[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සසර බිය දුරු කරන  සිත

සසර බිය දුරු කරන  සිත

බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරන ලද්දේ පුද්ගල සන්තානය ගොඩනගා ගැනීම සඳහා ය. මිනිස් සිත ස්වභාවයෙන් ම වැරැදි අරමුණු කරා ගමන් කිරීම සුලභ ය.

එබඳු සිතක සිතුවිලි පාලනය කර ගනිමින් යෝග්‍ය සිතුවිලිවලට පමණක් වටිනාකමක්, බලයක් ලබා දීම බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම ය.ඇසට නොපෙනෙන, කයින් ස්පර්ශ කළ නොහැකි සිත යමෙකුට යහපතේ උපරිම තත්වයට හා අයහපතෙහි උපරිම තත්වයට පත් කර ගත හැකි ය. එබඳු සිත පුද්ගලයාට ආධ්‍යාත්මික වශයෙන් දමනය කර ගත හැකි වේ ද, එම තැනැත්තාට නැවත නැවතත් සංසාරගත ව මාරයාගේ ගොදුරක්බවට පත්නොවී අමරණීයත්වයට පත්විය හැකි ය. මජ්ක්‍ධිම නිකායෙහි සීහනාද වර්ගයෙහි විතක්ක සන්ඨාන සූත්‍රය තුළ මිනිස් සිතුවිලිවල බලය යෙදිය යුතු සහ බලය නොයෙදිය යුතු කාරණා පහක් පිළිබඳ ව බුදුරජාණන් වහන්සේ දේශනා කළහ.

අධිචිත්තමනුයුත්තේන භික්ඛවේ භික්ඛුනා පංචනිමිත්තානි කාලේන කාලං මනසිකාතබ්බානි

භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩසිටි සමයෙහි භික්ෂූන් වහන්සේලා මුල් කර ගනිමින් මෙම සූත්‍ර දේශනාව දේශනා කළහ. මහණෙනි, කලින් කල පැවිද්දා විසින් කරුණු පහක් පිළිබඳ ව සිහිපත් කරමින් ස්වකීය සිත පාලනය කර ගත යුතු වේ.

* යම් අකුසල නිමිත්තක් පහළ වූ විට එම අකුසල සිතුවිල්ල වෙනුවට කුසල සිතුවිල්ලක් මෙනෙහි කළ යුතු ය.

* යම් බඳු අකුසල සිතුවිල්ලක් සිත තුළ පහළවේ ද එම සිතුවිලිවල ආදීනව මෙනෙහි කළ යුතු ය.

* අකුසල සිතුවිල්ලක් සිත තුළ පහළවේ ද එබඳු අකුසල සිතුවිලි මෙනෙහි නො කළ යුතු ය.

* අකුසල සිතුවිලි සිත තුළ පහළවේ ද එබඳු සිතිවිලි හටගැනීමේ මූලය පිළිබඳ ව සිහිපත් කළ යුතු ය.

* යට දතෙහි උඩු දත පිහිටුවා දිවෙන් තලුපෙලාගෙන අහෝ මා ලබපු මිනිස් භවය තුළ මගේ සිතවත් පාලනය කරගත නොහැකි යැයි තමාවිසින් ම තමා පිළිබඳ ව සිහිපත් කළ යුතු ය.

යම් ආකාරයකට සිතිවිල්ලක් මෙනෙහි කිරීමේ දී ලෝභ සහගතවූ ත් ද්වේෂ සහගතවූත්, මෝහ සහගතවූත් ලාමක, හීන, ග්‍රාම්‍ය වූ අකුසල විතර්කයෝ හට ගනිද්ද එම උපදින අකුසල විතර්කයන් වෙනුවට කුසල ගත වෙනත් අරමුණක් මෙනෙහි කළ යුතු ය. ප්‍රායෝගික ලෙස සමාජය තුළ ජීවත්වීමේ දී මිනිස් සිතට රාගය, ද්වේෂය, මෝහය ආදි අකුසල ගත විතර්කයන් පහළ වීම ස්වාභාවික ය. එබඳු සිතුවිලි පහළ වූ විට එයට ප්‍රතිවිරුද්ධ වූ කුසලගත විතක්කයන් මෙනෙහි කර ගත යුතු ය. ලෝභයට ප්‍රතිවිරුද්ධ ව දානයත්, ද්වේෂයට ප්‍රතිවිරුද්ධ ව මෛත්‍රියත්, රාගයට විරාගයත්, හිංසාවට විහිංසාවත් මෙනෙහි කළ යුතුවෙයි. එවිට සිත තුළ ගොඩනැගෙන අකුසල විතර්කයන් පාලනය කර ගනිමින් කුසල සහගත සිතිවිලි තුළින් සිත පාලනය කර ගත හැකි ය.

