[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදු වදන් අතරින් 61:  උභය ලෝක විජය පිණිසයි

බුදු වදන් අතරින් 61: 

උභය ලෝක විජය පිණිසයි

" මෙලොව අභිවෘද්ධිය පිණිස ඉවහල්වන කල්‍යාණ මිත්‍රසම්පත්තිය යනු බාහිර වශයෙන් එම ගුණාංග සහිත පුද්ගලයන් ඇසුරු කිරීම හා ඔවුන්වෙත පවතින ශ්‍රද්ධා සීල, චාග, පඤ්ඤා යන ආධ්‍යාත්මික ගුණ අනුව තමා තුළ ද එම ගුණ පිහිටුවා ගැනීමෙන් මෙලොව අභිවෘද්ධිය සලසා ගැනීම අදහස්කොට තිබේ."

බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් වෙහෙර වැඩ වෙසෙන සමයෙහි උජ්ජය නම් බ්‍රාහ්මණයා බුදුරදුන් හමුවට පැමිණ තමන් වෙනත් පළාතක (පවාසං ගන්තුකාමො) වාසය සඳහා යාමට සූදානම් ව සිටින හෙයින්, එම පළාතට ගොස් වාසය කරනවිට අනුගමනය කළ යුතු දෙලොව අභිවෘද්ධිය පිණිස ඉවහල්වන කරුණු දේශනා කරන්නැයි වදාළහ.

එම ඉල්ලීමට සාවධාන වූ භාග්‍යවතුන් වහන්සේ ඔහුට දෙලොව අභිවෘද්ධිය පිණිස හේතුවන ධර්මය දේශනා කළ හ. අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ ඇතුළත් උජ්ජය සූත්‍රයේ කෙනෙකුගේ මෙලොව දියුණුව පිණිස හේතුවන කරුණු හතරක් ද, පරලොව දියුණුව පිණිස හේතුවන කරුණු හතරක්ද යනුවෙන් උභයලෝක විජය පිණිස ඉවහල්වන පිළිවෙත් අටක් දේශනා කොට වදාළ හ. එයින් මෙලොව හිත සුව පිණිස පවතින කල්‍යාණ මිත්‍රතාව පිළිබඳ කරුණු පැහැදිලි කිරීමට මෙහිදී බලාපොරොත්තු වේ. උජ්ජය සූත්‍රයෙහි කල්‍යාණ මිත්‍රතාව පැහැදිලි කරන්නේ මෙසේ ය,

“යම් කුල පුත්‍රයෙක් කිසියම් ගමක හෝ නියම් ගමක වාසය කරයි ද, එහිදී ඔහු විසින් එම ප්‍රදේශයේ ශ්‍රද්ධා සම්පන්න, සීල සම්පන්න, ත්‍යාග සම්පන්න, ප්‍රඥා සම්පන්න නමුත් වයසින් බාලවුවත් අදහස් අතින් පරිණත තරුණයෝ (දහරාවා වුද්ධසීලිනො) හෝ වියපත් වැඩිහිටියෝ වෙසෙත් ද, ඔවුන් හා ඇසුරු කිරීම, ඔවුන් හා එක්ව වාසය කිරීම, ඔවුන් හා සාකච්ඡා කිරීම කළ යුතු වේ. යම් බඳු ශ්‍රද්ධාවන්තයෙකු සීල සම්පන්නයෙකු ත්‍යාග සම්පන්නයෙකු, ප්‍රඥා සම්පන්නයෙකු වෙසේ නම් ඔවුන් අනුගමනය කරමින් ශ්‍රද්ධා සම්පන්න, සීල සම්පන්න, ත්‍යාග සම්පන්න, ප්‍රඥා සම්පන්න ජීවිතයක් සකසා ගත යුතු වේ. එසේ කටයුතු කිරීම කල්‍යාණ මිත්‍රත්වය යි.”

උජ්ජය සූත්‍රයේ එන මෙම විවරණය අනුව කල්‍යාණ මිත්‍රත්වය යනු ආධ්‍යාත්මික අර්ථයකින් ක්‍රියාවට නැංවිය යුතු ප්‍රතිපදාවක් බව පැහැදිලි ය. තමන් වෙසෙන ප්‍රදේශය කවර තැනක් වුවද එහිදී ඇසුරට තෝරාගත යුත්තේ මෙම ආධ්‍යාත්මික මිතුරන් ය. එම මිතුරන් ඇතැම් විට තමාට වඩා වයසින් බාල වූ තරුණ කෙනෙක් හෝ වයසින් වැඩි වෘද්ධ අයෙකු විය හැකි ය. ඇසුරු කිරීම සඳහා වයස බලනොපාන බව මෙයින් පැහැදිලි ය. වයසට වඩා වැදගත් කොට සැලකෙන්නේ පරිණත බව යි. එසේම ආධ්‍යාත්මික වශයෙන් කොතෙක් දියුණු මට්ටමක කෙනෙක් ද යන්න ගැඹුරින් සලකා බැලිය යුතු වේ.

