[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිනිසත්බව සුවඳවත් කළ මනුස්සකම

මිනිසත්බව සුවඳවත් කළ මනුස්සකම

2004 සුනාමි ව්‍යසනය ඇති වූ විට ඇමරිකානු ජනාධිපතිවරයා පවසා තිබුණේ දැන් ලෝකයට අවශ්‍ය වන්නේ ශ‍්‍රී ලංකාවේ මෙන් දන්සල් ක‍්‍රමයක් බවයි. අපේ හෙළ සිරිත්වලට ලෝකයාම ගරු කරන බවත්් අපේ මිනිසත්කම අගයන බවත් එයින් පැහැදිලිය.

අප අද කටයුතු කළ යුතු වන්නේද ඒ අයුරිනි. ලෝකයේ බොහෝ රටවල් මහා අඳුරකින්් වැසී ගොස් තිබේ.

ඒ භයානක කොරෝනා රෝග උවදුරෙනි. එහෙත් අඳුරටම ශාප කිරීම අපගේ සිිරිත නොවේ. ඝන අන්ධකාරයේ වුව ආලෝකයක් දකින්නට වෙර දැරීම අද ඊයේ අපට හුරු වූවක්ද නොවේ

රජ කල සිටම අප කටයුතු කෙළේ බුදු දහමට අනුවය. අනෙකා ගැන සිතමිනි. අම්බලම, පින්තාලිය වැනි සංකල්ප මතු වූයේ ඒ අනුව ය. අනෙකා සමඟ නොගියහොත් රටට ගමට අනාගතයක් නොමැති බව හෙළයා දැන සිටියේය. බුදු දහමින් තොර සංස්කෘතියක් අපට නොමැති බව ඔහු දැන සිටියේය.

බුදුරජාණන් වහන්සේ සිඟාලෝවාද සූත‍්‍රයේ දේශනා කළ පරිදි තම යුතුකම් හා වගකීම් ඉටු කරන්නට ඔහු උත්සාහ කෙළේ එහෙයිනි.

බුදුරජාණන් වහන්සේ අග්ගඤ්ඤ සූත‍්‍රයෙන් දේශනා කර වදාළේ ලෝකය බිහි වූ හැටි මෙන්ම ලෝකයේ දුර්ගුණ වැඩි වන විට ලෝකය විනාශය කරා යන ආකාරයයි.

ගුණ ධර්මයෙන් පිරිහුණු මිනිසා අනුන්ගේ දේ සොරා ගැනීම, තවත් කෙනෙකුගේ ප‍්‍රාණය අහිමි කිරීම, කාමයෙහි වරදවා හැසිරීම් සිදු කරන විට අවුරුදු 80000ක් වන ඔහුගේ පරමායුෂ අවුරුදු 40000ක් දක්වාත් පසුව අවුරුදු 20000ක් දක්වාත් පහළ යන අයුරුත් අවසානයේ පරමායුෂ අවුරුදු 10 දක්වා පහළ යන ආකාරයද එහිදී පෙන්නුම් කෙරේ. ලෝකයේ ගුණ ධර්ම පහළ යන විට භයානක රෝග ඇතිවන ආකාරයත් ලෝක විනාශය කරා යන ආකාරය ද සූත‍්‍ර දේශනා මඟින්ම පෙන්නුම් කර ඇත.

මිනිසා නැවත කරුණාව, දයාව මෛත‍්‍රිය වැනි ගුණ ධර්ම පෝෂණය කරන විට ක‍්‍රමයෙන් ආයුෂ වැඩි වන ආකාරය බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර ඇත. සිගාලෝවාද සූත‍්‍රයේ පවා බුදුරජාණන් වහන්සේ විසින් මේ කරුණු දේශනා කර වදාළ සේක.

අද වන විට අපට පසක් වී ඇත්තේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ පරිදි අපගේ දියුණුව හෝ විනාශය සලසා ගන්නේ අප විසින්ම බවයි. වර්තමානයේ මතුව ඇති කොවිඞ් -19 හෙවත් කොරෝනා වසංගතයද මිනිස් ක‍්‍රියාකාරකම් නිසා ඇති වූ බව මේ වන විට අපට පැහැදිලිය. පරමාණු බෝම්බයද මිනිස් ක‍්‍රියාකාරකම් නිසා නිපදවා ගත්තකි.

