[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිනිස් රුවෙහි ඇයි වෙනසක්

මිනිස් රුවෙහි ඇයි වෙනසක්

බුද්ධ දේශනය අනුව කර්මය ප්‍රධාන වශයෙන් සත්වයාගේ විපර්යාසවලට බලපාන්නකි. ඒ අනුව විමසීමේ දී අ:නි නිබ්බේධික (පරියාය) සූත්‍රය, ම:නි අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රය, ම:නි: සාල්‍යෙයක සූත්‍රය, ම:නි වේරඤ්ජක සූත්‍රය, ම:නි: කුක්කුරවතිය සූත්‍රය, ම:නි: දේව දූත සූත්‍රය, ම:නි චුල්ලකම්ම විභංග සූත්‍රය ආදී සූත්‍ර තුළින් ඒ පිළිබඳ කරුණු අනාවරණය වේ.

චුල්ලකම්ම සූත්‍රයට අනුව සුභ මානවකයාට දේශනා කරන්නේ.

“සුභ මානවකය, සත්වයෝ කර්මය ස්වකීය කොට ඇත්තාහු ය. කර්මයෙන් හටගන්නාහු ය. කර්මය දායාද කොට ඇත්තාහු ය. කර්මය හේතු කොට ඇත්තාහු ය. කර්මය සත්වයා උස් පහත් වශයෙන් බෙදන්නේ ය." ආදී වශයෙනි.

කම්ම විෂය අචින්ත්‍ය ලෙස දක්වා ඇත්තේ ද එහි තිබෙන බැරූරුම්කම හේතුවෙනි. අන් සාධක වලට වඩා කර්මය ම බොහෝ දේ පිණිස සෘජුව ම බලපායි. බුදු රජාණන් වහන්සේ අ:නි: අක්කෝසක වග්ගයට අයත් දසධම්ම සූත්‍රය තුළින් පැහැදිලි කොට ඇත්තේ ද කර්මය සියලු අංශයන්ටම බලපවත්වන බවයි. එහි සඳහන් පරිදි මම කර්මය උරුමකොට ඇත්තෙමි යැයි ද, මම කර්මය දායාද කොට ඇත්තෙමි යැයි ද, මම කර්මයෙන් උපන්නෙමි යැයි ද, මම කර්මය ඤාතිකොට ඇත්තෙමි යැයි ද, මම කර්මය පිළිසරණ කොට ඇත්තෙමි යැයි ද යහපත් හෝ අයහපත් හෝ යම් කර්මයක් කරම් ද එය උරුම කොට ඇත්තෙමි යැයි ද පැවිද්දා විසින් නිතර නිතර සිහි කළ යුතු ය.

මේ ආදී වශයෙන් බලන කල්හි කර්මයෙන් බාහිර ව අපට කිසිවක් ගැන නොසිතිය හැකි තරමට ම කර්මය විනිවිධ ගොස්, විසිරී පැතිරී සත්වයාට බලපානු ඇත. සත්වයන් විරූපී ව උපදින්නේ ද කර්මය ම හේතුකොට ගෙන බව පැහැදිලි වේ. මෙහදී විශේෂයෙන් මානව සත්වයා පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත් වේ. කෙනෙක් ප්‍රිය ජනක ව පහළ වන්නේ නම්, එය කාටත් සතුට වඩවන්නකි. නමුදු මිනිස් සමාජයේ සමහර දෙනෙක් විරූපී ව, අවලස්සන ව උපදී, සමහර දෙනෙක් උපතින්ම ද, සමහර දෙනෙක් ඉපදී කාලයාගේ ඇවෑමෙන් ද අවලස්සන වනු ඇත. ඇත්තෙන්ම එය විරූප වන්නන්ගේ මානසික අසහනයට හේතුවක් ද වේ. බාහිර වශයෙන් රැකී රක්ෂා ධන සම්පත් කුමන විදිහට සම්පූර්ණ වුව ද එවැනි විරූපි පුද්ගලයින් තම විරූපී ස්වභාවය මත මානසික අසහනයකින් පෙළෙනු ඇත. එසේ අවලස්සන වීමට හේතුව පෙර කර්ම බල වේගයක් හේතුවෙන් යැයි සිතා අවලස්සන ව හෝ ලද මේ මිනිසත් බවෙන් එම කර්ම බල වේගයන් පිළිබඳ අවධානය යොමු කොට තම අඩුපාඩු සකස්කොට ගෙන ජීවිතයට මුහුණ දෙන්නෝ ඉතා විරල ය. බුදු රජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාගේ චර්යාමය පැවැත්ම පිළිබඳ ව දේශනා කිරීමේ දී විනය ශික්ෂාපද සමූහයක් දේශනා කළහ. ඒ අතර ආසවට්ඨානීය ධම්ම තුළින් අපේක්ෂිත කරුණු 10 ක් පිළිබඳ දේශනා කොට ඇත. එම කරුණු 10 අතර වැදගත් කරුණු 02 ක් වශයෙන්

