[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අනුත්තරීය සූත්‍රය: සප්ත ආර්ය ධනය

සප්ත ආර්ය ධනය

" ධර්මයෙන් තොර රාජ්‍යත්වය ඔටුන්න නොමැති රජකම ලෙස සැලකූ දහම්සොඬ රජතුමා සවනානුත්තරීය වූ එක බණ පදයක් ඇසීම පිණිස සිය රජකම හැර දැමුවේ ය. එම අවස්ථාවේ දී යක්ෂයෙකු මෙන් වෙස් වළා පැමිණි ශක්‍රයාගේ මුවට පැනීමට තරම් රජතුමා එඩිතර වූයේ ධර්මයෙහි ඇති වැදගත්කම හොඳින් අවබෝධ කොටගෙන තිබූ හෙයිනි."

සවනානුත්තරීය

අනුත්තර ධර්ම අතර දෙවන ධර්මය වන්නේ සවනානුත්තරීය ධර්මය යි. මෙම කාරණාව අටුවාවේ මෙසේ පැහැදිලි කෙරේ. “ඛත්තියාදීනං ගුණකථාසවනං” ආදී වශයෙන් ක්ෂත්‍රියයන්ගේ කථා (රාජකතා) ඇසීම උසස් සවන් දීමක් නො වන බවත්, සවන්දීම් අතර උසස් වන්නේ බුදු ගුණ, දම් ගුණ, සඟ ගුණ ඇසීම හෙවත් ත්‍රිපිටක ධර්මය දැකීම යනුවෙන් අටුවාව පෙන්වා ඇත.

බුදු ගුණ ඇසීම මෙන් ම බුද්ධ යන වදන ශ්‍රවණය කිරීමෙන් සැනසීමට පත් වූවෝ බොහෝ වෙති. චන්ද පිරිත, සූරිය පිරිත වැනි පිරිත් දේශනාවන්හි බුද්ධ යන වචනය නිසා ලබාගත් ආශිර්වාද පිළිබඳ ධර්ම ග්‍රන්ථ සාක්ෂි දරයි. එක්තරා අවස්ථාවක මිථ්‍යාදෘෂ්ටික දරුවෙක් නාගයෙක් ඇල්ලීම පිණිස එළවාගෙන යාමේ දී පය පැකිළී ඇද වැටුණේ ය. එවිට තමාගේ සම්‍යක්දෘෂ්ටික සගයෙකු විසින් කියා දුන් “නමෝ බුද්ධාය” යන වදන ඔහුගේ මුවින් පිටවිය. “බුද්ධ යන වචන ඇසීමෙන් නාගයා මග හැර ගියේ ය. එය සවනානුත්තරීය වන අතර, බුදුගුණ පිළිබඳ කතාව එතරම් ප්‍රබල වේ.

“පෙදෙන් බුදුසිරිත – බසින්වත් සිරිත් ඈ” බුද්ධ චරිතය භාෂාවෙන් ගත් කල සිරිත් උගන්වනු ලැබේ. ත්‍රිපිටක දහම සවනානුත්තරීය වේ. ධර්මය දුලභ යුගයක අප ඉපිද සිටියේ නම් ත්‍රිපිටක ධර්මයෙහි විශිෂ්ටත්වය වඩාත් අපට දැනෙනු ඇත. ධර්මයෙන් තොර රාජ්‍යත්වය ඔටුන්න නොමැති රජකම ලෙස සැලකූ දහම්සොඬ රජතුමා සවනානුත්තරීය වූ එක බණ පදයක් ඇසීම පිණිස සිය රජකම හැර දැමුවේ ය. එම අවස්ථාවේ දී යක්ෂයෙකු මෙන් වෙස් වළා පැමිණි ශක්‍රයාගේ මුවට පැනීමට තරම් රජතුමා එඩිතර වූයේ ධර්මයෙහි ඇති වැදගත්කම හොඳින් අවබෝධ කොටගෙන තිබූ හෙයිනි. ශක්‍ර තෙමේ රජතුමා තම භවනට රැගෙන ගොස් තමන් දන්නා බණ පදය වූ පෙර බුදු කෙනෙකුන් දේශනා කොට ශේෂ ව තිබූ එකම බණ පදය වන,

අනිච්චා වත සංඛාරා උප්පාදවයධම්මිනො
උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති
තෙසං වූපසමො සුඛො”

ආදී වශයෙන් අද සියලු ආදාහන උත්සවවල දී, පාංසකූලයක දී ප්‍රකාශ වන ගාථා පාඨය රජතුමාට කියා දුන්නේ ය. එසේ සවනානුත්තරීය ධර්මය වෙනුවෙන් රජවරු තම ජීවිත පවා පරිත්‍යාග කර ඇත. එසේ සවනානුත්තරීය වනුයේ ත්‍රිපිටක ධර්මය විනා වෙනත් හඬක් නො වන බව අප සිහි තබාගත යුතු වේ.

