moonඅමාවක

අප්‍රේල් 22

First Quarterපුර අටවක

අප්‍රේල් 30

Full Moonපසළොස්වක

මැයි 06

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]