කල්‍යාණමිත්‍රතාව පිළිබඳ උජ්ජය බ්‍රාහ්මණයාට පැහැදිලි කළ ආකාරයට එයින් අපේක්‍ෂා කෙරෙන්නේ සාමාන්‍ය ඇසුරක් නොවේ. ආධ්‍යාත්මික සම්බන්ධතාවකි. කෙනෙකු ශ්‍රද්ධා සම්පන්නයෙකු ඇසුරු කළ යුත්තේ තමා තුළ ද ශ්‍රද්ධාව වර්ධනය කරගැනීමේ අදහසින් ය. ශ්‍රද්ධාවන්තයාගේ ශ්‍රද්ධාව අනුව තමා ද ශ්‍රද්ධාවෙන් ශික්‍ෂණය විය යුතුවේ. (සද්ධාසම්පන්නානං සද්ධා සම්පදං අනුසික්ඛති). මේ ආකාරයට කෙනෙකු සීලසම්පන්නයාගේ සීලය අනුව යමින් තමාගේ සීලය, ත්‍යාග වන්තයාගේ ත්‍යාග ගුණය අනුව යමින් තමා තුළ ත්‍යාග ගුණයත්, ප්‍රඥාවන්තයා අනුව යමින් තමා තුළ ප්‍රඥාවත් ඇතිකරගත යුතු වේ. මෙය එක්තරා විදියක ආධ්‍යාත්මික අනුකරණයකි. එහෙත් එය කෙනෙකු සාමාන්‍යයෙන් අනුගමනය කරනු ලබන අනුවණ අනුකරණයක් නොව ආධ්‍යාත්මික වශයෙන් දියුණු පුද්ගලයන් අනුකරණය කිරීමකි. නැතහෙත් පරමාදර්ශී චරිතාදර්ශයන් ක්‍රියාවට නැංවීම කි.

බුද්ධ වචනය අනුව සැම කෙනෙක් ම ඇසුරු කළ යුතු ය යන අදහසක් ගම්‍ය නොවේ. තථාගතයන් වහන්සේගේ අනුශාසනය වූයේ බාලයන් හා පාප මිත්‍රයන් වෙනුවට සත්පුරුෂයන් හා කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කළ යුතු බවයි (භජෙථ මිත්තෙ කල්‍යාණෙ භජෙථ පුරිසුත්තමෙ). එම ඇසුර ද භෞතික අවශ්‍යතාවන් ඉක්මවා යන ආධ්‍යාත්මික අරමුණු පෙරදැරි කරගත්තකි. වර්තමානයේ බොහෝ දෙනෙක් එකිනෙකා ඇසුරු කරන්නේ විවිධ ලෞකික අරමුණු ඇතිව ය. එම අරමුණු ඉටුකරගත නොහැකිවන විට ඇසුර ද ක්‍රමයෙන් නවතා දමනු ලැබේ. මෙය බොහෝ දෙනෙකුගේ ගතිස්වභාවය වන අතරම පොදු අත්දැකීම වේ. ඉතා කලාතුරකින් එසේ නොවන සාධු ජනයන් දක්නට ලැබේ. එහෙත් එම සංඛ්‍යාව අතිශය අතලොස්සකි.

සමාජානුයෝජන ක්‍රියාවලියේදී ඇසුර බෙහෙවින් වැදගත් වේ. උපතින් ම සමාජ සත්වයෙකු වන මිනිසාතුළ රංචු ලැදියාව සහජයෙන් ම පිහිටා තිබේ. කෙනෙකු නිවැරැදි ආකාරයට සමාජානුයෝජනය වීමට නම් ඔහුට හෝ ඇයට නිවැරැදි යහපත් ඇසුරක් තිබීම අවශ්‍ය වේ. එහෙත් එම ඇසුර නිසිපරිදි සිදු නොවුව හොත් එම තැනැත්තා හෝ තැනැත්තිය සමාජානුයෝජනය වන්නේ වැරැදි ආකාරයට ය. එහි ප්‍රතිඵලයක් වශයෙන් බොහෝදුරට අපරාධකාරයෙකු හෝ අපගාමි පෞරුෂයක් සහිත පුද්ගලයෙකු නිර්මාණය විය හැකි ය. වර්තමානයේ බොහෝ දෙනෙකු වැරැදි ඇසුර හේතුවෙන් නොමග ගිය අවස්ථා පිළිබඳ වාර්තා කොතෙකුත් දක්නට ලැබේ. මෙම තත්ත්වය පාසල් දරුවන් හා තරුණ තරුණියන් සම්බන්ධයෙන් බහුල ව වාර්තා වේ.

