[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දඹදිව වන්දනාකරුවන් මෙරටට ගෙන ආ මෙහෙයුම

දඹදිව වන්දනාකරුවන් මෙරටට ගෙන ආ මෙහෙයුම


බුදුරජාණන් වහන්සේගේ දේශනාව වූයේ “බහුජන හිතාය - බහුජන සුඛාය“ යන්නයි. ඒ ධර්ම මාර්ගයේ ගමන් කරමින් ජනතාවගේ මෙලොව හා පරලොව සෙත සලසන්නට කටයුතු කිරීමට බෞද්ධ භික්ෂූන් වහන්සේ කටයුතු කරති. භික්ෂූන් වහන්සේ මෙරට මෙන්ම විදේශයන්හි සිටද එසේ මෙරට ජනතාවට විශාල සේවාවක් සිදු කරති.


චෙන්නායි මහාබෝධි මධ්‍යස්ථානයට පැමිණි වන්දනා පිරිස්

අප මේ කියන්නට යන කතාවද මේ දිනවල ලොව පුරා පැතිර යන කොරෝනා හෙවත් කොවිඩ් - 19 වසංගතය නිසා අතරමං වූ ශ්‍රී ලාංකික වන්දනාකරුවන්ට පිහිට වූ චෙන්නායි හි භික්ෂූන් වහන්සේ නමක් හා ශ්‍රී ලංකා රජයේ මෙහෙයුම පිළිබඳ කතාවකි.

කොරෝනා වසංගතය ලොව පුරා ශීඝ්‍රයෙන් පැතිර යෑම ආරම්භ වූ විට වන්දනාව පිණිස ඉන්දියාවට ගොස් සිටි වන්දනාකරුවන්ට යළි පැමිණෙන ලෙස දන්වන ලදී. ඒ අවස්ථාව වන විට ඇතැම් වන්දනාකරුවන් ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් තොටුපොළවලින් කිලෝමීටර් දහස් ගණන් දුරක සිටියහ. ඔවුහු පණිවිඩය ලත් මොහොතේ ආපසු පැමිණීම ආරම්භ කළද නව දිල්ලිය හා චෙන්නායි ගුවන් තොටුපොළ වෙත පැමිණෙද්දී ශ්‍රී ලංකාවට පැමිණෙන මඟී ගුවන් යානා ගොඩබෑම තහනම් කරන ලදී. ඒ නිසා ඔවුන්ට පැමිණීමට ගුවන් යානා නොමැති වීමෙන් විශාල ගැටලුවකට ඒ පිරිස මුහුණ දුන්හ.

නව දිල්ලියේ හා චෙන්නායි සිට පැමිණෙන වන්දනාකරුවන් ගෙන ඒමට විශේෂ ගුවන් යානා රජය විසින් සූදානම් කිරීමට කටයුතු කළ අතර වන්දනාකරුවන් 1200කට අධික පිරිසක් මෙසේ අතරමංව සිටියහ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේත් විශේෂ දැනුම් දීම මත ශ්‍රී ලන්කන් ගුවන් යානා යොදවන්නට කටයුතු කෙළේ ඒ අනුවය. ඒ අනුව නව දිල්ලිය වෙත ගුවන් යානා යවන ලද අතර චෙන්නායි ගුවන් තොටුපොළින් මෙරටට පැමිණීමට නියමිතව සිටි වන්දනාකරුවන් 590ක් පමණ සිටි අතර එම වන්දනාකරුවන්ගෙන් පළමු කණ්ඩායම පැමිණ ගුවන් තොටුපොළට යාමට පෙර චෙන්නායි එග්මෝර්හි කෙනත් පටුමඟේ පිහිටි මහාබෝධි මධ්‍යස්ථානයට ගියහ.

චෙන්නායි එග්මෝර්හි මහාබෝධි මධ්‍යස්ථානාධිකාරි කලවානේ මහානාම හිමියන් විසින් වන්දනාකරුවන් පැමිණි පසු එම පිරිස වහාම වහාම ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහ කොමසාරිස්වරයාට මේ පිළිබදව දැනුම් දුන්නේය. උන් වහන්සේ එතැනින් නොනැවතී වන්දනාකරුවන් ශ්‍රී ලංකාවට පිටත් කිරීමට අවශ්‍ය අනෙක් ඉදිරි පියවරද ගත්හ. ඒ අනුව ඉන්දියාවේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ කළමනාකරු (Country Manager) හා චෙන්නායි ගුවන් තොටුපොළේ කාර්යභාර කළමනාකරු අමතා ඒ සම්බන්ධව කටයුතු කළහ. ඒ දිනවල උන් වහන්සේට දානය ගැනීමට පවා වේලාවක් නොවීය.