ලාභානුත්තරීය

ඊළඟ අනුත්තරීය ධර්මය නම් ලාභානුත්තරීයයි. එනම්, ලැබීම් අතර උසස් ම ලැබීම කුමක්දැයි යමෙකු ප්‍රශ්නයක් නැඟූ කල විවිධ දේ සිහිපත් කරමින්, විවිධ පිළිතුරු ලැබෙනු ඇත. “මුදලට කළ නො හැකි දෙයක් නැත” යන පුහු සංකල්පය දරන අද්‍යතන වත්මන් සමාජය මුදල් උත්තරීය ලාභය ලෙස සලකයි.

“ආරොග්‍යපරමා ලාභා” යනුවෙන් උසස් ලාභයක් ලෙස නීරෝගීකම බුදුන් වහන්සේ හඳුන්වාදුන් සේක. එහෙත් ලාභානුත්තරීය යන කාරණය පැහැදිලි කිරීමේ දී ලාභයන් අතර උසස් ම ලාභය ලෙස බුදුන් වහන්සේ හඳුන්වාදෙනු ලබනුයේ ආර්ය ධනයයි.

“සද්ධාධනං සීලධනං
හිරි ඔත්තප්පියං ධනං
සුතධනං ච චාගො ච
පඤ්ඤා වෙ සත්තමං ධනං”
සද්ධා ධනං

ශ්‍රද්ධාව යමෙකුට ඉබේ හට නො ගන්නා සේ ම ශ්‍රද්ධාවඇති කරගැනීම පහසු කාරණාවක් ද නො වේ.

“සද්ධො කුලපුත්තො බහු පුඤ්ඤං පසවති”

පින් කරනුයේ බොහෝ විට ශ්‍රද්ධාවන්තයන් වන හෙයින් පිනට ශ්‍රද්ධාව මුල් වන බව දැනගත යුතු වේ. එහෙත් ශ්‍රද්ධාවන්ත පුද්ගලයා නිවන සඳහා එළැඹේ.

“සද්ධා ජාතො උපසංකමති” බණ ඇසීමට ශ්‍රද්ධාව අත්‍යවශ්‍ය වේ. නිවස තුළ දී විවිධ මාධ්‍ය ඔස්සේ හා පටිගත කළ දේශනා ශ්‍රවණය කරන පිරිස බොහෝ වෙති. එසේ ම එම අවස්ථාව කරදරයක් සේ සලකනු ලබන පිරිස ද නිවෙස් තුළ සිටිති. ඔවුහු ශ්‍රද්ධාවෙන් බැහැර වූවෝ වෙති. එහෙයින් ශ්‍රද්ධාව ධනයක් ලෙස සැලකේ.

සීල ධනං

සීලය ධනයක් වන ආකාරය අද සමාජය දෙස බැලීමේ දී මැනැවින් වැටහෙයි. සීල ධනය තමන් තුළ නොමැතිකමින් සිය ජීවිත අගාධයන්ට ඇද දමාගත්, බොහෝ දේ අහිමි කරගත් පුද්ගලයන් බොහෝ ය. සීලය සතුටට අවශ්‍ය ධනයකි.

“සීලවා සීලසම්පන්නා ය ඥේඤෙදෙව පරිසං උපසංකමති යදි ඛත්තියපරිසං යදි බ්‍රාහ්මණපරිසං යදි ගහපතිපරිසං යදි සමණපරිසං, විසාරදො උපසංකමති අමංකුභූතො”

සිල්වත් පුද්ගලයන්ට විශාරදයෙකු ලෙස, පිරිසක් ඉදිරියට යාමට ශක්තිය ඇති වේ. තම ජීවිතයේ නිකලැල් බව, නිදොස් බව නිසා සිල්වතාට ඇති වන ආත්ම විශ්වාසය සිල්වතා ඉදිරියට ගෙන යයි.

හිරි ඔත්තප්පියං ධනං

හිරි යනු ලජ්ජාවයි. ඔත්තප්පිය යනු බයයි. අප ලජ්ජා විය යුත්තේ කුමකට ද? බිය විය යුත්තේ කුමකට ද? අප බිය විය යුත්තේ, ලජ්ජා විය යුත්තේ පවට ය. පවට ලජ්ජාව, බය නැතිකමින් විවිධ කරදරයන්ට මුහුණදුන් පිරිස සමාජයේ අපට හමුවෙති. එවන් සමහරු සිපිරිගෙය තුළ දුක් විඳිති. තවත් සමහරු මාධ්‍යයෙන් තොරතුරු හෙළි වීම නිසා අපහාසයට ලක්ව සිටිති.

