[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සුසිරිතෙන් සුගති සැපත

සුසිරිතෙන් සුගති සැපත


එකල්හි ජාණුස්සෝණි බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුසාමීචි කතාව අවසන් කොට එකත්පසෙක හිඳ මේ කාරණය සැළ කළේ ය.

”භවත් ගෞතමයන් වහන්ස, යම් හෙයකින් ඇතැම් සත්ත්වයෝ මරණින් මතු සැපයක් නැති, නපුරුගති ඇති, දුක් ඇති නිරයෙහි උපදිත්නම් එයට හේතු කවරේ ද? ප්‍රත්‍යය කවරේ ද?”

”බ්‍රාහ්මණය, කරන ලද බැවින් ද, නො කරන ලද බැවින් ද මෙලොව ඇතැම් සත්ත්ව කෙනෙක් මරණින් මතු නිරයෙහි උපදිත්.”

”භවත් ගෞතමයන් වහන්ස, යම් හෙයකින් මෙලොව ඇතැම් සත්ත්ව කෙනෙක් මරණින් මතු සුගති නම් ස්වර්ග ලෝකයෙහි උපදිත් නම් එයට හේතු කවරේ ද? ප්‍රත්‍යය කවරේ ද?”

”බ්‍රාහ්මණය, ධර්ම චර්යා නම් වූ සම චර්යාව හේතුකොට මෙලොව ඇතැම් සත්ත්වයෝ මරණින් මතු සුගති නම් ස්වර්ග ලෝකයෙහි උපදිත්.”

”භවත් ගෞතමයන් වහන්සේ විසින් සැකෙවින් වදාරන ලද ධර්මයෙහි අර්ථය විස්තර වශයෙන් මම නො දනිමි. මේ ධර්මයාගේ අර්ථය විස්තර වශයෙන් දැන ගැනීම පිණිස මට දේශනා කරන සේක්නම් ඉතා මැනවි”.

”බ්‍රාහ්මණය, එසේනම් අසන්න, මනාකොට මෙනෙහි කරන්න. දේශනා කරමි යි”

මෙසේ වදාළ සේක.

බ්‍රාහ්මණය, මෙලොව ඇතැමකු විසින් කාය දුශ්චරිතය කරන ලද්දේ ය. කාය සුචරිතය නොකරන ලද්දේ ය. වාග් දුශ්චරිතය කරන ලද්දේ ය. වාග් සුචරිතය නො කරන ලද්දේ ය. මනෝ දුශ්චරිතය කරන ලද්දේ ය. මනෝ සුචරිතය නො කරන ලද්දේ ය.

බ්‍රාහ්මණය, මෙසේ කරන ලද බැවින් ද, නො කරන ලද බැවින් ද මෙලොව ඇතැම් සත්ත්වයෝ මරණින් මතු නිරයෙහි උපදිත්.

බ්‍රාහ්මණය, මෙ ලොව ඇතැමෙකු විසින් කාය සුචරිතය කරන ලද්දේ ය. කාය දුශ්චරිතය නො කරන ලද්දේ ය. වාග් සුචරිතය කරන ලද්දේ ය. වාග් දුශ්චරිතය නො කරන ලද්දේ ය. මනෝ සුචරිතය කරන ලද්දේ ය. මනෝ දුශ්චරිතය නො කරන ලද්දේ ය. බ්‍රාහ්මණය මෙසේ කරන ලද බැවින් ද, නො කරන ලද බැවින්ද මෙ ලොව ඇතැම් සත්ත්වයෝ මරණින් මතු ස්වර්ගයේ උපදිත්.

”භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. යටිකුරුකොට තබන ලද්දක් උඩුකුරු කොට තබන්නේ ද, ආවරණය වූ දෙයක් නිරාවරණය කරන්නේ ද, මංමුළා වූවකුට යම්සේ මාර්ගය කියන්නේ ද, ඇස් ඇත්තාහු රූප දකිත්වා යි අඳුරේ තෙල් පහනක් දල්්වන්නේ ද එ පරිද්දෙන් භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ක්‍රමයෙන් ධර්මය ප්‍රකාශ කරන ලද්දේ ය. මම ගෞතමයන් වහන්සේ ද, ධර්මය ද, භික්ෂූ සංඝයා ද සරණ යමි. ගෞතමයන් වහන්සේ අද පටන් දිවිහිමි කොට සරණ ගියා වූ උපාසකයෙකු ලෙස මා සලකන සේක්වා.

මැදින් අව අටවක පෝය 

මැදින් අව අටවක පෝය මාර්තු 16 වන දා සඳුදා පූර්ව භාග 03.19 ට ලබයි. 17 වන දා අඟහරුවාදා පූර්ව භාග 02.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 16 වන දා සඳුදා ය.

මීළඟ පෝය මාර්තු 23 වනදා සඳුදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 16

Full Moonඅමාවක

මාර්තු 23

First Quarterපුර අටවක

අප්‍රේල් 01

Full Moonපසළොස්වක

අප්‍රේල් 07

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]