[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නිදහස හා සහජීවනය

නිදහස හා සහජීවනය


මෙලොව උපන් සෑම සත්ත්වයෙකුට ම උපතින්ම යම් නිදහසක් උරුම වී තිබේ. ජීවත්වීමේ නිදහස ඉන් පළමුවැන්න යි. අනවශ්‍ය බැඳීම්, යටත්වීම් සහ පීඩනයන්ගෙන් තොරව නිදහසේ ජීවත්වීමට සැවොම පි‍්‍රය කරති. නිදහස තනි පුද්ගලයෙකු වශයෙන් හා පවුලක සාමාජික පිරිසක් වශයෙන් භුක්ති විඳීම එහි මූලික අවස්ථාව ලෙස දැක්විය හැකි ය. එය සාමූහික ව රටක්, ජාතියක් ලෙස භුක්ති විඳීම නිදහසේ පොදු අවස්ථාව ලෙස දැක්විය හැකි ය.

සියලු සත්ත්ව වර්ගයා ජීවත්වනුයේ එකම සමාජය ඒකාකාරී රාමුවක් තුළය. එක් මිනිස් වර්ගයක නිදහස පිළිබඳ යම් යම් සීමාවන් පැනවීම හෝ නිදහස සහමුලින්ම අහෝසිකර දැමීම මානුෂික වශයෙන් මෙන් ම සදාචාරාත්මක වශයෙන් කිසිදු හේතු යුක්ති සහගත ක්‍රියාවක් නො වේ. ලොව ජීවත්වන සියලු සත්ත්ව වර්ගයාට උත්තරීතර මානව නිදහසක් උදාකරදීම සඳහා වු සර්වකාලීන හා සර්ව භෞමික ඉගැන්වීමක් පළමුවෙන් ම ලෝකයාට ඉදිරිපත් කළේ බුදුරජාණන් වහන්සේ ය. ප්‍රාග් බෞද්ධ හා බුද්ධකාලීන භාරතීය සමාජ පසුබිම පිළිබඳ විමසා බැලීමේ දී එකල මිනිසුනට යටත් පිරිසෙයින් ජීවිතය පවත්වාගෙන යාමටවත් කිසිදු නිදහසක් උරුමව නොපැවතුණි. බමුණන් විසින් වර්ග කරන ලද චතුර්වර්ණය පදනම් කරගෙන එකල සමාජය සකස්ව තිබුණි. “බ්‍රාහ්මණ. ක්ෂත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර යනු එම චතුර්වර්ණයයි. මෙම වර්ගීකරණයට අනුව බමුණන් පූජකයන් හා ගුරුවරුන් ලෙස ද, රජුගේ උපදේශකවරුන් ලෙස ද පෙනී සිටි අතර මිනිස් සමාජය උසස් පහත් වශයෙන් මහා බ්‍රහ්මයා විසින් මවන ලදැ යි යන්න ඔවුන් ගේ නිසැක පිළිගැනීම විය. ක්ෂත්‍රිය වංශිකයනට රාජ්‍ය පාලන තන්ත්‍රය මෙහෙයවීමත්, කෘෂි කර්මාන්තය කරවීමත්, යාග කරවීමත් නියමිත ව පැවතිණ. වෛශ්‍යයනට වාණිජමය කටයුතු පැවරී තිබුණු අතර ශුද්‍ර වංශිකයාට උරුම වූයේ පුර්වෝක්ත වර්ණත්‍රයට බැලමෙහෙවර කිරීමයි. මෙකී වර්ණත්‍රයට උරුම වූ මිනිස් අයිතිවාසිකම් කිසිවක් ඔවුනට උරුම නො වී ය.

