[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනියනං

බෙල්ලන්විල විමලරතන අනු නා හිමි

බෙල්ලන්විල රාජමහා විහාරය, අත්තිඩිය මාලිගාවත්තේ පුරාණ විහාරය යන උභය විහාරාධිකාරී ව වැඩ සිටි, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති, කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාග්‍රීධර්ම මහා සංඝ සභාවේ අනුනායක ධුරීන බෙල්ලන්විල විමලරතන අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ දෙවර්ෂ පූර්ණ ගුණානුස්මරණ පින්කම පෙබරවාරි මස තුන් වන දිනට යෙදේ.

බෙල්ලන්විල විසූ ඕමන්තගේ පෝල් පෙරේරා මැතිතුමාගේ සහ පල්ලගේ දෝන බුත්සිලිනා ද සිල්වා මැතිණියගේ පුත් රුවනක් ලෙස 1942 දී ජන්ම ලාභය ලද නාහිමිපාණෝ 1956 දී ස්වකීය පියාණන්ගේ සහෝදර බෙල්ලන්විල රාජමහා විහාරාධිපති බෙල්ලන්විල සෝමරතන නා හිමියන්ගේ ආචාර්යයත්වයෙන් ප්‍රව්‍රජ්‍යා සම්පත් ලබා 1962 දී කෝට්ටේ රාජමහාවිහාරයීය මංගල උපෝෂථාගාරයේදී බෙල්ලන්විල විමලරතන නමින් උපසම්පදාව ලැබූහ.

මොල්ලිගොඩ ප්‍රවචනෝදය මහ පිරුවනින් මූලික බණදහම් හදාරා තදනන්තරව පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරුවනින් ධර්මශාස්ත්‍රෝද්ග්‍රහණය කොට විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබා රත්මලානේ පරමධම්මචේතිය පිරුවනෙහි සහ පැපිලියාන සුනේත්‍රාදේවි පිරුවනෙහි පරිවේණාධිපති ධූර හෙබවූහ.

නැවත වරක් ශාස්ත්‍රෝද්ග්‍රහණයට යොමු වූ නාහිමිපාණෝ විද්‍යොදය විශ්වවිද්‍යාලයට ඇතුළත් ව ශාස්ත්‍රවේදී විශේෂ උපාධිය ලබා මහාබ්‍රිතාන්‍යයේ ලැන්කැස්ටර් විශ්වවිද්‍යාලයෙහි ශාස්ත්‍රීය පර්යේෂණ සිදු කොට දර්ශන විශාරද (ආචාර්ය) උපාධිය ලැබූහ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කාර්ය මණ්ඩලයට ඇතුළත්ව කථිකාචාර්ය තනතුරේ සිට අනුක්‍රමික ව මහාචාර්ය පදවිය තෙක් උසස්වීම් ලබා විශ්‍රාම ගැනීමෙන් පසු 2005 වර්ෂයේ මැදගොඩ සුමනතිස්ස නාහිමියන් අපවත් වීමෙන් පුරප්පාඩු වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍ය ාලයේ කුලපති පදවියෙන් සම්මානිත වූහ.

ගෘහස්ථ මෙන්ම ප්‍රව්‍රජිතව ද ස්වකීය ජ්‍යෙෂ්ඨ සහෝදරයාණන් වූ බෙල්ලන්විල ධම්මරතන නාහිමියන් සිංගප්පූරුවෙහි ධර්ම ප්‍රචාරක කටයුතුවලට සහභාගී වීම නිසා පුරප්පාඩු වූ කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමාග්‍රී ධර්මමහා සංඝසභාවේ කර්මවාගාචාර්ය සහ කාරක සංඝ සභික පදවියට පත් නාහිමිපාණෝ දීර්ඝ කාලයක් එහි ලේඛකාධිකාරී පදවිය හොබවා 2008 දී අනුනායක පදවියට පත් වූහ.

ඊට අතිරේක ව එකී සංඝසභාවෙහි රත්මලාන පාර්ශ්වයේ ප්‍රධාන සංඝ නායක පදවිය සහ උපාධ්‍යාය පදවිය ද හොබවන ලදහ. නොසැලෙන මනස, බුදු පිළිමය මුද්‍රා සහ ආසන, බුදුවරු සහ බෝසත්වරු ඇතුළු ග්‍රන්ථ රාශියක් රචනා කළ අනුනාහිමිපාණෝ ශාස්ත්‍රීය ලිපි, පුවත්පත් ලිපි සිය ගණනක් රචනා කළහ. විද්‍යාලංකාර ගුරුකුලයෙන් ලද ශික්ෂණය ඔස්සේ භික්ෂුවකගේ කාර්යභාරය මැනවින් හඳුනා ගෙන සිටිමින් යාවත්කාලීන වූ දර්ශනයක පිහිටා කටයුතු කළහ.

