[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 අවතක්සේරුවට ලක්කරන දුර්මත එපා

අවතක්සේරුවට ලක්කරන දුර්මත එපා


මීට සති කිහිපයකට පෙර හොරොව්පතාන ප්‍රදේශයෙන් කනගාටුදායක සිදුවීමක් වාර්තා වුණි. සාමණේර භික්ෂූන් වහන්සේට හිංසා කරන දර්ශනයක් බොහෝ මාධ්‍යවලින් ඉදිරිපත් කෙරිණි.

ඒ හා සමඟ මේ පිළිබඳ ව මාධ්‍ය ප්‍රකාශ, ප්‍රවෘත්ති ප්‍රකාශයට පත් කෙරිණි.

ඒ අනුව සමාජය තුළ යම් කතිකාවක් ගොඩනැගී තිබේ. සාමණේර භික්ෂූන් වහන්සේ ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් යම් ක්‍රියාකාරී වැඩපිළිවෙළක් සංවිධානය කළ යුතු බවට සංඝ සංවිධාන අතරත්, නිකාය අතරත් දැනට සාකච්ඡා කෙරෙමින් පවතී. කුඩා වියේ දරුවන් පැවිදි කිරීම මෙවැනි හිංසා පීඩාවන්ට, අඩම්තේට්ටම්වලට හේතුවන බවට තවත් පිරිසක් සිය මතය සමාජගත කරන්නේ මේ අතරවාරයේ ය. කනගාටුවට කරුණ ඒ අතර උගත් මහාචාර්යවරුන් ද සිටීම ය. ඔවුන් අවධාරණය කරන්නේ ළමාවියේ පැවිද්ද නැවැත්විය යුතු බවත්, බුදුරජාණන් වහන්සේ පවා කුඩා ළමයින් පැවිදි කිරීමට අවසර නො දුන් බවත් ය. ඔවුහු සිය මතය තහවුරු කරනු පිණිස අදාළ ප්‍රකාශ තුළ, සාමණේර භික්ෂූත්වයට එක් කරනවා නම්, වයස අවුරුදු පහළොවට අඩු පිරිමි දරුවන් පැවිදි නො කරන ලෙසට බුදුරජාණන් වහන්සේ මහා වග්ගපාලියේ දී දේශනා කොට ඇති බවට තොරතුරු ඉදිරිපත් කරති.

එලෙස පැවිද්ද අවතක්සේරුවට ලක්කරමින් ඔවුන් සඳහන් කරන්නේ එය නීති විරෝධී, ධර්ම විරෝධී, විනය විරෝධී ක්‍රියාවක් වන බවට ය. මේ අදහස ම ධර්මය විකෘති කිරීමකි. ධර්මානුකූලව, ළමා පැවිද්ද කිසිසේත් ම ප්‍රතික්ෂේප කළ නො හැකි ය. සම්බුද්ධ දේශනාවෙහි සඳහන් වන්නේ,

යො හවෙ දහරො භික්ඛු
යුඤ්ජථ බුද්ධ ශාසනෙ
සො ඉමං ලොකං පභාසෙති
අබ්භා මුත්තො ව චන්දිමා

කුඩා වුව ද යම් කුල දරුවෙක් පැවිදි දිවිය ට ඇතුළත් ව, පැවිද්ද ආරක්ෂා කරන්නේ නම්, උන්වහන්සේ ආකාශයේ බබළන චන්ද්‍රයා සේ ලෝකය එළිය කරන බව ය. බුදුරජාණන් වහන්සේ වුව ද, තමන් වහන්සේගේ බෝසත් අවධියේ රාහුල පුත් කුමරු, පැවිදි කරන ලෙස සැරියුත් මහ රහතත් වහන්සේට නියම කළේ රාහුල කුමරුට වයස අවුරුදු හතේ දී ය. ඒ වගේම සුනීත, සෝපාක වැනි බොහෝ කුඩා දරුවන් පැවිදි දිවියට ඇතුළත් කළහ. අවධාරණය කර තිබෙන්නේ තමන්ගේ ආරක්ෂා ව පිළිබඳ ව යමක් කළ හැකි, එනම් තමන් වෙතට එන කපුටෙක් එළවා ගන්නට හැකි වයසේ, මානසික ශක්තියෙන් වැඩුණු දරුවෙක් පැවිදි කිරීම වරදක් නො වන බව ය. වැඩිහිටි වුව ද මානසික ශක්තිය නො වැඩුණු පිරිස් ද සමාජයේ වෙති.