එමතු නොව, තත් යුගය වන විට භාරතීය සමාජයේ කාන්තාවනට හිමිවූයේ ද ඉතා පහත් තත්ත්වයකි. ශුද්‍රයිනට සේ ම සාමාන්‍ය මිනිස් අයිතිවාසිකම් වූ ඉගෙනීම හා ආගමික කටයුතුවල යෙදීම ආදි කටයුතු පවා ඔවුනට අහිමි විය. රටේ පවත්නා පොදු නීති පවා කාන්තාව සම්බන්ධයෙන් වෙනස් වූ අතර එදා සමාජයේ කාන්තාවක මැරීම, පිරිමියෙකු මැරීම තරම් බරපතළ ක්‍රියාවක් නො වේ ය, යන අදහස ද මුල්බැසගෙන පැවතිණි. එබැවින් එකල ස්ත්‍රියක වී ඉපදීම ද බරපතළ පාපයක් සේ සැලකීය. මෙසේ සකස්ව පැවැති විෂම සමාජ රටාවෙහි පවත්නා නිස්සාරත්වය මනාව මහජනයාට තේරුම් කරදුන් බුදුරජාණන් වහන්සේ උපතින් කෙනෙකු බ්‍රාහ්මණයෙකු හෝ වසලයෙකු නොවන බවත්, එය පුද්ගල ක්‍රියාකාරකම් මත තීරණය වන බවත්, තර්කානුකූල ව පැහැදිලි කළහ. ඒ ඇතුළු මිනිස් සමාජයේ නිදහස වෙනුවෙන් උන් වහන්සේ සිදුකළ දේශන සියල්ල මංමුලා වු ජන සමාජයකට නිසි මග පෙන්වාදීමක් විය.

බුදුරදුන් දේශනා කළ ශී‍්‍ර සද්ධර්මය ශ්‍රී ලාංකාවාසීන්ට හඳුනා ගැන්මට ලැබුණේ ක්‍රි.පූ. 3 වන සියවසේ දී නොහොත් බුද්ධ වර්ෂ 236 දී සිදු වු මහින්දාගමනයෙන් පසුවයි. එවකට ලාංකේය පරිසරයේ සැකැස්ම ද ප්‍රාග් බෞද්ධ හා බුද්ධකාලීන භාරතීය බ්‍රාහ්මණ ඒකාධිකාරිය තරම් ම දරුණු මට්ටමක නොපැවතිය ද එහි යම් යම් කොටස් ශේෂව පැවති ස්වභාවයක් පෙන්නුම් කළැයි පිළිගත හැකි ය. මෙලොව පරලොව උභයාර්ථ සංසිද්ධිය කෙසේ සලස්වා ගත යුතු දෑ යි යන්න පිළිබඳ අල්පමාත්‍ර දැනුමක් හෝ නොතිබුණු ජන සමාජයකට මානව නිදහස පිළිබඳ පැවතියේ ද කිසිවෙකුටත් හිතකර නොවූ සංකල්පයන් ය. එම සංකල්පනාවන්ට නව අරුතක් එක් කිරීම තුළින් රටට උදාවූයේ, පෙර කිසිදා නොවූ විරූ ආලෝකයකි.

මිහින්තලා පර්වතය අසල දී මිහිඳු මහරහතන් වහන්සේ විසින් දෙවනපෑතිස් රජුට දේශනා කළ එක් දහම් පණිවුඩයක් මෙසේ ය.

“මහ රජ , ඔබට මෙන්ම ගුවනේ සැරිසරන පක්ෂීන්ට ද වන සතුන් ට ද මේ රටේ ඕනෑම තැනෙක නිදහසේ ජීවත්වීමේ හා ඔබ මොබ යාමේ සම අයිතිය ඇත. පොළොව රටවැසියාට සහ අනෙකුත් සතුන් ද අයිති වන අතර ඔබ එහි භාරකරු පමණෙකි.

මෙලෙස සත්ත්වයා ගේ නිදහස පිළිබඳ ඉහළම වැටහීමක් ලබාගත් මෙ රට ජනයා ගේ බුද්ධිය, ක්‍රියාකාරිත්වය හා යහපත් වූ අන්තර්පුද්ගල සබැඳියාව ඉතා ඉහළම මට්ටමකින් පෝෂණය වූවාක් සේ ම නිදහස් චින්තනයේ අඩිතාලම සියවස් ගණනාවක් පුරාවටම නොසිඳී, නොකැඩී රඳා ගැන්මෙහි ද හැකියාව ලැබිණ.

මෙ රට ජනතාව ගේ චිත්ත සන්තානය තුළ තදින්ම පැලපදියම් වූ මෙකී හැදියාව නොපිටට පෙරලී ගියේ යුරෝපීය ධන කුවේරයින් මෙ රට ආක්‍රමණයෙන් පසු ඇති කළ සමාජ පරිවර්තනයත් සමඟ ය . විවිධ ආක්‍රමණිකයන් ගේ බලපෑම්වලට ලක් වූ අප ඉතිහාසයේ එක් යුගයක පරාධීන ජාතියක් ව සිටීමට සිදුවීම ජාතියක් ලෙස අත්විඳ ිඅවාසනාවන්ත සිදුවීමක් ලෙස පෙන්වාදිය හැකිය. ඒ තුළ දේශීය සංස්කෘතිය වෙනුවට බටහිර අනුකරණශීලි සමාජ රටාව ලක්දිව පුරා ව්‍යාප්ත වන්නට විය. තවමත් එහි යම් යම් ශේෂයන් පවතිනු දක්නට ලැබීම අභාග්‍ය සම්පන්න තත්ත්වයකි.