2018 වර්ෂයේ පෙබරවාරි මස දෙවන දින ගිලන් බවට පත්වූ නාහිමිපාණෝ ඊට පසුදා අපවත් වී වදාළ සේක.


දේවාලේගම ධම්මසේන නා හිමි

රුහුණේ ඓතිහාසික තිස්සමහාරාම, සඳගිරි උභය රාජමහා විහාරාධිපති, කාවන්තිස්ස පරිවේණාධ්‍යක්ෂ, මාතර කන්දබඩ පත්තුව ඇතුළු මාතර හම්බන්තොට දෙපළාතේ ප්‍රධාන සංඝ නායක දේවාලේගම ධම්මසේන නා හිමි ගුණ නැණ බෙලෙන් පිරිපුන් යතිවරයන් වහන්සේ නමකි.

ආචාර්ය දේවාලේගම ධම්මසේන නාහිමි දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ දේවාලේගම ගම් පියසේ විසූ රූපසිංහ ඩිංගි හාමිනේ මහෝපාසිකා මාතාව සහ විජේරත්න වීරබද්දන මෙන්ඩියස් මහෝපාසක මහතා යන දම්පතීන් ගේ පුත්‍ර රත්නයක් ලෙස 1951 ජනවාරි 10 වැනිදා ජන්මලාභය ලැබී ය. ගිහි කල ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ මාතර කුඩාපාන රජයේ විදුහලෙනි.

කුඩා කල සිට ම මහත් සැදැහැයෙන් ක්‍රියා කළ හෙයින් 1965 මැයි මස 12 වැනි දින හක්මන මුරුතමුරේ ශ්‍රී සුභද්‍රාරාම විහාරස්ථානයේ දී උතුම් වූ ප්‍රව්‍රජ්‍යාභාවයට පත් ධම්මසේන නා හිමියන් ගේ ආචාර්යපාදෝත්තමයාණන් වහන්සේලා වූයේ ගොඩපිටියේ පේමරතන නා හිමි සහ හක්මන පඤ්ඤාලෝක නා හිමි ය. මෙකී ඇදුරු නා හිමිවරුන් ඇසුරෙහි වෙසෙමින් උගත යුතු මූලික ධර්මවිනය මැනවින් ප්‍රගුණ කළ උන්වහන්සේ පාරිවේණික අධ්‍යාපනය ලැබීම සඳහා ඇතුළත් වූයේ කොළඹ හුණුපිටියේ ශ්‍රී ගංගාරාමස්ථ ඥාණේශ්වර පිරිවෙනට යි. එහිදී ත්‍රිපිටක ධර්මය සේ ම සිංහල, පාලි, සංස්කෘත හා ඉංගී‍්‍රසි යන භාෂාවන් ද මැනවින් හදාරමින් පරිවේණස්ථානයේ දීප්තිමත් ශිෂ්‍යයෙකු බවට පත් විය.

1973 මැයි මස 25 වැනි දා මහනුවර මල්වතු මහා විහාරීය රාජකීය මංගල උපෝසථාගාරයේ දී ධම්මසේන හිමියෝ උපසම්පදා සම්පත්ති ප්‍රතිලාභය ලැබූහ.

ඉක්බිතිව පිළිවෙලින් විද්‍යෝදය විශ්වවිද්‍යාලය, කැලණිය විශ්වවිද්‍යාලය සහ බරණැස හින්දු විශ්වවිද්‍යාලය වෙතින් උපාධි හා පශ්චාත් උපාධි ලද උන්වහන්සේ සාම්ප්‍රදායික සහ නූතන අධ්‍යාපන විෂය ක්ෂේත්‍රයන්හි ප්‍රාමාණික දැනුම් සම්භාරයක් ලබා ගත් හ. ස්වකීය ආචාර්යපාදයන් වහන්සේලා ජීවමාන සමයේ දී ම මුරුතමුරේ ශ්‍රී සුභද්‍රාරාම විහාරය, හක්මන දෙනගම කැබැල්ලකැටිය ශ්‍රී විජයාරාමය සේ ම ඓතිහාසික තිස්සමහාරාම රාජමහා විහාරයෙහි ද විහාරාධිකාරී මෙන් ම භාරකාර නා හිමි ලෙස ක්‍රියා කළ හ. ඉක්බිතිව 2000 දී හක්මන පඤ්ඤාලෝක නාහිමියන් ගේ අපවත්වීමෙන් පසු පූර්වෝක්ත විහාරස්ථාන සියල්ලෙහි ම ආධිපත්‍යයට පත් වූ හ.