එමෙන්ම වන්දනාකරුවන්ට අවශ්‍ය සියලුම පහසුකම්ද උන් වහන්සේ විසින් සපයා දෙන ලදී. ඒ සඳහා චෙන්නායි එග්මෝර්හි කෙනත් ලේන්හි පිහිටි ශ්‍රී ලංකා මහාබෝධි මධ්‍යස්ථානය මේ වන්දනාකරුවන්ගේ සියලු අවශ්‍යතා වෙනුවෙන් විවෘත කරන ලදී.

වන්දනාකරුවන්ට අවශ්‍ය සියලු ආහාර පාන සපයා දෙන්නට මහානාම හිමියෝ කටයුතු කළහ. උන් වහන්සේ සිදු කළ ඒ කාර්යය සුළුපටු නොවේ. ආහාර පාන ලබා දිය යුතුව තිබුණේ දහ පහළොස් දෙනකුට නොවේ. සිය ගණනකටය.

ඉන්දියාවේ වන්දනාවේ පැමිණි වන්දනාකරුවන් 590 කට වැඩි පිරිසක් එසේ චෙන්නායි නුවර පිහිටි මහාබෝධි සමාගමේ සිට ගුවන් මඟින් මෙරටට එවන්නට මහානාම හිමියෝ කටයුතු කළහ.

ඒ ජනාධිපතිතුමාගේත් අගමැතිතුමාගේත් මූලිකව චෙන්නායි දක්වා යවන ලද ශ්‍රී ලන්කන් ගුවන් යානාවලිනි. කිසිදු ශ්‍රී ලාංකික වන්දනාකරුවකු අතරමං නොවන සේ මෙරටට ගෙන්වීමට ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් මූලිකව කටයුතු කරන ලදී.

එක් එක් කණ්ඩායම් පැමිණි විගස එම කණ්ඩායම් පිටත් කර හරින්නට මහානාම හිමියෝ ද කටයුතු කෙළේ ගුවන් යානා පැමිණෙන අනුපිළිවෙළටය. වෙනත් ගුවන් යානා නොපැමිණි හෙයින් ශ්‍රී ලන්කන් ගුවන් යානා මගින් අවසන් වන්දනා නඩයේ සිටි 98 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමද පසුගිය 21 වැනිදා චෙන්නායි නුවර සිට ශ්‍රී ලංකාවට එවීමට මහානාම හිමියෝ නොගත් උත්සාහයක් නැත.

ශ්‍රී ලංකාවේ සිට පැමිණෙන වන්දනාකරුවන්ට අවශ්‍ය පහසුකම් ලබා දීමට උන් වහන්සේ විසින් කාලාන්තරයක් තිස්සේම කටයුතු කරන අතර මෙවර ඇති වූයේ එහි විශේෂ අවස්ථාවකි. තම සියලු කාර්යයන් පසෙකලමින් ශ්‍රී ලාංකික වන්දනාකරුවන් යළි එවීමට උන් වහන්සේ විසින් මෙසේ කටයුතු කරන ලදී.

මහානාම හිමියන්ද මෙවන් සිදුවීමකට මුහුණ දුන්නේ ප්‍රථම වතාවටය.

“මේ බොහෝ වන්දනාකරුවන් පැමිණ තිබුණේ අඩු මිල ගුවන් යානාවල නිසා ඒ ගුවන් සමාගම් මේ අවස්ථාවේ සේවාව ලබා දීමෙන් වැළකී සිටියා. මම පුළුවන්තරම් උත්සාහ ගෙන වන්දනාකරුවන් ශ්‍රී ලංකාවට පිටත් කරන්න කටයුතු කළා. ඇත්තෙන්ම ඒ සඳහා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ සහායත් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ඉන්දියාවේ කළමනාකාරවරයාත්, ඒ වගේම චෙන්නායි ගුවන් තොටුපොළේ කාර්යභාර කළමනාකාරවරයාත් උපරිම සහායක් ලබා දුන්නා. ඒ ගැන අගය කළ යුතු වෙනවා. ඔවුන් යළි ශ්‍රී ලංකාවට පැමිණියේ ශ්‍රී ලන්කන් ගුවන් යානාවලින්. ඒ අනුව ජාතික ගුවන් සේවාව මේ කාර්යයේදී විශාල සේවාවක් සිදු කළා.