දිරා ගිය පුටුවක සවි කර ඇති ලී ඇණය වෙනුවට දක්ෂ වඩුවෙක් විසින් ශක්තිමත් ලී ඇණයක් සකස් කර දිරාගිය ලී ඇණය මත තබා තට්ටු කිරීමේ දී, දිරා ගිය ලී ඇණය කැබලිවලට කැඩී ශක්තිමත් ලී ඇණය පුටුවට සවි වී පුටුව ශක්තිමත් වන්නේ යම් සේ ද ඔබේ සිත තුළ ගොඩ නැගෙන අකුසල සිතිවිලි පරදවා කුසල සිතිවිලි තුළින් සිත ශක්තිමත් කර ගත යුතු ය.

යම් සිතුවිල්ලක් පහළ වූ විට එය ක්‍රියාත්මක කිරීමට ප්‍රථම ඒ පිළිබඳ ව නැවත නැවතත් සිහිපත් කළ යුතු ය. එම ක්‍රියාවෙහි ආදීනව පිළිබඳ මෙනෙහි කළ යුතු ය. මා සිදු කරන ක්‍රියාව තමා හට හිතකර ද, අන් අයට හිතකර ද, සමාජයට හිත කර ක්‍රියාවක් ද යනුවෙන් පූර්ව නිගමනයකට පැමිණිය යුතු වේ.

යම්සේ පිරිසුදුව ජීවත්වීමට, තරුණ බවට ප්‍රියකරන ස්ත්‍රියකගේ හෝ පුරුෂයෙකුගේ ගෙලට සර්පයෙකුගේ මළකුණක් දැමූ විගසම එයට ප්‍රිය නොකොට ගෙලෙන් පිටතට ඇද දමයි. එබඳු මළකුණකට ප්‍රියනොකරන්නා සේ, පිළිකුල් කරන්නා සේ ලජ්ජිතවන්නා සේ, සන්තානයෙහි ම සිහිය පිහිටුවා ගනිමින් අරමුණු පිළිබඳ අවබෝධයෙන් යුක්තව කටයුතු කළ යුතු ය. බොහෝ දෙනෙකු ගත පිරිසිදු කර ගැනීමට දරන උත්සාහය සිත පිරිසුදු කර ගැනීමට උත්සාහවන්ත වේ ද මිනිසාට සිත මනා සේ තබාගෙන කටයුතු කළ හැකි ය.

තස්ස චේ භික්ඛවේ භික්ඛුනා තේසම්පි විතක්කානං අසති අමානසිකානාං දාසජ්ජනෝ උපපජ්ජන්තෙව.....

මහණෙනි පින්කරන්නන්ගේ දෝෂය පරික්ෂා කරන්නා වූ ඒ පැවිද්දා විසින් ලෝභ වූ ත්, ලාමක විතර්කයෝ හටගනිත් ද එවිට එබඳු අකුසල විතර්කයන් නොසිහි කිරීම නොමෙනෙහි කිරීම මැනවි යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළහ.

යම් පුද්ගලයෙකු පිළිබඳ ව ද්වේෂ සහගත ව, වෛරී සහගත ව ක්‍රියා කරයි ද එබඳු පුද්ගලයෙකු සම්මුඛ වුව හොත් යම් ආකාරයකින් රූපය නොදකිනු කැමැත්තේ වන්නේ ද හෙතෙම ඇස් පියා ගනිත්ද ,අන් අය දෙස බලන්නේ වේ ද මහණෙනි එ පරිද්දෙන් ම ඒ විතර්කයන්ගේ දෝශය පරික්ෂා කරන්නා වූ මහණහට ලෝභසහගත වූ ත්, ද්වේෂ සහගත වූ ත්, මෝහ සහගත වූත් ලාමක අකුසල විතර්කයෝ උපදිත් ම එබඳු විතර්කයන් නොසිහි කිරීමට, නොමෙනෙහි කිරීමට පැමිණීම මැනවි.