කාවන්තිස්ස මහ පිරිවෙනෙහි ආචාර්යවරයෙකු සේ ම පසුව එහි පරිවේනාධිපති ලෙස ද දිගු කලක් ක්‍රියා කළ හ. කාවන්තිස්ස වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ලෙස සිදුකරන සේවා ද ඉතා ඉහළ තැනක් ගනියි.

තිස්සමහාරාම රාජමහා විහාරය කේන්ද්‍රකර ගනිමින් වාර්ෂික ව පවත්වන රුහුණු මහා පෙරහර පුරාතන සම්ප්‍රදායන් සුරකිමින් අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්වීම කෙරෙහි ධම්මසේන නාහිමියෝ දැඩි කැපවීමකින් ක්‍රියා කරති. තිස්සමහාරාම දාගැබ පිපිරී ඉරිතලා ගිය අවස්ථාවේ දී කඩිනමින් එය සංරක්ෂණය කිරීමට ධම්මසේන නාහිමි ගත් නොපසුබස්නා දැඩි උත්සාහය නිසා ම අද වන විට සෑ රදුන් නිරුපද්‍රිත ව විරාජමාන ව පවතියි. තිස්සමහාරාම රාජමහා විහාරයේ සංවර්ධනය හා අභිවෘද්ධිය විෂයෙහිම ස්වකීය උදාර දිවිය කැප කළ තිස්සමහාරාමයෙහි වත්මන් සංවර්ධනයේ පුරෝගාමී නියමුවාණන් ලෙස දේවාලේගම ධම්මසේන නා හිමියෝ ගිහි පැවිදි ලොකු කුඩා කා අතරත් අතිශය ගෞරවාදරයට පත්ව වැඩ වෙසෙති. මේ නිසාම උන් වහන්සේ වෙත දිවයිනේ සංඝ සභා මූලස්ථානවලින් සේ ම විවිධ සංවිධාන වෙතින් ගෞරව නාම සම්මුතීන් රැසක් ද පිරිනැමුණි.


නිකහැටියේ සදදෝ හිමි

පාතහේවාහැට බෝලෑප විහාරය සහ හපුතලේ සත්කඳුර පුරාණ විහාරාධිපති නිකහැටියේ සදදෝ හිමියන් අසූ දෙවැනි වියට පා තබා ඇත.