කෙනෙක් ව්‍යාපාරයක් කරන්නේ ලාභයක් බලා ගෙනය එහෙත් කොරෝනා උවදුර බොහෝ දෙනා තුළ වූ ඒ අරමුණ වෙනස් කර ඇති සැටි අපූරුය. හෙට දවසේ ව්‍යාපාරයක් කරන්නටත් රටක් තිබිය යුතු බව ඔවුන්ට හැෙඟන්නට ඇත කෙනෙක් තමන්ගේ ව්‍යාපාරික ස්ථානය සම්පූර්ණයෙන්ම පරිත්‍යාග කෙළේ රජය විසින් ගෙන යන කොරෝනා මර්දන වැඩසටහන වෙනුවෙනි. ඒ මනුස්සකම ය. එහි ආරම්භය සිදු වූයේ හංවැල්ලෙනි.

තම සුවිසල් හෝටල් සංකීර්ණය සියලූ කාමර සහිතව නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස ලබා දෙන්නට එහි හිමිකරු කැමැති විය. ඒ රෝගයේ ඇති භයානකකම ගැන ඔහුට වැටහී ගිය නිසා වන්නට ඇත . නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස තම හෝටලය ලබා දෙන්නට ඔහු කටයුතු කෙළේ නිරෝධායනය කරනු ලබන පුද්ගලයින්ට අවශ්‍ය ආහාර පානද ලබා දෙන බව පවසමිනි.

එයින් පසුව මීගමුවේත් එමෙන්ම සුපිරි තරු පන්තියේ හෝටලයක් වන වස්කඩුව සිට්රස් ලෙෂර්ස් හෝටලයද ලබා දෙන්නට පාලනාධිකාරිය විසින් කටයුතු කරන ලදී. අද වන විට මේ තත්ත්වය දිවයින පුරාම විසිරී ගොස් තම තමන්ට හැකි උපරිම ලෙසින් ඒ සඳහා අවශ්‍ය ස්ථාන ලබා දෙන්නට අපේ මිනිසත්කම ඉදිරියට පැමිණ තිබේ.

මුඛ ආවරණ නොමිලේ ලබාදෙමින්...

 නොමිලේ දර ලබා දීමට කටයුතු කළ අයෙක්

එමෙන්ම වෙසක් පොසොන් පොහෝ දිනවල දන්සල් දීමෙන් අන් අයගේ කුස පුරවා මනා අත්දැකීම් ඇති අපේ ඇත්තන් විසින් මෙවරද ජනතාවගේ කුස ගින්න අවශ්‍යතා තේරුම් ගත්තේය.

තමන් එදිනෙදා ආදායම සපයා ගන්නා කොස් ගස්වල ඵලදාව එකවර කඩාගෙන ගොස් අලෙවි කිරීම පසෙක තබා ජනතාවට නොමිලේ ලබා දුන් කුඩා ව්‍යාපාරියකු ගැන අපගේ නෙත ගැටුණේ කටුගස්තොටදීය. ඔහු මහා ධනවතකු නොවේ. එකම ආදායම වත්තේ කොස් කඩා වෙළෙඳාම් කිරීමය. එහෙත් ඒ සුළු ආදායමට වඩා හෝ අනන්‍යන්ගේ කුස ගින්න ඔහුට දැනුණි.

එවැනිම ලෙසින් කටයුතු කළ තවත් කුඩා දරුවක් ගැන සටහනක් අපට මුහුණු පොතේ දන්නට ලැබුණි. ඒ පොළොස් ගෙඩි ටිකක් හෝ ගෙන ගොස් අඩු ආදායම්ලාභීන්ට හෝ අවශ්‍ය අයට ගෙන යාමට ලබා දීමෙනි. කුඩා කල පවා දරුවන් ඒ ලෙසින් බෝසත් ගුණාංග කෙරෙහි යොමු කරවන්නට මවුපියන් දරණ වෑයම අප අගය කළ යුතුය.

