[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අවබෝධයෙන් කළ යුතු පැන් පූජාව

ඇල්වතුර වදනට ගෞරවයක් වශයෙන් පැන් යනුවෙන් සඳහන් කරයි. සිසිල් පැන් පූජාව, උණු පැන් පූජාව , එයටම ඖෂධ හෝ යමක් මිශ්‍ර කළ විට ගිලන් පස පූජාව වෙයි.

උදේ කාලයේ ආහාර පාන පූජා කිරීම, හවස් කාලයේ ගිලන් පස පූජාව සිදු කරයි. බුදුරජාණන් වහන්සේට සැඳෑ කාලයේ මල්, පහන්, ගිලන් පස ,උණු ප ැන් , සිසිල් පැන්, දැහැත් ආදී පූජා කරනු ලබයි. ආහාර පාන උදේ දවල් පූජා කරනු ලබයි. දිනපතාම සෑම නිවසක ම ලොවුතුරා බුදුරජාණන් වහන්සේට පිරිසුදු ඇල් පැන් වීදුරුවක් හෝ අඩුම තරමේ පූජා කරන්න.

මෙයට අනූ එක් කල්පයකට පෙර බන්දුමතී නගරයේ අන්‍යයන්ට වතුර ඇද ජීවත් වන පවුලක් වාසය කළා. එක්තරා දිනක මේ දිළිඳු තැනැත්තිය මහ මඟ වැඩම කරන විපස්සී බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේ දුටුවා. ඇයට කිසිවක් පූජා කරන්න නොමැති වුවත් ඇය ඉතා පහන් සිතින් බුදුරජාණන් වහන්සේට ඇල් පැන් පූජාවක් සිදු කළා. ඇය දිනපතා ම විහාරයේ පැන් තැබීම ආදිය ද සිදු කළා. බලන්න, ඇල් පැන් පූජාවේ පිනෙන් මරණින් මතු තව්තිසා දෙව්ලොව දිව්‍ය විමානයක දහසක් දිව්‍යාංගනාවන්ට ප්‍රධාන ව උපත ලැබුවා.

පැන් පූජා කිරීමේ පිනෙන් ඇය වාර විස්සක් ම සක් දෙව් රජතුමාගේ මහේෂිකාව බවට පත්ව උපත ලැබුවා. ඒ අනූ එක් කල්පයකට පෙර කළ පින්කම නිසයි. මේ කල්ප අනූ එකේම ඇය දෙව්ලොව සහ මනුලොව පමණක් ම වාසය කළා. අහසේ හෝ කඳු මුදුනක හෝ කුමන තැනක වාසයක් කළත් , ඇයට ක්ෂණික ව පැන් ලැබුණා. මේ තැනැත්තියගේ සිරුර කිසිදිනක උෂ්ණයෙන් පීඩාවට පත් වුණේ නැහැ. ඇය දිගු කලක් නිරෝගී සම්පත්තියෙන් සුව වින්දා. ලොවුතුරා ගෞතම බුදුන් වහන්සේ ගේ කාලයේ දී මේ තැනැත්තිය පැවිදි වී කෙලෙස් නසා රහත් බවින් නිවනට පත් වුණා. ඇය උදකදාරිකා රහත් මෙහෙණින් වහන්සේ නම් වූවා.

ගිලන්පස පූජාව ගෞරවයෙන්, ශ්‍රද්ධාවෙන්, පිරිසුදුවට සිදු කරන්න. නිරෝගී සම්පත්තිය, දිගාසිරි සම්පත්තිය ලැබෙනවා. කිසි දාක සා පිපාසාදී දුකකට පත් වන්නේ නැහැ.

ගෞතම බුදුන් වහන්සේ භික්ෂූන් වහන්සේ රැසක් පිරිවරාගෙන කොසොල් රට ථූන බමුණු ගමට වැඩම කළා. එහි වෙසෙන බ්‍රාහ්මණවරු, මිථ්‍යාදෘෂ්ටිකයෝ. ත්‍යාගවන්ත නැති තද මසුරු ඇත්තන්. ඒ අය බුදුන් වහන්සේ කෙරෙහි ප්‍රසාදය නැහැ. බුදුරජාණන් වහන්සේගේ දහම රැස්ව සිටින පිරිස පිළිගනීවි යැයි බියෙන් බ්‍රාහ්මණවරු බුදුන් වහන්සේ වැඩම කරන මඟ ගං ඉවුරේ තිබූ යාත්‍රාවන් ඉවත් කර දැමුවා. ඒ දඬු සියල්ල කඩා බිඳ දැමුවා. පැන් තිබූ තැන් සියල්ල ඉවත් කළා. වාසය කළ හැකි ශාලා බිඳ දැමුවා. එක් ළිඳක් පමණක් ඉතිරි කර, අන් සියලුම ළිං වසා දැමුවා. බුදුන් වහන්සේ ඒ අයගේ මේ ක්‍රියාව දැක, අහස් ගමනින් ම ගංගාවෙන් එතෙර ව බමුණුගමට වැඩම කර ගසක් මුල සෙවණේ වැඩ විසුවා. පිඬු පිණිස වැඩම කළ කිසිම නිවසකින් සැලකිල්ලක් දැක්වූවේ නැහැ. බුදුන් වහන්සේ අසලින් පැන් කළ ගෙන යන කිසිම කාන්තාවක් පැන් පූජා කළේ නැහැ. නමුත් එක්තරා දාසියක් බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ගමන් වෙහෙසෙන් විඩාවට පත් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට පැන් කළය පූජා කළා. මගේ ස්වාමියා හෝ ගම් වැස්සෝ මට දඬුවමක් කළත්, මා බුදුන් වහන්සේට පැන් දානය සිදු කරනවා ම යි සිතා ජීවිත පරිත්‍යාගයෙන් ම පැන් පූජා කළා. එහි විශේෂ දෙයක් වුණේ පැන් කළයෙන් කෙතරම් පැන් ගත්තත් එහි පැන් අඩු වුණේ නැහැ. මේ ප්‍රාතිහාර්ය දුටු ඇය පුදුම ප්‍රීතියට පත්ව භික්ෂූන් වහන්සේලාට තව තව පැන් පූජා කළා. බුද්ධ අධිෂ්ඨානයෙන් පැන් කළය අවසන් වූයේ නැහැ. මෙයින් ප්‍රීතියට පත් ඇය පැන් කළය රැගෙන නිවසට පියමන් කළා. නමුත් මේ කතා ප්‍රවෘත්තිය දැනගත් දාසියගේ ගෙහිමියා ඇයට අතින් පයින් පහර දුන්නා. මෙයින් මිය ගිය ඇය තව්තිසා දෙව්ලොව උපත ලැබුවා.