* නොපැහැදුණුවන්ගේ පැහැදීම ඇතිවීම පිණිස

* පැහැදුණු අයගේ පැහැදීම තවත් වැඩි දියුණු වීම පිණිස

යන කරුණු දෙක දැක්වීමට පුළුවන. එහිදී පැහැදීම යනු ප්‍රසාදය යි. එහිදී චර්යාමය පැවැත්ම සේ ම තවකෙනෙකුට දැකීමෙන් ම ප්‍රසාදය, ආකර්ෂණය ඇතිවීම පිළිබඳ අදහසක් මතු වීමේ සංකල්පය ද ව්‍යංගයෙන් නමුදු ඉස්මතු කොට ඇත. බුදු රජාණන් වහන්සේ ආලවක යක්ෂයාගේ භවනයට ඇතුළු වූ බව දැනගත් ආලවක යක්ෂයා දත්මිටි කාගෙන දැඩි තරහෙන් බුදු හිමිට අනතුරක් කරන අදහසින් පැමිණුන අවස්ථාවේ දී බුදුන් දැකීමෙන් ම ඔහුගේ තරහ මදක් හෝ අඩුවීමක් සිදු විය. ආලවක යක්ෂයාට එම අවස්ථාවේ දී දැකගන්නට ලැබෙන්නේ විරූපී, අවලස්සන, රෞද්‍ර කෙනෙක් නම් ඔහු තුළ පැවති වෛරය තව තවත් වැඩිවන්නට තිබුණි. නමුදු කෙනෙකු තුළ තිබෙන ප්‍රියශ්‍රීලී බව, ලස්සන බව, සිත් ඇද ගැනීමේ රූප සම්පත්තිය කාටත් සිත් පුබුදු කරවන්නකි. කර්ම ශක්තිය කරපින්නාගෙන විත් විරූපී ලක්ෂණයෙන් යුත් අය සිටිති. ඔවුන් මේ ආත්මයේ දී තම තමන්ගේ අඩුපාඩු ගැන සිතා ධර්මානුකූල ව හෝ වෙනසක් ඇති කරගන්නේ නම් ඊළඟ භවය තුළ හෝ එම තත්වය මඟ හරවා ගැනීමට පුඵවන් කමක් ඇත.

මෙලෙස එකම මිනිස් කොට්ඨාශයක් වූ සත්වයා අතර කලු සුදු, ලස්සන අවලස්සන වීමට හේතු පිළිබඳ විමසීමේ දී ධර්මානුකූල ව පැහැදිලි වන්නේ ඊර්‍ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, කුහකකම, මාන්නය වැනි අකුසල් සිතුවිලි බහුල වශයෙන් පවත්වාගෙන යෑම බව පැහැදිලි වේ. සමහරු තුළ සිතයට කැකෑරෙන වෛර සිතුවිලි සදාකාලික ව පවතී. එම හේතුව නිසා ඔවුන් අනුනට නිතර ඊර්‍ෂ්‍යා කරති. තමනට ලබාගත නොහැකි දෙයක් අනුන් ලබා ඇති බව දැනීමෙන් ඔවුනට විරුද්ධ ව යටි උගුල් අටවති. ලෝකයාට තමන් සිල්වත් බව පෙන්වමින් අනුන් පිළිබඳ වැරැදි සමාජගත කරමින් ඔවුන්ගේ ආත්ම ගෞරවය විනාශ කරති. මෙවැනි සමාජගත ප්‍රශ්න සමුදායක් තුළ හිඳීමින් මොහොතක් ගානේ සිත අපිරිසුදු කර ගැනීමෙන් ඔවුන්ගේ සිතේ පවතින එම කලු ස්වභාවයත් ශරීරය පුරා දිවගොස් ශරීරය ම අවලස්සන වන බව වැඩි දුරටත් පැහැදිලි වේ.

“මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ යම් තැනැත්තෙක් ක්‍රෝධ කරන්නේ වේ ද, බලවත් සිත් තැවුලෙන් පෙළේ ද, සුළු වරදක් පෙන්වාදුන් විට කිපෙයි ද , තරහා උපදවා ද, කෝපය, ද්වේෂය, නොසතුට බව ප්‍රකාශ කරයි ද , හෙතෙමේ ඒ අකුසල කර්මයේ බලයෙන් මරණින් මතු මනුෂ්‍යාත්ම භාවයට පැමිණේ ද යම් තැනැක්හි උපදී ද, විරූප වෙයි. දුර්වර්ණ වෙයි.

වෛරය, ක්‍රෝධය, කුමන හේතුවකටවත් ළඟාකර ගත යුතු සිතුවිල්ලක් නොවේ. එය අකුසල සිතුවිල්ලකි. ඒ වෙනුවට මෛත්‍රිය ප්‍රගුණ කොට එතුළින් ලෝක සත්වයාට ම ආශිර්වාදයක් කොට මෙලොව දිවිය ලස්සන කර ගැනීමටත්, පරලොව දුක් නැති කර ගැනීමටත් නිවනින් සැනසීමටත් අධිෂ්ඨාන කර ගනිමු.

නවම් මස පුර අටවක පෝය

නවම් මස පුර අටවක පෝය පෙබරවාරි 01 වන දා සෙනසුරාදා අපර භාග 06.11 ට ලබයි. 02 වන දා ඉරිදා අපර භාග 08.03 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම පෙබරවාරි 02 වන දා ඉරිදා ය.

මීළඟ පෝය පෙබරවාරි 08 වන දා සෙනසුරාදා ය.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 02

Full Moonපසළොස්වක

පෙබරවාරි 08

Second Quarterඅව අටවක

පෙබරවාරි 15

Full Moonඅමාවක

පෙබරවාරි 23

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]