සියවස් කිහිපයක් පරාධීන ව සිටින රටක් තව දුරටත් පරාධීනත්වයට ම ඇද වැටෙන්නේ නම් ඔවුනට ස්වාධීනත්වය පිළිබඳ ඇතැම්විට කිසිදු හැඟීමක් ඇතිවිය නො හැකි ය. ඔවුනට ස්වාධීනත්වයෙහි ස්වරූපය පිළිබඳ ඇත්දැකීම් බිඳකුදු නොමැති හෙයිනි. නමුත් 1505 දී මෙරට ප්‍රථම පෘතුගීසි ආක්‍රමණිකයා වන ලොරෙන්සෝ ද අල්මේදාගේ පැමිණීමට පෙර වසර දහස් ගණනක් තිස්සේ ස්වාධීනත්වයේ හා සාමකාමී ජීවන රටාවක අත්දැකීම් මෙ රට ජනතාව අත්විඳ ඇත්තාහ. එබැවින් පැවති නිදහසට එරෙහි විකල්ප බලවේග පැමිණීම හමුවේ අප රටවාසීහු එකී බලවේගයන්ට එරෙහිව නැගී සිටිය හ. නැගී එන දේශානුරාගයෙන් හා නිදහස ලබා ගැනීමේ පරම පවිත්‍ර අපේක්ෂාවෙන් යුත් මනසින් හෙබි අප ශ්‍රේෂ්ඨ මුතුන් මිත්තෝ, දැයේ නිදහස හා ස්වාධීනත්වය අහිමි කළ අධිරාජ්‍යවාදයට එරෙහිව ඍජුවම ක්‍රියා කළහ . එම ශ්‍රේෂ්ඨ ලංකාපුත්‍ර නාමාවලියෙහි අප දන්නා වාරියපොළ ශ්‍රී සුමගංල අනු නා හිමි, කුඩා පොල හිමි, හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි යනාදී අග්‍රගණ්‍ය යතිවරයන් වහන්සේලා ද කැප්පෙටිපොල නිලමේ, ගොංගාලේගොඩ බණ්ඩා. වීර පුරන්අප්පු යනාදී විරුවෝ ද මුල්තැනක් හිමිකර ගනී. එමෙන්ම මෙම නාමාවලියට ඇතුළත් නො වුණ ද ඉතිහාසය තූළ සැඟව ගිය දහස් ගණනක් හෙළවිරුවෝ වූ හ.

එමෙන්ම මහත් සේ පරිශ්‍රමයක් දරා දිනාගත් නිදහස විවිධ මතිමතාන්තර තුළින් දිනා ගැනීමට ද ඇතැම් බුද්ධිමත් නායකයෝ ප්‍රයත්න දැරූහ. එම පරම්පරාවට මහාමාන්‍ය ඩී.එස්. සේනානායක, එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක, එෆ්. ආර්. සේනානායක, ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන්, ටී.බී, ඡායා, යනාදි නායකයෝ පෙරමුණ ගත්හ. තව ද දේශීයත්වය හැර පියා බටහිර අනුකරණශීලි ගැත්තන් වෙමින් ක්‍රියා කළ සිංහල කලු සුද්දන් වෙතින් දිනෙන් දින පලා යමින් පැවැති දේශීයත්වය නැවත ඇති කිරීම සඳහා මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි ,ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි , අනගාරික ධර්මපාලතුමා, වලිසිංහ, හරිශ්චන්ද්‍රතුමා , පියදාස සිරිසේන යනාදි බුද්ධිමත්හු පියවර ගත්හ.මෙම පුනරුදයේ අවසාන වූයේ අපට අහිමි කළ නිදහස වර්ෂ 1948 දී අප වෙත ලබා ගැනීමට හැකිවීම යි.