අත්තූපවාද – තමන් තමන්ට චෝදනා කරගැනීමෙන් බය ඇති වේ.

පරොපවාද - සමාජයෙන් තමාට බය ඇති වේ.

දණ්ඩ – දඬුවමට බියක් ඇති වේ.

දුග්ගති – මරණින් පසු අපාගත වීම පිළිබඳ බය ඇති වේ.

ඉහත සඳහන් සියලු බය හිරි ඔත්තප්පියං තුළ අන්තර්ගත වේ.

සුත ධනං

සුත යනු බොහෝ ඇසූ පිරූ තැන් ඇති බවයි. සමාජයේ බොහෝ විට යමෙකුට සලකනු ලබන්නේ යමෙකුගේ උස මහතට හෝ ධනයට හෝ නොව, යමෙකු තුළ ප්‍රදර්ශනය වන උගත්කමට හා වටිනා චරිතයටයි. “ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු” (පුතු යන වදන පුතුන් මෙන් ම දියණියන් වෙත ද භාවිත වේ.) ගුණ නැණ බෙලෙන් යුතු පුද්ගලයා තුළ ඉතා විශාල වටිනාකමක් ඇත.

“අස්සුතවා පුථුජ්ජනො - සුතවා අරියසාවකො”

යනුවෙන් පෘථග්ජන පුද්ගලයා අස්සුත බවත්, ආර්ය ශ්‍රාවකයා සුතවත් බවත් ධර්මයෙහි පෙන්වා දී ඇත. “සුස්සුතා ලභතෙ පඤ්ඤං” ඇහුම්කන් දීම තුළින් ප්‍රඥාව ලබයි. ආදි යුගයේ දැනුම ලබන උසස් ම මාධ්‍යය වූයේ ශ්‍රවණ මාධ්‍යයයි.

උපනිෂද් - ළඟින් වාඩි කරවාගෙන ඉගැන්වීම

ළඟින් වාඩි කරගෙන ඉගැන්වීමේ දී ශිෂ්‍යයා හොඳින් ඇහුම්කන් දී දැනුම ලබාගන්නේ ය.

චාග ධනං

චාග යනු දීම හෙවත් අත්හැරීමට ඇති හැකියාවයි. අත්හැරීමට ඇති හැකියාව ධනයක් වන අතර, එය පහසු කාරණාවක් නොවේ. ලෝක ස්වභාවයට අනුව මිනිසා මෙන් ම සතා සිවුපාවෝ ද, (කුඩා දරුවන් ඇතුළු ව) යමක් අල්ලා ගැනීම උදෙසා වෙර දරති. එසේ අල්ලා ගැනීම පොදු ලක්ෂණයක් වුවත් අත්හැරීම පහසුවෙන් කළ නො හැක්කකි. එහෙයින් අමාමෑණි බුදුපියාණන් වහන්සේ චාගය ධනයක් ලෙස හඳුන්වාදුන් සේක.

පඤ්ඤා ධනං

“පඤ්ඤා නරානං රතනං” මැණිකක් මෙන් වූ ප්‍රඥාව තරම් වටිනාකමින් යුත් ධනයක් මෙලොව මිනිසා සතුව නොමැති බැව් බුදුන් වහන්සේ පෙන්වා දුන් සේක.

ඉහතින් සඳහන් කරන ලද සප්ත ආර්ය ධනය ලාභයන් අතර උසස් ම කාරණාවක් ලෙස පැහැදිලි කර ඇත.

ඇසීන් දැකීමේ උසස් තත්ත්වය දස්සනානුත්තරීය වේ.

කනින් ඇසීමේ උසස් තත්ත්වය සවණානුත්තරීය වේ.

ලැබීමෙන් උසස් තත්ත්වය ලාභානුන්තරීය වේ.

නවම් මස පුර අටවක පෝය

නවම් මස පුර අටවක පෝය පෙබරවාරි 01 වන දා සෙනසුරාදා අපර භාග 06.11 ට ලබයි. 02 වන දා ඉරිදා අපර භාග 08.03 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම පෙබරවාරි 02 වන දා ඉරිදා ය.

මීළඟ පෝය පෙබරවාරි 08 වන දා සෙනසුරාදා ය.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 02

Full Moonපසළොස්වක

පෙබරවාරි 08

Second Quarterඅව අටවක

පෙබරවාරි 15

Full Moonඅමාවක

පෙබරවාරි 23

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]