තෙවළා බුදු වදන් අතරින් 57 :
දෙන්නා සහ
නොදෙන්නා අතර
වෙනස
කොළඹ විශ්වවිද්‍යාලයේ
බෞද්ධ අධ්‍යයන අංශයේ
අංශාධිපති
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
රාජකීය පණ්ඩිත ආචාර්ය
උඩුහාවර ආනන්ද හිමි
ස්වාමීනි, හරිම ආශ්චර්ය යි. දෙවියෙකු වුව ද, පින උපකාරී වෙයි. මිනිසෙකු වුව ද, පින
උපකාරී වෙයි. පැවිද්දෙකු වුව ද පින උපකාරී වෙයි
බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වෙසෙන සමයෙහි සුමනා රජකුමරිය පන්සියයක්
කුමාරිකාවන් පිරිවරාගෙන දෙව්රම් වෙහෙරට පැමිණ බුදුරදුන්ට නමස්කාර කොට උන්වහන්සේගෙන්
ප්‍රශ්න කීපයක් විමසුවා ය.
පළමු ප්‍රශ්නය අනුව කිසියම් සම ශ්‍රද්ධා, සම සීල, සම ප්‍රඥා සහිත පුද්ගලයන්
දෙදෙනෙකු අතරින් එක් අයෙකු පරිත්‍යාගශීලී වන අතර අනෙකා එසේ නොවේ.
මෙසේ ශ්‍රද්ධාවෙන්, සීලයෙන් හා ප්‍රඥාවෙන් සමාන වන නමුත් පරිත්‍යාගය සම්බන්ධයෙන්
විසම වූ මේ දෙදෙනා මරණින් පසු දෙව්ලොව උපන් විට ඔවුනොවුන් අතර වෙනසක් තිබේදැයි
සුමනා රාජ කුමරිය විමසුවා ය. ඇයගේ පළමු පැනයට පිළිතුරු දුන් බුදුරජාණන් වහන්සේ
ඔවුන් දෙදෙනා අතරින් පරිත්‍යාගශීලී පුද්ගලයා දිව්‍යමය ආයුෂ, දිව්‍යමය වර්ණ,
දිව්‍යමය සැප, දිව්‍යමය යසස, දිව්‍යමය ආධිපත්‍ය යන පංචවිධ අංග වලින් අදායක පුද්ගලයා
අභිබවා සිටින බව දේශනා කළ හ. ඒ දෙදෙනා දෙව්ලොවින් චුත ව මිනිස් ලොව උපදින්නේ නම්,
එවිටද ඔවුන් දෙදෙනා අතර වෙනසක් තිබේදැයි දෙවනුව විමසුවා ය. එයට පිළිවදන් දුන්
භාග්‍යවතුන් වහන්සේ එසේ මිනිස් ලොව ඉපදෙන ඒ දෙදෙනා අතරින් පරිත්‍යාගය පුහුණු කළ
තැනැත්තා මානුසමය ආයු, වර්ණ, සැප, යසස හා ආධිපත්‍යයෙන් යුක්ත ව අදායක තැනැත්තාට වඩා
ඉදිරියෙන් සිටින බව දේශනා කළහ. යම් හෙයිකින් එම දෙදෙනා පැවිදි වුවහොත් එවිට ද ඔවුන්
අතර වෙනසක් තිබේදැයි සුමනා රජකුමරිය බුදුරදුන්ගෙන් තෙවන වර විමසුවා ය. එයට පිළිවදන්
දුන් භාග්‍යවතුන් වහන්සේ පැවිදි වුව ද ඔවුනොවුන් අතර ප්‍රත්‍යලාභය හා උපස්ථාන
කිරීම් සම්බන්ධයෙන් වෙනසක් ඇති බව පැහැදිලි කළ සේක. ඒ අනුව සසර පරිත්‍යාගය හෙවත්
දානය ප්‍රගුණ කළ තැනැත්තා පැවිදි වුව ද, කරුණු පහකින් අදායක භික්‍ෂුව අභිබවා සිටී.
සසර දානය ප්‍රගුණ කළ භික්‍ෂුවට ආයාචනයකින් තොරව දායකයන් විසින් නිතර නිතර චීවර,
පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍ය නොමද ව සපයා දෙයි. එසේම උන්වහන්සේ සබ්‍රහ්මචාරීන්
සමග වාසය කරන්නේ නම් උන්වහන්සේලා බහුල වශයෙන් මනාප වූ කායික චර්යාවලින් ද, වාචසික
චර්යාවලින් ද, මානසික චර්යාවලින් ද එසේම බහුලව උපහාර දැක්වීමෙන් ද කටයුතු කරති.