මහණෙනි ඒ විතර්කයන්ගේ ද විතර්කමූලස්ථානය මෙනෙහි කරන්නා වූ ඒ මහණහට ලෝභ සහගත වූ ත්, ද්වේෂ සහගත වූ ත්, මෝහ සහගත වූත් හීන, ලාමක වූ අකුසල විතර්කයෝ උපදිත් ම මහණෙනි ඒ මහණ විසින් ඒ බඳු විතර්කයන්ගේ මූලස්ථානය මෙනෙහි කළ යුතු ය.එම විතර්කයන්ගේ විතර්ක මූලය මෙනෙහි කරන්නා වූ ඔහුට ලෝභ සහගත වූ ත්, ද්වේෂ සහගත වූ ත්, මෝහ සහගත වූ ත්, යම් ලාමක විතර්කයෝ වෙත් ද ප්‍රහීණ වීමෙන් සන්තානයෙහි සිත පිහිටයි මොනවට තැන්පත් වෙයි.සමාධි ගත වෙයි.

මහණෙනි යම් පුද්ගලයෙක් වේගයෙන් ගමන් කරයි ද එම පුද්ගලයාට මා වේගයෙන් යන්නේ කුමක් හෙයින් ද යනුවෙන් සිතා සෙමින් ගමන් කරයි ද, කුමක් නිසා මම සෙමින් ගමන් කරන්නේදැයි සිතා සිටගෙන සිටී ද, කුමක් හෙයින් මා සිටගෙත සිටින්නේදැයි සිතා හෙතෙම හිඳගන්නේ ය යනාදී වූ ඉතා දැඩි ඉරියවු දුරු කොට ඉතා සියුම් ඉරියවු පවත්වන්නේ ය. මහණෙනි එපරිද්දෙන් ම විතර්කයන්ගේ ද විතර්කමූලස්ථානය මෙනෙහි කරන්නා වූ ඒ මහණහට ලෝභ සහගත වූත්, ද්වේෂ සහගත වූ ත්, මෝහ සහගත වූ ත්, ලාමක අකුසල සිතිවිලි නූපදී

තෙන භික්ඛවේ භික්ඛුනා දානෙනහි දන්තමාධාය ජිව්හාය තාලුං ආහච්ච

මහණෙනි එබඳු අකුසල සිතිවිලි පහළවන විට යට දතෙහි උඩු දත පිහිටුවා, දිවෙන් තලු පෙළා කුසල් සිතින් අකුසල් සිත වෙසෙසින් තබා ගෙන කටයුතු කළ යුතු ය. වෙසෙසින් පෙළිය යුතුය.එබඳු වීර්යයකින් කටයුනු කරනු ලබන තැනැත්තාහට ලෝභසහගත වූ ත්, ද්වේෂ සහගත වූ ත්, මෝහ සහගත වූ ත්, ලාමක අකුසල විතර්කයෝවෙත් ද, විනාශයට පත්වේ. සිත සමාධි ගත වේ.

මේ ආකාරයට සිතුවිලි පිළබඳ ව අවධානය යොමු කොට කුසල සිතුවිලි බලාත්මක කර අකුසල සිතිවිලි හීන කොට ක්‍රයාකිරීමට හැකිවේ ද එබඳු පුද්ගලයාගේ සිත ඉතා පිවිතුරු ය. කෙලෙස් සිතුවිලි ප්‍රහීණ ය. සසර බිය දුරු කරන ලද්දේ ය. මරණයට නොබිය ව මුහුණ දිය හැකි ය.

නවම් මස පුර අටවක පෝය

නවම් මස පුර අටවක පෝය පෙබරවාරි 01 වන දා සෙනසුරාදා අපර භාග 06.11 ට ලබයි. 02 වන දා ඉරිදා අපර භාග 08.03 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම පෙබරවාරි 02 වන දා ඉරිදා ය.

මීළඟ පෝය පෙබරවාරි 08 වන දා සෙනසුරාදා ය.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 02

Full Moonපසළොස්වක

පෙබරවාරි 08

Second Quarterඅව අටවක

පෙබරවාරි 15

Full Moonඅමාවක

පෙබරවාරි 23

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]