අප ලද අත්දැකීම් අනුව, ලොව දකින්නට ඇති දේ අනුව වඩාත් සාර්ථක කුඩා කාලයේ සිට පැවිදි වී ගතකරන ශාසනික ජීවිතය යි. වයස්ගත වී පැවිදි වන තැනැත්තා හැඳින්වෙන්නේ ‘වුඩ්ඪ පබ්බජිත’ නාමයෙනි. එය එතරම් සම්භාවනීය නැත. කුඩා වියේ සිට, පැවිද්දට පෙර පොත පත කියවා, දැනුමෙන් සන්නද්ධව, ශාසනික ජීවිතයට හුරුවීමය වඩාත් සාර්ථක වනුයේ. මෑත යුගයේ වුව ද සසුන් කෙත බැබළ වූ හේන්පිටගෙදර ඥානසීහ නායක හාමුදුරුවෝ ,බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නායක හාමුදුරුවෝ, ඉඳුරුවේ උත්තරානන්ද මහ නාහිම වැනි මේ මහා පඬිවරු වර්තමානයේ නම්, කොටුගොඩ ධම්මාවාස මහානායක හාමුදුරුවෝ වැනි යතිවරයන් වහන්සේලා ධර්මධර, විනයධර, වියත් යතිවරයන් වහන්සේ ලෙස සසුන් වැඩ සදන්නේ කුඩා වියේ සිට ම සසුන් කෙත සරු කරමින් ලද පුහුණුව තුළිනි.

නූතනයේ ඇතැම් උගතුන්, මහාචාර්යවරුන් මෙවැනි අධාර්මික මත ප්‍රකාශ කරන්නේ, ළමා අයිතීන් පිළිබඳ ව කතා කරන්නේ බටහිර දැනුම මුල් කරගෙන ය. බටහිර ආචාර ධර්ම මුල්කරගෙන ය. බටහිර ආචාර ධර්ම අපට ගැළපෙන්නේ නැත. බටහිර ආචාර ධර්ම අනුව නම් ළමයා කැමැති ඕනෑම දෙයක් කරන්නට ළමයාට නිදහස ඇත. එහෙත්, අපගේ සංස්කෘතියෙහි එවැනි නිදහසක් නැත. දරුවන් මෙහෙයවිය යුතු, ඔවුන්ට හොඳ නරක කියා දිය යුතු වැඩිහිටියන් විසිනි. ‘පාපා නිවාරෙන්ති’ , ‘කල්‍යාණෙ නිවෙසෙන්ති’ ලෙස දරුවන් පවින් මුදවාගත යුතු බවට, යහපතෙහි යෙදවිය යුතු බවට බුදු දහමෙහි අවධාරණය කොට ඇත.

දරුවන්ට හොඳ දෙය, නරක දෙය තෝරා බේරා දිය යුතු මව්පිය, ගුරුවර, වැඩිහිටියන් විසිනි. එහිදී දරුවන්ට තමන් කැමැති දෙය කරන්නට නිදහසක් නො ලැබේ. එය බටහිර ක්‍රියාත්මක විකාර රූපී නිදහසකි. අපගේ චාරිත්‍රය දරුවාට හොඳ – නරක තීරණය කිරීම යි.දරුවාගේ ආහාරපාන, අධ්‍යාපනය තීරණය වන්නේ මව්පිය කැමැත්තට අනුව ය. එය ළමයාට කරන සදාචාරයක් මිස අපචාරයක් නොවේ. ඒ ළමයා කෙරෙහි ගරුත්වයෙන්, ආදරයෙන්, අවබෝධයෙන් හා හැඟීමෙන් ගනු ලබන තීරණයන් ය.