තමාට කළ හැකි සේවාවන් අන් අයට ලබා දෙමින් මේ අවස්ථාවේ උපරිම දායකත්වයක් සපයා දෙන්නට කටයුතු කළ අයද නැතිවා නොවේ.

හොරොව්පොතාන දෑකැතිපොතාන ප‍්‍රදේශයේ ගොවි ජනතාව ඇඳිරි නීතිය හමුවේ දැඩි අපහසුතාවන්ට පත් විය. ඒ තමන්ගේ කුඹුරෙන් නෙළා ගත් අස්වැන්න හාල් කර ගන්නට නොහැකි වීමෙනි. එම අවස්ථාවේ ඒ සඳහා ඉදිරිපත් වූයේ පාසල් සිසුවෙකි. ඔහු නමින් කණිෂ්ක ධනංජය වේ. හොරොව්පොතාන මහ පොතාන පඩරැල්ලෑව පණ්ඩුක විද්‍යාලයේ උසස් පෙළ හදාරණ කණිෂ්ක මේ පාසල් නිවාඩු සමයේ සිදු කෙළේ ගොයම් කපා අසරණව සිටි ජනතාවට පිිළිසරණක් වීම සඳහා වී නොමිලේ කොටා දීමයි. දිනකට වී මිටි 50ක්් පමණ කිසිදු විවේකයක් නොමැතිව එක දිගට සහල් බවට පරිවර්තනය කරන්නට කණිෂ්ක ගන්නේ අපමණ වෙහෙසකි.

ඒ ලෙසින් තමන්ට හැකි උපරිම දේ ලබා දෙන්නට දිවයින පුරාම පිරිස් කටයුතු කරනු අපට දක්නට ලැබුණි. ඒ අතර මුහුණු ආවරණ නොමිලේ ලබා දුන් කුඩා දියණියකගේ හා පුතකුගේ දසුනක්ද අපට දැක ගන්නට හැකි විය. ඔවුන්ද බෝසත් දරුවන්ය. අනෙකාගේ දුක තේරෙන අනන්‍යන්ට තමන්ට හැකි ලෙසින් පරිත්‍යාග කිරීමේ වැදගත්කම ඒ දරු දැරියන් වටහා ගෙන ඇත. තමන්ට හැකි ලෙසින් මුඛ ආවරණ මසා ගමේ හා ආරක්ෂක අංශවල අයට ලබා දෙන්නට වෙහෙසුණු කිරිබත්ගොඩ ප‍්‍රදේශයේ බුද්ධ පුත‍්‍රයන් වහන්සේ නමක්් අපගේ නෙත ගැටුණි. උන් උන් වහන්සේ විසින්ම මේ මුඛ ආවරණ මැසීම අප අගය කළ යුතුය.

මහියංගණයේ ව්‍යාපාරික මහතකු එළවළු ලොරියක් රැුගෙන විත් ඒවා සෞඛ්‍ය කාර්ය මණ්ඩල, පොලිසියට හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ලබා දුන්නේද ඒ මිනිසත්කම උඩය.

තමන්ට දෙන්නට වත්තේ ඵලදාවක් නැතත් අඩුම වශයෙන් දර ටිකකින් හෝ පුළුවන් ලෙසින් උපකාර කරන්නට දර පලා ඒවා නොමිලේ ලබා දෙන්නට ශ‍්‍රමය වැය කළ පියෙක් ගැනද අපට දැක ගත හැකි විය.

බෞද්ධ භික්ෂූන් වහන්සේද තමන්ට හැකි ලෙසින් ආධාර උපකාර කරන්නට විය. ඒ අනුව අස්ගිරි මල්වතු මහ නාහිමිවිරුන් විසින් රුපියල් කෝටි දෙකක පමණ ආධාරයක් කොරෝනා මර්දනය පිණිස ලබා දුන් අතර මහියංගණ රජමහා විහාරාධිකාරී හිමියන් විසින් රුපියල් කෝටි 2 1/2ක් පමණ වටිනා වෛද්‍ය උපකරණ තොගයක් ද පරිත්‍යාග කරන ලදී. මාවරලේ භද්දිය හිමියන් විසින්ද රුපියල් කෝටි 2ක් වටිනා වෛද්‍ය උපකරණ පරිත්‍යාග කරන ලදී.