1948 පෙර රටට නිදහස දිනා ගැනීම සඳහා සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ආදි වශයෙන් බෙදීමක් නොකර ශ්‍රී ලාංකිකයන් ලෙස එක්ව කටයුතු කළ අප නිදහසින් පසු බරපතල ලෙස වෙන් වී ගියේ හුදෙක් ජාති, කුල, ආගම් පක්ෂ, පළාත් වශයෙන් සලකන භේදභින්න ව ක්‍රියා කිරීම නිසයි. එවැනි අදහස් තුළින් කිසියම් සමාජයක මූලික මිනිස් අයිතිවාසිකම් පැහැර හැරීමට හෝ යටපත් කිරීමට යමෙකු ක්‍රියා කළ හොත් එය බෞද්ධ සහජීවනයට බරපතළ හානියකි. සෑම දෙනෙකුම එකම මිනිස් වර්ගයකට අයත් ඒකාකාරී පැවැත්මක් ඇතිව ජීවත්වන පිරිසක් බව වටහාගෙන බුද්ධිමත් ව ක්‍රියා කිරීම අන්‍යොන්‍ය යුතුකම් වර්ධනය වීමට හේතු වේ.

වෙනත් සත්ත්ව වර්ගයා අතර ජීව විද්‍යාත්මක ව වෙනස්කම් දැක්වීමට බොහෝ සාධක පැවතිය ද මිනිසා පිළිබඳව එබඳු වෙනස්කම් දැක්විය නොහැකි ය. බුදුදහමෙහි සාධක රාශියක් මගින් දක්වා තිබේ. ඒ අතර මිනිසුන්ගේ සිරුරු, වෙන් වෙන් වශයෙන් ගත් කල වෙනසක් නැති බවටත්, ලිංග, ජාති වශයෙන් සමානත්වයක් ඇති බවටත්. මජ්ක්‍ධිම නිකායේ වාසෙට්ඨි සූත්‍රයේ සඳහන් වන කරුණු ඉතා වැදගත් ය.

සාමයෙන් හා සහජීවනයෙන් ජීවත්වීමට නම් සියලු ආගම් ඇදහිය යුතු යැයි යමෙකු අදහස් කළ හොත් එය සහමුලින් ම වැරැදි සහගත බව ද තේරුම් ගත යුතු ය. සියලුම ආගම් ඇදහීම උමතු ස්වභාවයක් මිස ආගමික සහජීවනය නො වේ. වෙසක් පොහොයට අන්‍ය ආගමිකයෝ, වෙසක් පහන් කූඩු තනති. තොරණ ඉදි කිරීමට සහය වෙති. ආධාර උපකාර කරති. දන්සැල් දෙති. බෞද්ධයෝ ද අන්‍ය ආගමිකයන්ගේ, අන්‍ය ජාතීන් ගේ උත්සවවලට උදව් උපකාර කරති. තම නිවෙස් හෝ ආයතන හෝ වෙනුවෙන් සරසති. එසේම පන්සලේ, ධර්ම ශාලාව හෝ ප්‍රජා ශාලාව ඔවුන්ගේ සමාජ සේවා රැස්වීම් ආදිය සඳහා ලබා දෙති. සහජීවනයේ සැබෑ ලක්ෂණය වන්නේ අන්‍යයන් ගේ ආගම හෝ සිරිත් විරිත් නමනුත් අනුගමනය කිරීම නොව ඔවුන්ගේ ආගම ඇදහීමට හා ඔවුන්ගේ සිරිත් විරිත් ඔවුන්ට පවත්වාගෙන යාමට බාධා නො කිරීමයි. සිංහල බෞද්ධයා පෙර සිටම මෙම පිළිවෙත අනුගමනය කළේ ය. අන්‍යෝන්‍ය සුහදත්වයෙන් යුතුව අනුගමනය කරන මෙම උතුම් පිළිවෙත ආගමික සහජීවනය යි. සිංහලකමත්, බෞද්ධකමත් යනු එය යි.

නවම් මස පුර අටවක පෝය

නවම් මස පුර අටවක පෝය පෙබරවාරි 01 වන දා සෙනසුරාදා අපර භාග 06.11 ට ලබයි. 02 වන දා ඉරිදා අපර භාග 08.03 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම පෙබරවාරි 02 වන දා ඉරිදා ය.

මීළඟ පෝය පෙබරවාරි 08 වන දා සෙනසුරාදා ය.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 02

Full Moonපසළොස්වක

පෙබරවාරි 08

Second Quarterඅව අටවක

පෙබරවාරි 15

Full Moonඅමාවක

පෙබරවාරි 23

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]