[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අඳුරෙහි සැඟවුණු ආලෝකයක් තිබෙනවා

අඳුරෙහි සැඟවුණු ආලෝකයක් තිබෙනවා

" දැන්වත් අප තමන් සිටින තැනින් වෙනත් තැනකට ගමන් කළ යුතුයි. මෛත්‍රීය, කරුණාව, මුදිතාව, උපේක්ඛාව යන සතර බ්‍රහ්ම විහරණය මත පදනම් වූ නැතිනම් බෝධි සත්ත්ව ධර්මයක පිහිටි සමාජ, ආර්ථික, පාරිසරික, ආධ්‍යාත්මික වැඩපිළිවෙළකට මුළු ලෝකයම එකතු විය යුතු වෙනවා."


ලෝක ඉතිහාසයේ පසුගිය අවුරුදු දෙසීයක පමණ කාලය තුළ මේ ලෝකය වැරැදි ගමනක් ගියා. ඒ ගමනේදී හොඳ දේත් සිදු නොවුණා නෙමෙයි. ඒත් ඇති කරගත් වැරැදි ආර්ථික ප්‍රතිපත්ති, පාරිසරික ප්‍රතිපත්ති, මනුෂ්‍ය පරිභෝජනය පිළිබඳ ප්‍රතිපත්ති ආදී මේ සියල්ලෙහි භයානක ඉරණමට අද අප මුහුණ දී සිටිනවා.

කොරෝනා වයිරසය වසංගතයක් ලෙස ලෝකය පුරා පැතිරෙමින් තිබෙනවා. එයට මුහුණ දෙන්නට නොහැකිව දස දහස් ගණනින් මිනිසුන් මිය යනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ පුරෝකථනයන්ට අනුව මේ වසංගතය නිමාවන විට කෝටි 4ක් පමණ ජනතාව මිය යාමට පුළුවන්. ඔවුන්ගේ ඒ උපකල්පනය වරදින්නත් පුළුවන්. ඒ වගේම නිවැරැදි වන්නත් පුළුවන්. නමුත් මේ වගේ දරුණු තත්ත්වයකට යන්නට අප මෙතෙක් ආ ගමන බලපා තිබෙනවා. මේ ව්‍යසනයත් සමඟ අප එය හඳුනා ගත යුතුයි.

මෙවැනි ව්‍යසනයන් තුළ අප වැනසෙන්නේ ඇයි? ඒවා තුළ තිබෙන ඇත්තම හේතු මොනවාද කියලා වටහා ගැනීම අවශ්‍යයි. මොකද, ලෝකය සංවර්ධන නියාමනයන්හිදී අමතක කළ දේ බොහොමයක් තිබෙනවා. සත්ත්ව හා ශාක පද්ධතිය, වාතය, ජලය ඒ අතර ප්‍රධානයි. ලොව ඇතැම් බලගතු රාජ්‍යයන් පාරිසරික සමුළුවලට පවා විශේෂයෙන්ම “කියතෝ“ වැනි සමුළුවලට පවා, අඩුම තරමේ පරිසර දූෂණයට එරෙහි, සොබා දහමට එරෙහි දූෂණයන් නැවැත්විය යුතුයි කියන සාකච්ඡාවකට හෝ සහභාගි වූයේ නැහැ. පරිසරය කුමක්ද කළේ? ඔවුන්ගේ රටවල පරිසර දූෂණ ක්‍රියාවලිය නැවැත්වීමට කටයුතු කළා. දැන් වාහනවලට යන්නට නොහැකියි. විශාල කර්මාන්ත ශාලා වසා දමලා.

අප තේරුම් ගත යුතු දෙය තමයි පරිසරය අමතක කරලා මිනිසා ගැන පමණක් සිතා එයිනුත් බලගතු මිනිසාගේ සුඛෝපභෝගී බව ගැන කල්පනා කරමින් ආ ගමනක දරුණු විපාකයට ලෝකයක් විදිහට අප අද මුහුණ දෙන බව. අද ප්‍රතිශක්තිය පිළිබඳව කතා කරනවා. විශේෂයෙන්ම බුදු දහම හින්දු දහම ආදී, පෙරදිග සම්ප්‍රදායයේ ප්‍රතිශක්තිය ශරීරයෙන් පමණක් ලැබෙන බව පිළි ගන්නේ නැහැ.