මේ සියල්ල කියා පෑවේ අත් හැරීමයි. පරිත්‍යාගයයි. ඒ සමඟම අපට දැන ගන්නට ලැබුණේ ඇවන්ට්ගාඞ් සමූහ ව්‍යාපාරයේ සභාපතිි මේජර් නිශ්ශංක සේනාධිපති විසින් මේ සඳහා මිලියන 300ත් ලබා දෙන්නට කටයුතු කළ බවයි. එමෙන්ම තවත් මිලියන 200ක් වටිනා වෛද්‍ය උපකරණත් ලබා දුන් ඔහු පැවසුවේ අවශ්‍ය වුවහොත් තමන් පදිංචි නිවස විකුණා රුපියල් මිලියන 500ක් ලබා දෙන්නට කටයුතු කරන බවයි

එය තේරුම් ගත් ප‍්‍රවීන ගායන ශිල්පී නලීන් පෙරේරා විසින් හලාවත පිහිටි තම නිවස හලාවත රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයකට පරිත්‍යාග කරන ලද්දේද ඒ අත් හැරීම මෙන්ම මිනිසත්කම ඉස්මතු වූ නිසාය.

සියලූම රටවල් ප‍්‍රතික්ෂේප කරද්දී ඉතාලි නෞකාවට ශ‍්‍රී ලංකාවට පැමිණීමට අවසර ලබා දී එහි සිටි රෝගී වයෝවෘද්ධ කාන්තාවක් රට තුළට ගෙන අපේ ප‍්‍රධානම රෝහලට ඇතුළු කිරීමට තරම් ශ‍්‍රී ලාංකිකයෝ මිනිසත් බවින් පොහොසත්ය.

බොහෝ තරුණයෝ විෂබීජ හරණ කුටි සාදා පරිත්‍යාග කරතිි. තවත් පිරිසක් රොබෝ යන්ත‍්‍ර සාදා පරිත්‍යාග කරති. මේ අවස්ථාවේ ඔවුන්ගේ උත්සාහය උනන්දුව අගය කළ යුතුම ය. සමාජයක් සුවඳවත් කරන්නට වෙර දරන මිනිසුන. රටට අවැසි ඔබ වැනි සුවඳවත් චරිතම ය.

මේ මිනිසත් බව නිසාම ඈත අතීතයේ සිටම අපේ එකමුතුකම සමඟිය රැදී තිබුණි. ඒ නිසාම පරසතුරු උවදුරු මෙන්ම මැලේරියා කොලරාව මහාමාරිය වැනි වසංගත රෝගයන්ද අපට ඉක්මනින් දුරු කර ගන්නට හැකි විය. අප හෙට වුවද කටයුතු කළ යුත්තේ ඒ මිනිසත්කම හදවතේ තබා ගෙනය.

විසඳුම ඇත්තේ තම හදවත තුළය. මනුස්සකම ඇත්තේ මිල මුදලේ නොව හදවත ඇතුළේය. එහෙත් අද ඇතැම් අය තේරුම් ගෙන නොමැත්තේ ද එයයි. මේ සියල්ල අපට කියා පාන්නේ කොරෝනාවෙන් හටගත් මනුෂ්‍යත්වයි. අනෙකාගේ දුක තේරුම් ගත හැකි ශ‍්‍රී ලාංකීය ජාතියක් සිටිනා බවයි.

 බක් අව අටවක පෝය 

  බක් අව අටවක පෝය අපේ‍්‍රල් මස 14 වැනිදා අඟහරුවාදා අපරභාග 4.11න් අව අටවක ලබා 15 වැනිදා බදාදා අපර භාග 4.51න් ගෙවේ. සිල් සමාදන් විය යුත්තේ අඟහරුවාදා ය.

මීළඟ පෝය අප්‍රේල් 22 වනදා බදාදා.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 14

Full Moonඅමාවක

අප්‍රේල් 22

First Quarterපුර අටවක

අප්‍රේල් 30

Full Moonපසළොස්වක

මැයි 06

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]