කල්ප වෘක්ෂයක් වැනි අත්‍යාලංකාර විමානයක් පහළ වුණා. විමන වටා රිදීවන් වැලිතලා සහිත නිල් මැණික් කඳක් බඳු ජලය ගලා යන රමණීය ගංගාවක් පහළ වුණා. විමානය ඉදිරිපිට ගංගාවේ පංච වර්ණ පද්ම අසිරිමත් වූවා. ස්වර්ණ නෞකාවක් පහළ වුණා. එයට හේතු වුණේ මනු ලොව පූජා කළ පැන් කළයේ පින යි.

බමුණු ගමේ වාසය කළ බුදුන් වහන්සේට නැවත පිපාසය දැනී ආනන්ද ස්වාමීන් වහන්සේට පැන් ගෙන එන්නැ’යි වදාළා. නමුත් සියලුම ළිං වසා දමා ඇති බව ආනන්ද තෙරුන් වහන්සේ බුදුන් වහන්සේට දැනුම් දුන්නා. නැවත පැන් ගෙන එන්නැ’යි වදාළ විට නැවතත් ළිඳ කරා ගිය ආනන්ද ස්වාමීන් වහන්සේ ට ආශ්චර්යමත් දෙයක් දක්නට ලැබුණා. ළිඳ දෙසට දිගු කළ පාත්‍රය පැනින් පිරී ගියා. ළිඳ වසා දැමූ කොළ රොඩු ආදිය ඉවත් ව පිරිසුදු පැන් ලැබුණා. ළිඳෙන් ඉතිරී ගිය ජලයෙන් ගමේ පහත් බිම් යට වූවා. මෙයින් බියට පත් බමුණු ජනතාව බුදුන් වහන්සේගෙන් සමාව රැගෙන පිහිට පතා පැමිණියා. ඒ ඇත්තන් පසුව බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දාන මාන ආදිය ලබා දුන්නා. මෙහිදී පෙර පැන් පූජා කළ දෙවඟන දෙව් ලොව සිට පැමිණ තමන් ලැබූ සම්පත් ගැන බොහොම සතුටෙන් පැවසුවා. මෙහිදී බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය අසා දෙවඟන සෝවාන් ඵල ලැබුවා. පැමිණ සිටි බ්‍රාහ්මණ පිරිස විශාල ධර්මාවබෝධයක් ලැබුවා.

මේ ගැන සිතා කවුරුත් වැඩි වැඩියෙන් පින් ද හම් කර සීලා දී ගුණ දියුණුවෙන් , උදේ , සවස බුදුන් වහන්සේට සිත ප්‍රසන්න බවෙන් පැන් වීදුරුවක් , ගිලන්පස වීදුරුවක් පූජා කරන්න. මෙයින් සසර වසන තුරු සැප විපාක ලැබිය හැකි යි. ලබා ගත් බුද්ධ ශාසනයේ ජීවිත පරිත්‍යාගයෙන් යුක්තව තුනුරුවන් සරණ ලබා, පන්සිල්, අටසිල් රැකගෙන , දාන මාන පූජා කරන්න. අඩුම තරමේ පැන් වීදුරුවක් හෝ පූජා කරන්න. එයමයි තමන්ගේ සංසාර විමුක්තිය, එයම යි තමන්ගේ සංසාර වාසනාව.

නවම් මස පුර අටවක පෝය

නවම් මස පුර අටවක පෝය පෙබරවාරි 01 වන දා සෙනසුරාදා අපර භාග 06.11 ට ලබයි. 02 වන දා ඉරිදා අපර භාග 08.03 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම පෙබරවාරි 02 වන දා ඉරිදා ය.

මීළඟ පෝය පෙබරවාරි 08 වන දා සෙනසුරාදා ය.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 02

Full Moonපසළොස්වක

පෙබරවාරි 08

Second Quarterඅව අටවක

පෙබරවාරි 15

Full Moonඅමාවක

පෙබරවාරි 23

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]