මහාබෝධි මධ්‍යස්ථානයේදී අපට හැකි උපරිම ලෙසින් අප ඒ අයට සංග්‍රහ කටයුතු කළා. ඒ විතරක් නෙමෙයි ඒ පැමිණි නඩයේ සිටි සියලු දෙනාම විෂබීජ හරණයටත් අපි කටයුතු කළා. ඒ අයගේ ගමන් මලු පාවහන් මේ සියල්ලම අප විෂබීජ හරණයට කටයුතු කළා. එයින් ඔවුන්ට නිරෝගී ගමනකට අවශ්‍ය පහසුකම් අපි සපයා දුන්නා. ඒ සඳහා මහාබෝධි මධ්‍යස්ථානයේ සිටි සියලුම දෙනා දැඩි කැපවීමකින් යුක්තව කටයුතු කළා. අනුරාධපුර හා මහනුවර ප්‍රදේශවල කණ්ඩායම් දෙකක් තරමක් ප්‍රමාදව කටයුතු කිරිම නිසා නැවත යාමට ඔවුන්ට ගුවන් යානා ලබා දීම ප්‍රමාද වුණා. යම් යම් අසනීප තත්ත්වයන් මේ අයට හටගෙන තිබුණු නිසා අවශ්‍ය ඖෂධ පවා සපයා දෙන්නට අප කටයුතු කළා.“ චෙන්නායි එග්මෝර් මහාබෝධි සමාගමේ මධ්‍යස්ථානාධිකාරී කලවානේ මහානාම හිමියෝ එසේ බුදුසරණ පුවත්පතට පැවසූහ.

ශ්‍රී ලංකාවට පැමිණි සියලු වන්දනාකරුවනට ආරක්ෂිතව නිරෝධායන මධ්‍යස්ථාන කරා ගෙන ගොස් ඔවුන් සෞඛ්‍යාරක්ෂිත ලෙස යළි ගම්බිම් බලා යොමු කරන්නටද කටයුතු කෙළේ ජනාධිපතිතුමාගේත් අගමැතිතුමාගේත් උපදෙස් අනුවය. එම වන්දනාකරුවන්ට අවශ්‍ය සියලු කටයුතු සලසා දෙන්නැයි ජනාධිපතිතුමා හා අගමැතිතුමා විසින් විශේෂ උපදෙස් ලබා දී තිබුණි.

මේ වන විට ඉන්දියාව පුරාම ඇඳිරි නීතිය පනවා ඇති අතර මහාබෝධි මධ්‍යස්ථානය තාවකාලිකව වසා දමා ඇති අතර ඉන්දියාවෙන් මේ තත්ත්වය තුරන් වූ පසුව චෙන්නායි මහාබෝධි මධ්‍යස්ථානය යළි ශ්‍රී ලංකා වන්දනාකරුවන්ට විවර වනු ඇත. ඉන්දියාව යනු ශ්‍රී ලංකාව මෙන් 64 ගුණයක් පමණ විශාලත්වයෙන් යුත් රටකි. ඉන්දීය සිතියමේ ඉතා කුඩා පියවි ඇසට පවා නොපෙනෙන තිතක් මෙන් දැක්වෙන තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි එග්මෝර්හි පිහිටි මහාබෝධි මධ්‍යස්ථානය මඟින් සිදු කරන ලද්දේ සුළු පටු සේවාවක් නොවේ. විශේෂයෙන්ම චෙන්නායි මහාබෝධි මධ්‍යස්ථානාධිකාරී කලවානේ මහානාම හිමියන් විසින් සිදු කළ සේවාව ලක්වාසීන් වශයෙන් අප ඉහළින්ම අගය කළ යුතු වේ.

 බක් පුර පසළොස්වක පෝය 

 බක් පුර පසළොස්වක පෝය අප්‍රේල් 07 වනදා අඟහරුවාදා අපරභාග 00.01 ට ලබයි. 08 වනදා බදාදා පූර්ව භාග 08.04 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 07 වනදා අඟහරුවාදා.

මීළඟ පෝය අප්‍රේල් 14 වනදා අඟහරුවාදා.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අප්‍රේල් 07

Second Quarterඅව අටවක

අප්‍රේල් 14

Full Moonඅමාවක

අප්‍රේල් 22

First Quarterපුර අටවක

අප්‍රේල් 30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]