ශරීරයයි ආධ්‍යාත්මයයි දෙකම සමබර වැඩපිළිවෙළක් ඔස්සේ ගොඩ නඟා ගැනීමයි හඳුනාගෙන තිබුණේ. ඒත් බටහිර රටවල් මුල් තැන දුන්නේ තනිකරම කය ඉලක්ක කරගත් ගමනකටයි. ආධ්‍යාත්මික ශක්තිය නොමැතිව භෞතික, කායික ශක්තියෙන් පමණක් අභියෝගයන්ට මුහුණ දෙන්න පුළුවන් වසංගතයක් නෙමෙයි. සිරුර ශක්තිමත් කර ගන්නත් අපට සිත උදව් කරනවා. මේ නිසා අප හඳුනා ගත යුතුයි ලෝකයා විසින් දිගු කාලයක් කරන ලද අයහපත් ක්‍රියාදාමයන් පිළිබඳව නැවත වරක් අපට සිතා බලන්න කියලා මේ භයානක කොරෝනා වයිරසය අපට නරක සිද්ධි ඇතුළෙ හොඳ පණිවුඩයක් දෙනවා. එය තමයි වටහා ගන්නට ඕනෑ.

දැන්වත් අප තමන් සිටින තැනින් වෙනත් තැනකට ගමන් කළ යුතුයි. මෛත්‍රීය, කරුණාව, මුදිතාව, උපේක්ඛාව යන සතර බ්‍රහ්ම විහරණය මත පදනම් වූ නැතිනම් බෝධි සත්ත්ව ධර්මයක පිහිටි සමාජ, ආර්ථික, පාරිසරික, ආධ්‍යාත්මික වැඩපිළිවෙළකට මුළු ලෝකයම එකතු විය යුතු වෙනවා.

තමන්ගේ බල පරාක්‍රමය වැඩි කර ගන්නට අනෙකා විනාශ කර ස්වාර්ථය සලසා ගන්නට ගිය ඒ කෑදර ගමනින් ඉවත් වෙන්න මිනිසාට සිදු වෙනවා. තනි තනි පුද්ගලයෙක් විදිහටත්. ලෝකයක් විදිහටත්. අපගේ උඩඟුකම නිසා, උද්දච්චකම නිසා ජුගුප්සාජනක විදිහට ගිය ආත්මාර්ථකාමී, ප්‍රවේගකාරී, ගමන් මඟ වෙනස් කර නොගතහොත් අනාගතයේදී පැමිණෙන ව්‍යසනවලට උත්තර නෑ, මේ මොහොතේ අපට කරුණාව, දයාව, තියෙන්නට ඕනෑ. කරුණා දයා ගුණයන් නොමැතිව මේ ව්‍යසනයෙන් ගොඩ එන්නට ලෝකයට නොහැකියි. අපේ රටට ගොඩ එන්නටත් නොහැකියි.

මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා, ගුණ මත පදනම් වූ තැන අප මෙතෙක් ගහ කොළ සමඟ කරන ගනුදෙනුව වෙනස් වෙයි. ජලය සමඟ, සතා සීපාවුන් සමඟ මනුෂ්‍යයා සමඟ කරන ගනුදෙනුව වෙනස් වෙයි. එසේ නොමැතිව මේ වසංගත තත්ත්වයට පසුවත්, මේ කෑදර ගමනම ගියොත් මෙවැනි කතාබහ කරන්නට නැවත අපට ලෝකයක් ඉතිරි වේ යැයි පවා සිතිය නොහැකියි.

මේ මොහොතේදී තමන් ගැන සිතිය යුතුයි, අනුන් ගැන සිතිය යුතුයි. මේ භයානක අවස්ථාවේ අප කැමැති වුණත්, නැති වුණත් අපට සිදු වෙනවා නිවාසගතව ඉන්නට. අප මොන විදිහේ ඇබ්බැහිකම් එක්ක, මොන විදිහේ පුරුදු එක්ක ඉදලා තිබුණත් ඊට වඩා මේ මොහොතේ ජීවිතය වටිනවා. දැඩි සත්කාර ඒකකවල ඇඳන් ටික පිරුණොත් අපේ රෝහල් කාර්ය මණ්ඩලවලට ප්‍රතිකාර කරන්නට පුළුවන් රෝගීන් ප්‍රමාණය ඉක්මවා ලෙඩ්ඩු පිරුණොත්, දැනට සිටින වෛද්‍යවරුන්ගේ හෙද කාර්ය මණ්ඩලවල ශක්තිය ඔවුන්ට ලබා දෙන අතරේ ඒ සීමාව ඉක්මවා ගියොත් විශාල විනාශයකට ගොස් මිනී කඳු ගොඩ ගැසෙන්නට වුණත් පුළුවන්.

තවත් කෙනෙකුගේ ලෙඩක් බෝ කර ගන්න ඔබ කැමැති නෑ, අකාලයේ මරණයට ගොදුරු වෙන්න ඔබ කැමැති නෑ.