උජ්ජය බමුණාට පැහැදිලි කළ මෙලොව අභිවෘද්ධිය පිණිස ඉවහල්වන කල්‍යාණ මිත්‍රසම්පත්තිය යනු බාහිර වශයෙන් එම ගුණාංග සහිත පුද්ගලයන් ඇසුරු කිරීම හා ඔවුන්වෙත පවතින ශ්‍රද්ධා සීල, චාග, පඤ්ඤා යන ආධ්‍යාත්මික ගුණ අනුව තමා තුළ ද එම ගුණ පිහිටුවා ගැනීමෙන් මෙලොව අභිවෘද්ධිය සලසා ගැනීම අදහස්කොට තිබේ. එම කරුණුම පරලොව අභිවෘද්ධිය පිණිස හේතුවන ආකාරය කේවල වශයෙන් විස්තරකර තිබේ. ඒ අනුව ශ්‍රද්ධාව යනුවෙන් අදහස් වන්නේ තථාගතයන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වය පිළිබඳ ඇතිකර ගන්නා නොසෙල්වෙන විශ්වාසය හා ප්‍රසාදය යි. සීලය යනුවෙන් අදහස් වන්නේ පංචසීල සදාචාරය යි. මසුරු මළ දුරුකොට පරිත්‍යාගයෙහි ඇලුණු සිත් ඇතිව වාසය කිරීම ත්‍යාගය යි. ප්‍රඥාව යනු ඇතිවීම, නැතිවීම පදනම් කරගත් උයදත්ථගාමිණි ප්‍රඥාව යි. එය දුක් කෙළවර කිරීම අරමුණු කරගත්ත ද විදසුන් නුවණ මෙන් ගැඹුරු තත්ත්වයක් නොවේ. කෙසේ හෝ එයින් අදහස් වන්නේ අනිත්‍ය, දුක්ඛ, අනත්ත යන ලක්‍ෂණත්‍රය පිළිබඳ සාමාන්‍ය මට්ටමේ අවබෝධයකි. මෙම ආධ්‍යාත්මික ගුණ තමන් තුළ වගා කරගැනීම පරලොව හිත සුව පිණිස ඉවහල් වේ.

ඉහත විග්‍රහය අනුව කෙනෙකුගේ මෙලොව අභිවෘද්ධිය පිණිස ඉවහල්වන කල්‍යාණ මිත්‍රතාව යනු ශ්‍රද්ධා, සීල, චාග, පඤ්ඤා යන ගුණාංගවලින් යුක්ත මිත්‍රයන් ඇසුරු කිරීම හා ඔවුන්සතු එම ආධ්‍යාත්මික ගුණ අනුකරණය කරමින් ශික්‍ෂණය වීම යි. එය සමාජ ජීවිතය හා සම්බන්ධ වන්නක් හෙයින් මෙලොව අභිවෘද්ධිය පිණිස හේතු වේ. යථෝක්ත ගුණ වෙන් වෙන් වශයෙන් ගෙන ඒ සියල්ල පුද්ගලික ව තමන් තුළ වඩා වර්ධනය කරගැනීම පරලොව අභිවෘද්ධිය පිණිස හේතු වේ.

සමාජාශ්‍රය මෙලොව අභිවෘද්ධිය පිණිස හේතුවන අතර, පරලොව හිත සුව පිණිස පවතින්නේ තමා විසින්ම තම ආධ්‍යාත්මයෙහි වගාකරගත් ශ්‍රද්ධාදී ආධ්‍යාත්මික ගුණාංගයෝ ය. ඒ අනුව සාධු ජනයන් ඇසුරෙන් මෙන්ම තමා විසින් ද ආධ්‍යාත්මික ගුණ තමාතුළ වර්ධනය කරගැනීමෙන් ශික්‍ෂණය වීම දෙලොව අභිවෘද්ධිය පිණිස හේතු වේ.

මැදින් අව අටවක පෝය 

මැදින් අව අටවක පෝය මාර්තු 16 වන දා සඳුදා පූර්ව භාග 03.19 ට ලබයි. 17 වන දා අඟහරුවාදා පූර්ව භාග 02.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 16 වන දා සඳුදා ය.

මීළඟ පෝය මාර්තු 23 වනදා සඳුදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 16

Full Moonඅමාවක

මාර්තු 23

First Quarterපුර අටවක

අප්‍රේල් 01

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 07

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]se.lk