මෙසේ දානය පුරුදු කළ තැනැත්තා පැවිදි වුව ද, සිව්පස ලාභයෙන් මෙන්ම සබ්‍රහ්මචාරීන්ගේ
ගෞරව සම්මානයෙන් ද අදායක භික්‍ෂුව අබිබවා සිටී. සසර දානය පුරුදු කළ තැනැත්තා මෙන්ම
නොකළ තැනැත්තන් අතර විමුක්තිය සාක්‍ෂාත් කිරීම සම්බන්ධයෙන් වෙනසක් තිබේදැයි අවසන්
වශයෙන් විමසුවා ය. එයට පිළිවදන් දුන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ විමුක්තිය
සම්බන්ධයෙන් ඔවුනොවුන් අතර වෙනසක් නොමැති බව යි. බුදුරදුන්ගේ කරුණු පැහැදිලි
කිරීමෙන් අතිශය ප්‍රීතියට පත් සුමනා රජ කුමරිය “ස්වාමීනි, හරිම ආශ්චර්ය යි.
දෙවියෙකු වුව ද, පින උපකාරී වෙයි. මිනිසෙකු වුව ද, පින උපකාරී වෙයි. පැවිද්දෙකු වුව
ද පින උපකාරී වෙයි ” පැවසුවා ය. ඇයගේ ප්‍රකාශය අනුමත කළ බුදුරජාණන් වහන්සේ දන් දීම,
පින් රැස්කිරීම ලොව සැම කෙනෙකු ම කළ යුතු යහපත් ක්‍රියාවක් ලෙස වදාළ හ.
ඉහතින් දැක්වූ අංගුත්තර නිකායේ පංචක නිපාතයේ එන සුමනා සූත්‍රය දානයෙහි පවතින අතිශය
ගැඹුරු විපාක කවරේද? යන්න හා බුදුරදුන්ගේ දේශනා තුළ අන්තර්ගත කර්මය පිළිබඳ
සිද්ධාන්තය පැහැදිලි කරයි.
සුමනා රජ කුමරිය විමසීම අනුව ශ්‍රද්ධාවෙන් ද, සීලයෙන් ද, ප්‍රඥාවෙන් ද සමාන
පුද්ගලයන් දෙදෙනෙකු අතුරින් පරිත්‍යාගය හෙවත් දානය ප්‍රගුණ කළ තැනැත්තා හා එසේ දානය
හෙවත් පරිත්‍යාගය ප්‍රගුණ නොකළ තැනැත්තා යන දෙදෙනා පිළිබඳ පවතින මූලික වෙනස නිවන්
අවබෝධය තෙක් ම පවතී. පරිත්‍යාගය හා දානය ප්‍රගුණ කළ තැනැත්තා දෙව්ලොව හා මිනිස් ලොව
යන කාම සුගතියක උපත ලැබුවහොත් ඊට අනුරූපී වූ උසස් ආයු, වර්ණ, සැප, යසස ආධිපත්‍ය යන
අංගයන්ගෙන් අදායක තැනැත්තා අබිබවා සිටී. ශ්‍රද්ධා සීල ප්‍රඥා යන අංගවලින් පරිපූර්ණ
වුවත්, දානය ප්‍රගුණ නොකළ තැනැත්තාට කාම සුගතියේ උසස් සැපතට මුල් වන ආයුෂ, වර්ණ,
සැප යසස ආධිපත්‍ය හිමි නොවේ. ශ්‍රද්ධා සීල ප්‍රඥා යන ගුණ ප්‍රගුණ කිරීමේ
ප්‍රතිඵලයක් ලෙස සුගතිගාමී වුව ද, උසස් සැපතකට මුල්වන කිසිවක් හිමිනොවන බව සුමනා
සූත්‍රයෙන් පැහැදිලි වේ. කාමාවචර ලෝකයක උපන් සැම කෙනෙකුගේ ම අපේක්‍ෂාව ඊට අයත් වූ
උසස් සැපත වින්දනය කිරීම ය. දීර්ඝායුෂ සම්පත්තිය, වර්ණ සම්පත්තිය, කායික මානසික
සුවය, යසස හෙවත් සමාජ සම්භාවනාවට පත්වීම හෝ කීර්තිමත් මෙන් ම ජනප්‍රිය කෙනෙකු බවට
පත්වීමේ කැමැත්ත හා නායකත්වයක් හා ආධිපත්‍යයක් අපේක්‍ෂා කිරීම සාමාන්‍ය පුහුදුන්
මිනිසාගේ කැමැත්ත ය. එහෙත් ඒ සියල්ල සිතූ පරිදි ලැබෙන්නේ සසර දානය ප්‍රගුණ කළ
තැනැත්තාට මිස කිසිවක් පරිත්‍යාග නොකළ මසුරු තැනැත්තෙකුට නොවේ.