1938 ජූලි 07 දින මහනුවර උඩුනුවර නිකහැටියගමේ උපත ලද උන්වහන්සේගේ මව්පියන් වූයේ හීන්කෙන්ද මුදියන්සේලා මුදියන්සේ සහ අත්තනායක මුදියන්සේලාගේ බණ්ඩාර මැණිකේ යන දම්පතීන් ය. සහෝදර සහෝදරියන් හත්දෙනකුගෙන් සමන්විත පවුලක උන්වහන්සේ හය වැනියා විය. වැඩිමහල් සහෝදර සහෝදරියන් පස්දෙනකු සහ බාල නැගනියක් ද ඒ අතර වූහ. ශිල්ප හදාරණ වයස එළැඹි විට වට්ටප්පල මධ්‍ය මහා විද්‍යාලයේ පළමු වසරට ඇතුලත්ව අධ්‍යාපනය ලබා 1949 දී පාසලෙන් ඉවත්ව 1951 වසරේ පාතහේවාහැට බෝලෑප විහාරයට පැමිණ එම විහාරාධිපති ව වැඩවිසූ පනන්වල උපනන්ද හිමියන්ගේ ආචාර්යත්වයෙන් පැවිදි බිමට පා තැබූහ. පසුව යටිනුවර රත්හේපිටිය ශ්‍රී සිද්ධාර්ථ පිරිවෙනට ඇතුළත් වු අතර කොළොන්දෙණියේ ඉන්දවිමල හිමි එහි පරිවෙණාධිපති වූ හ. එහිදී උඩිස්පත්තුවේ හක්මන විමලසාර හිමියන් යටතේ පාලි, සංස්කෘත, සිංහල යන විෂයයන් හැදෑරූහ. 1956 දී උපනන්ද හිමියන්ගේ ආචාර්යත්වයෙන් මහනුවර අස්ගිරි මහා විහාර උපෝසථාගාරයේ දී උපසපන් දිවියට පත්වූහ. පසුව 1957 දී කොළඹ මාළිගාකන්ද විද්‍යොදය පිරිවෙනට ඇතුළත් ව සිංහල, පාලි, සංස්කෘත හා ඉංගී‍්‍රසි විෂයන් හැදෑරූහ. එකල බද්දේගම පියරතන නා හිමියන් එහි පරිවේනාධිපති වූ අතර කළුකොඳයාවේ පඤ්ඤාශේඛර නාහිමි, රදැල්ලේ පඤ්ඤාලෝක නාහිමි, පල්ලාවෙල සද්ධාතිස්ස නාහිමියන් එහි ආචාර්ය මණ්ඩලයේ වූහ. පසුව විද්‍යොදය පිරිවෙන විශ්ව විද්‍යාලයක් බවට පත්වීමෙන් පසු පිරිවෙන කොළඹ නාලන්දා විදුහලට රැගෙන යන ලදී. එහිදී උන්වහන්සේගේ ජීවිතයේ විශාල වෙනසක් ඇතිකිරීමට සමත්වූ සර්වෝදය නායක ඒ.ටී. ආරියරත්න මහතා එහි ආචාර්යවරයෙකු විය. පසුව සර්වෝදයට එක් වූ ඒ හිමියන් සර්වෝදය පත්‍රයේ කර්තෘ පදවිය ද හෙබවීය. 1962 වසරේ ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය සමත් වූ උන්වහන්සේට පන්නල මහා විද්‍යාලයට පළමු ගුරු පත්වීම ලැබුණි. පසුව පන්නල ලුණුවත්ත විද්‍යාලයටත්, පසුව නුවරඑළිය ශාන්ත ෂේවියර් විදුහලටත් මාරුවීම් ලැබ සේවය කර අනතුරුව තලාතුඔය හේවාහැට මධ්‍ය විද්‍යාලයට ස්ථාන මාරුවී ආ උන්වහන්සේ එහි නියෝජ්‍ය විදුහල්පති තනතුරට පත්විණි. එහි විදුහල්පති ව විසූ රත්නායක මහතා මාරුවීමක් ලැබ ගිය පසු සදදෝ හිමියන් එහි විදුහල්පති තනතුරින් පිදුම් ලැබූහ. මේ අතරතුර පාතහේවාහැට ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි තනතුරට දෙවරක් ම තේරී පත්වූහ. එම කාලය තුළදී ප්‍රදේශයේ දහම් පාසල් පනස්පහක් අලුතින් ස්ථාපිත කරන ලදී. දහම් පාසල් ගුරු පුහුණු කඳවුරු පවත්වනු ලැබී ය. හේවාහැට මධ්‍ය විද්‍යාලයේ ක්‍රීඩාංගණය සංවර්ධනය කර එහි ක්‍රීඩාගාරයක්ද ඉදිකරන ලදී. නුවරඑළිය ශාන්ත ෂේවියර් විදුහලේ සේවය කරන අතරතුරදි බොලෑප විහාරයේ ශී‍්‍ර සුමංගල දහම් පාසලද ආරම්භ කරන ලදී. හපුතලේ සත්කඳුර පුරාණ විහාරාධිපති ව වැඩ විසූ උපනන්ද හිමියන්ගේ අපවත්වීමෙන් පසු එහි අධිපතිත්වයට පත් උන්වහන්සේ එම විහාරයට යාම සඳහා මාර්ගයක් සාදා විහාරස්ථානය වටා ආරක්ෂක බැම්මක් ඝාණ්ඨාර කුළුනක් දානශාලාවක් ඉදිකර එහි කෞතුකාගාරයක් ද ස්ථාපිත කරන ලදී. 1997 දී විශ්‍රාම ලැබූ උන්වහන්සේ මේ දක්වා ප්‍රදේශයේ ශාසනික කටයුතුවලට සහභාගි වෙමින් උපදෙස් දෙමින් නිරෝගී ව විවේක සුවයෙන් වැඩසිටිති.

උන්වහන්සේට දීර්ඝායු පතමු

නවම් මස පුර අටවක පෝය

නවම් මස පුර අටවක පෝය පෙබරවාරි 01 වන දා සෙනසුරාදා අපර භාග 06.11 ට ලබයි. 02 වන දා ඉරිදා අපර භාග 08.03 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම පෙබරවාරි 02 වන දා ඉරිදා ය.

මීළඟ පෝය පෙබරවාරි 08 වන දා සෙනසුරාදා ය.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 02

Full Moonපසළොස්වක

පෙබරවාරි 08

Second Quarterඅව අටවක

පෙබරවාරි 15

Full Moonඅමාවක

පෙබරවාරි 23

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]