“අත්තානං උපමං කත්වා“

තමන් උපමාවට අරගෙන අනික් කෙනාට ඒ වගේ විනාශයක් වෙන විදිහට වැඩ කරන්න එපා. ගෙදරට වෙලා ඉන්න. මේ ව්‍යසනකාරී අවස්ථාවේ අප හමුවේ ඇති අභියෝගය තේරුම් ගනිමු. මේ වගේ කාලවල තමයි ලෝකයේ වටිනාම දේත් නිර්මාණය වී තිබෙන්නේ. අඳුර ගෙනැවිත් දෙන්නේ අඳුර පමණක් නෙමෙයි. අඳුර තුළම ආලෝකයකුත් ගෙනවිත් දෙනවා. අපේ ව්‍යවසායකයන් මේ අවස්ථාවේ හුස්ම ගැනීම පහසු කරන උපකරණ නිර්මාණය කළා. මෙපමණ කාලයකට අප රට තුළ මුඛ ආවරණ නිෂ්පාදනයක් ගැන කල්පනා කළේ නෑ. දැන් විවිධ තරුණ කණ්ඩායම්, වැඩිහිටියන් මුඛ ආවරණ නිෂ්පාදනය කරනවා. ඒවා පරිත්‍යාග කරනවා.

තමන්ගේ කාලය, ශ්‍රමය අනුන් වෙනුවෙන් කැප කරනවා. ඕනෑකම තිබෙනවා නම් අවාසනාවන්ත කාලය තුළ වුණත් යහපත් දේවල් උපදවා ගන්න පුළුවන්.

මම මගේ පන්සලේ ගෙවතු වගාවන් පටන් ගත්තා. මොකද මට නඩත්තු කරන්නට පොඩි හාමුදුරුවන් වහන්සේ කිහිප නමක් ඉන්නවා. දායකයින්ට පන්සලට දානය ගෙනෙන්නට තබා එළියට බහින්න බැරි දවසක් ආවොත්? අප දන්නෙ නෑ. ඒ නිසා සූදානම් වෙන්න ඕන. අඩුම තරමේ ඔබට වර්ග අඩි දහයක තරම්වත් ඉඩ ප්‍රමාණයක් ඇති. වීරිය කළොත් ඒ පුංචි ඉඩකඩෙත් පුංචි දෙයක් හරි වවා ගන්නට පුළුවන්. මේ කාලය ඊට ඉතාම සුදුසුයි.

ඒ වගේම මතක තබා ගන්න යුරෝපයේ තරම් මේ මහ පොළොවට අප තවම හිංසා කර නැහැ. වාතයට හිංසා කරල නැහැ. අපත් හිංසා කරන්නට පටන් ගත්තොත් කුමක් සිදුවේවිද? සොබා දහම තවමත් අපට කුඩා අවස්ථාවක් ලබා දී තිබෙනවා. කොරෝනා වසංගතය ආවත් මේ කාලයේ අපේ ගොයම් කැපෙනවා. අඹ ගස්වල ඵල දරනවා. කොස් ගහේ ගෙඩි ටික හොඳින් මෝරන කාලේ. වැල වරකා සුවඳ ගම්වල පැතිරෙන කාලේ. මේ නිසා අප කන්න නැතිව මිය යන්නේ නෑ. නමුත් පරිස්සම් වෙන්න ඕනෑ. කැඳ උගුරකින් හරි සෑහීමට පත් වෙලා මේ අවාසනාවන්ත කාලයේ ජීවිතය ආරක්ෂා කර ගන්න ඕනෑ. ඒ වගේම රස්තියාදුකාර ජීවිතයක් ගත කළා නම් අප අකමැති වුණත් මේ මොහොතේ එයින් අත මිදෙන්නට ඕනෑ. අප තථාගත ධර්මයට අනුව ජීවිතය පවත්වා ගමු. පවුලේ සාමාජිකයින් සමඟ, අසල්වාසීන් සමඟ වැඩ කරමු. මොන තරම් දරුණු තත්ත්වයකදී වුවත් ඔවුන් අමතක කරන්න එපා. ඔවුන්ට කන්න බොන්න නැතිනම් දොර ළඟින් හෝ ගේට්ටුව ළඟින් හෝ කෑම ටිකක් තියල කෑ ගහල කියන්න.

අපේ මිනිස්සු ගොඩක් හොඳයි. අපි ඒ වටිනාකම් රැක ගනිමු. රටේ නීතියට ගරු කරමු. වෛද්‍ය උපදෙස්වලට අවනත වෙමු.

 බක් පුර පසළොස්වක පෝය 

 බක් පුර පසළොස්වක පෝය අප්‍රේල් 07 වනදා අඟහරුවාදා අපරභාග 00.01 ට ලබයි. 08 වනදා බදාදා පූර්ව භාග 08.04 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 07 වනදා අඟහරුවාදා.

මීළඟ පෝය අප්‍රේල් 14 වනදා අඟහරුවාදා.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අප්‍රේල් 07

Second Quarterඅව අටවක

අප්‍රේල් 14

Full Moonඅමාවක

අප්‍රේල් 22

First Quarterපුර අටවක

අප්‍රේල් 30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]