අනෙක් අතට යට කී ලෞකික සැප දෙවියන්ට ද, මනුෂ්‍යයන්ට ද අවශ්‍ය වේ. එවන් සැප
සම්පත්වලින් ආඪ්‍ය ජීවිතය සම්පූර්ණ එකකි. ලෞකික කාමභෝගී ජීවිතයක් සැප දායක වන්නේ එම
සම්පත් සෑහෙන පමණ අත්පත් කරගෙන තිබේ නම් පමණි. එැවනි සැප සම්පත්වලින් තොර දිව්‍ය
මනුෂ්‍ය දෙගතියක උපත සැප දායක නොවේ. කාමාවචර ලෝක හෙවත් කාම සුගති යනුවෙන් හැඳීන්වෙන
දිව්‍ය හා මනුෂ්‍ය ලෝකවල යට දක්වන ලද දීර්ඝායුෂ ආදි සම්පත් සුලභ ව තිබීම අවශ්‍ය වේ.
එම සම්පත් තිබෙනතාක් කාමසුගතිවල උපත ලද කෙනෙකුට ඊට අදාළ සැපවත් දිවියක් ගෙවිය හැකි
ය. එහෙත් ඒ සැප ලැබෙන්නේ දානය ප්‍රගුණ කිරීමේ ප්‍රතිඵලයක් වශයෙනි. කාම සුගතියක උසස්
සැපතක් අපේක්‍ෂා කරන්නෙකු විසින් දානය සතතාභ්‍යාසයෙන්ම පුහුණු කළ යුතු බව සුමනා
සූත්‍රයෙන් ලැබෙන ආදර්ශය යි.
දානය ප්‍රගුණ කිරීමේ ප්‍රතිලාභ පැවිදි ජීවිතයට ද අදාළ ය. අන්‍යයන් විසින් පරිත්‍යාග
කෙරෙන දැයින් යැපෙන පැවිදි ජීවිතයට අවශ්‍ය සිව්පසය ආදිය පහසුවෙන් ලැබෙන්නේ දානය
ප්‍රගුණ කිරීමේ ප්‍රතිඵලයක් වශයෙනි. සසර දානය ප්‍රගුණ කළ පැවිද්දාට නිරායාසයෙන් ම
උසස් ලෙස සිව්පසය ලැබේ. ඒ සඳහා ආයාචනා කිරීමක් අවශ්‍ය නොවේ. ප්‍රත්‍ය ලාභීන් අතර
සීවලි මහරහතන් වහන්සේ අගපත් වූයේ සසර පුරුදු කළ දානයේ විපාක වශයෙන් ය. මේ අනුව සසර
දානය ප්‍රගුණ කළ හා නොකළ යන දෙදෙනාට ම පැවිදි වුව ද, එහි විපාක වෙනස් ව වි¼දීමට
සිදුවන බව යි.
දානය ප්‍රගුණ කිරීම හා නොකිරීම නිසා වන විශේෂතා විමුක්තිය සම්බන්ධයෙන් අදාළ නොවේ.
වෙනත් ආකාරයකින් පවසන්නේ නම් නිර්වාණාවබෝධය වනාහි සියලු කෙලෙස් ධර්ම ප්‍රහීණ
කිරීමෙන් ලැබෙන තත්ත්වය කි. එම තත්ත්වය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් නොවේ. වීතරාගී
උතුමන්ගේ විමුක්තියෙහි අඩු, වැඩි බවක් හෝ උසස් පහත් බවක් නොමැත. දානය පුහුණු කිරීම
හා නොකිරීම හේතුවෙන් විමුක්තිය හෙවත් නිවන් අවබෝධයෙහි කිසිදු විශේෂත්වයක් නැතැයි
බුදුරදුන් වදාළේ එබැවිනි.
විමුක්තිය සම්බන්ධයෙන් උසස් පහත් බවක් නොමැති වුව ද, සසර දානය ප්‍රගුණ කළ හා නොකළ
විතරාගී උතුමන්ට ප්‍රත්‍ය ලාභය සම්බන්ධයෙන් විශේෂත්වයක් ඇති බව සීවලී මහරහතන්
වහන්සේ සහ ලෝසක මහරහතන් වහන්සේ පිළිබඳ තොරතුරුවලින් අනාවරණය වේ. මේ රහතන් වහන්සේලා
දෙනමගේ ප්‍රත්‍ය ලාභය සම්බන්ධ විශේෂතා පැවතුණ ද උන්වහන්සේලා අවබෝධ කළ විමුක්තිය
හෙවත් නිර්වාණයේ විශේෂත්වයක් හෝ අඩු වැඩි බවක් නොමැත. බුදුරදුන්ගේ කරුණු පැහැදිලි
කිරීමෙන් විශ්මයට පත් සුමනා රජ කුමරිය පින වනාහි දෙවි වුව ද, මිනිස් වුව ද, පැවිදි
වුව ද සැපවත් ජීවිතයකට අත්‍යවශ්‍ය වූවක් යැයි පවසමින් උදන් ඇනුවා ය. කාම සුගතියක
ඉපිද, සැපවත් ජීවිතයක් අපේක්‍ෂා කරන්නෙකු නිතර පරිත්‍යාගය හා දානය ප්‍රගුණ කළ යුතු
වේ. |