නවම් පුර අටවක
2020.02.02 නිදහසේ සුවය
ස්වාර්ථය පමණක් සිතීමේ ආරම්භය කොතැන ද, කෙනකුගේ නිදහස අහිමි වීමේ ආරම්භය ද එතැනම ය.
මානව දයාවෙන් බැහැර, සීමා මායිම් තොර තෘෂ්ණාධික බව කෙනෙකුගේ ජීවත්වීමේ අයිතිය පවා
උදුරා ගන්නට සමත් ය. ඈත අතීතයේ සිට වර්තමානය දක්වා ම එවැනි අත්දැකීම් සමාජයට දුලභ
නැත.
තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ලොව පහළවන සමය වන විට භාරතීය සමාජය අසීමාන්තික ලෙස
මිනිස් නිදහසට සීමා පනවා තිබුණි. බමුණු සමාජයේ සුව පහසුව, ලාබ ප්‍රයෝජන සඳහා එක ම
මිනිස් සමාජය විවිධ කුලවලට බෙදා දක්වමින් තාඩන පීඩන සිදු කරමින් ගෙන ගිය
ක්‍රියාදාමය මිනිස්කමට ද නිගා දෙන්නකි. එයින් වඩාත් බැට කෑවෝ ශුද්‍ර යැයි සම්මත යෝ
ය. භාරතීය කාන්තාවට ද අත්වුණේ ඒ හා සමාන ඉරණමකි. පුරුෂාධිපත්‍ය තුළ ඇය ගෙවූ ජීවිතය
ඉතාමත් කටුක ය.
සිව් දෙසින් ගලා එන ගංගාවෝ මුහුදටවන් කල එකම ලවණ රසයක් ගන්නා සේ සම්බුදු සසුනට එක්
වූ පිරිස් භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව් පිරිසට ඇතුළත් වූ හ.
ආත්මාර්ථකාමීත්වය නොව පරාර්ථය අගය කළ ඒ සමාජය අත්ත හිත, පරහිත වූවක් ම විය. මේ ඝෝර
සසර ගමනේ දුක උරුම කරගත් ජනී ජනයාට ශ්‍රී සද්ධර්ම මාර්ගයේ ගමන් කරමින් උතුම්
නිර්වාණ සුවය ළඟා කර ගන්නට තථාගතයන් වහන්සේ පෙන්වා වදාළ මානව නිදහස තුළ අපූරු ලෙස
මග හසර විවර වුණි.
අනුබු මිහිඳු මා හිමියන් මේ පින්බර දේශයට ශ්‍රී සද්ධර්මය හඳුන්වා දීමත් සමඟ ලාංකේය
ජනතාවට ද ඒ සදහම් මග නිදහස් සිතින් ගමන් කරන්නට අවකාශය සැලසුණි. පංච සීලය සුරැකුණු
සමාජයේ බියෙන්, සැකයෙන් තොරව ජීවත්වීමේ නිදහස නිර්මාණය වුණි.
පොදුවේ මිනිස් සමාජයට පමණක් නොව ගහ කොළ. සතා සිව්පාවුන් ඇතුළු සමස්ත ජීවි අජීවි
පරිසරයට ම නිදහසින් යුතු ව ජීවත්වීමේ, පැවැත්මේ අයිතිය තිබිය යුතු බව සම්බුද්ධ
දේශනාවයි. (වක්‍රාකාරයෙන් ඒ නිදහස තූළ සුරැකෙන්නේ ද මානව නිදහස ම ය) ආත්මාර්ථකාමී
සිතිවිලි මුදුන් පමුණුවා ගැනීමේ අරමුණකින් යම් කෙනෙක් ඒ අයිතිය උදුරා ගන්නට උත්සුක
වනවා නම් ඒ තුළ පැහැදිලිව ම දැකිය හැකි වන්නේ ආගම දහමට පටහැනි වීමක. ලෝක සම්මතයට
විරුද්ධ වීමකි.
සම්බුදු දහමින් පෝෂිත සරල, අව්‍යාජ, අවිහිංසාවාදී දිවි පෙවෙතක් ගත කළ අප රටට ද
එවැනි අඳුරු යුගයක් උදාවුණි. 1505 දී පෘතුගීසි ආගමනයත් සමඟ ගෙවී ගිය යුග ගණනාවක දී
ම මේ රටේ ජාති, ආගම් භේදයෙන් තොරව සමගියෙන් ජීවත් වූ ජන කණ්ඩායම් තුළ විවිධ විෂබීජ
රෝපණය කරමින් ඒ නිදහස අහිමි කළ අතර, නිදහසේ ජීවත්වීමේ අයිතිය ක්‍රමයෙන් ගිලිහී
යන්නට විය. ලන්දේසි යුගයේ ද වර්ධනය වෙමින් ආ මේ තත්ත්වය ඉංගී‍්‍රසි ආධිපත්‍ය ය තුළ
ඔඩු දුවමින් පීඩාකාරි ලෙස සමාජගත වන්නට විය. විවිධ බදු ක්‍රම නිසා පීඩිත වූ ජනතාවගේ
ශ්‍රමය සූරා කෑමට ලක්විය. ආගමානුකූල පැවැත්මට පවා අභියෝග එල්ල වුණි. එවැනි යුගයක මේ
රටේ ජනතාව ජාතික වීරයන් යන මග යමින් ජාති. ආගම් භේදයකින් තොරව ඊට එරෙහි වුණි.
විදේශාධිපත්‍යයෙන් මිදී ස්වදේශිකයන් ලෙස එක ම ජාතියක් ලෙස සාමයෙන්, සමගියෙන්,
සතුටින් ජීවත් වු යුගය නැවත උදාකර ගන්නට දිවි පරදුවට තබා සටන් බිමට වන්හ. ඒ මෙහෙවර
සදානුස්මරණීය ය. ඒ තුළ වූ පොදු අරමුණ නිසා ම අප මාතෘ භූමිය ආරක්ෂා කර ගන්නට
හැකිවිය.
හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමි, මොහොට්ටිවත්තේ ගුණානන්ද නා හිමි, වාරියපොළ ශ්‍රී
සුමංගල අනු නා හිමි, ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා වැනි බොදු පුනරුදයේ පුරෝගාමීන් ද
සිහිපත් කළ යුතු ය. අපගේ ළමා පරපුරට අතීතය සුවඳවත් කළ මේ චරිත පිළිබඳ ව දැනුම දිය
යුතුව ඇත. එළඹෙන්නේ 72 වැනි අභිමානවත් නිදහස් සැමරුමයි. ඒ නිදහස අභිමානවත් වීමට නම්
බෙදී වෙන් නොවුන, එකම දේශයක සමගිසම්පන්න ජාතියක් ලෙස ජීවත්වීමට අප එකාවන් ව පෙළ
ගැසිය යුතුව ඇත. සමගියේ, නිදහසේ අගය අපි සම්බුද්ධ දේශනාව තුළින් ම උගනිමු.
අන්‍යයන්ට ද අවධාරණය කරමු. |