එයයි බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරා තිබෙන්නේ. එපමණක් ද නොවේ. කුඩා දරුවන් හික්මවීමට, ශික්ෂණය කිරීමට සම්බුදු දහම තුළ ද ශික්ෂාපද හඳුන්වා දී ඇත. යම් හෙයකින් දරුවා ඉන් බැහැරව අයහපතෙහි යෙදෙන්නේ නම් දිය යුතු දඬුවම් ක්‍රමද නියම කර ඇත. ඒ දරුවා පීඩාවට පත් කරන කායික හිංසන නොවේ. සිතට දැනෙන ආකාරයේ දඬුවම් ය.

අලුත් උගතුන් පවසන ලෙස ළමා වියේ, මල් කැකුළු වැනි දරුවන් පැවිදි කිරීම ළමා හමුදාවට බඳවා ගැනීමක් ළමයින් සේවයේ යෙදවීමක් හා සම ය. මෙය සම්පූර්ණයෙන් ම වැරැදි අදහසකි. සම්බුද්ධ ශාසනයෙහි පැවිද්දට දරුවන් ඇතුළත් කර ගන්නේ බලහත්කාරයෙන් නොවේ. ළමයින් පැවිදි දිවියට ඇතුළත් වන්නේ සියයට සියයක් ම තමන්ගේ කැමැත්තෙනි. මව්පියන්ගේ ද අනුදැනුමෙනි.මව්පියන් ගේ සහ දරුවාගේ අකැමැත්තෙන් භික්ෂූත්වය ලබා දීමට කිසිදු ඉඩක් නැත.

සම්බුදු දහමෙහි, ආරාමික ජීවිතයෙහි සුවිශේෂත්වයක් වේ. ඒ බලහත්කාරයක් නැතිකමයි.

කැමැත්තෙන්, එනම් ස්වඡන්දතාවයෙන් පැවිද්දට එන අතර, ඉන්පසු ඕනෑම වෙලාවක උපැවිදි වීමේ නිදහස ද ඇත. කුඩා දරුවෙක් මුල දී තමන් පැවිදිවනවා යැයි ගත් තීරණය, පසුව ප්‍රතික්ෂේප කරනවා නම් ඕනෑම අවස්ථාවක උපැවිදි විය හැකි ය. ඊට කිසිදු තහනමක් නැත. එපමණක් ද නොවේ. උපසම්පදාවෙන් පසුවද, වයස අවුරුදු තිහ, හතළිහක් වුව ද අවශ්‍ය ඕනෑම වේලාවක ශාසනික ජීවිතයෙන් ඉවත්වීමේ අයිතිය තමන්ට තිබේ. ශාසනික ජීවිතය කිසිදු විටෙක බලහත්කාරයෙන් පවත්වාගෙන යන්නක් නොවේ.

අවිධිමත් , අවිචාරවත් මත ඉදිරිපත් කරන්නට පෙර අලුත් උගතුන් එය තේරුම් ගත යුතු ය. ළමා පැවිද්ද ළමයා කෙරෙහි ආදරයෙන්, යහපත වෙනුවෙන් සිදු කෙරෙන්නකි. එය බුදු දහමට එකඟ වූ ධාර්මික වූ වැඩ පිළිවෙළකි. එමෙන්ම පැවිදි වීමේ දී කුඩා දරුවාට පිය කෙනෙකු හා සම වන්නේ ආචාර්යයන් වහන්සේ යි. නිවසින් පැමිණි දරුවාට අම්මාගේ, තාත්තාගේ රැකවරණය ලබා දෙන්නේ උන් වහන්සේ ය. එමෙන් ම උපාධ්‍යායන් වහන්සේ ද දරුවා රැක බලා ගනී. දායක කාරකාදීන් ද ඒ වගකීමෙන් කිසිවිටෙක නිදහස් නොවේ.

එමෙන් ම කුඩා දරුවන් පැවිදි කිරීම ශාසනයේ දියුණුවටත්, සමාජයේ දියුණුවටත් හේතුවෙයි. යම් කෙනෙක් ඊට එහා ගිය, වෙනස් අදහසක් ඉදිරිපත් කරනවා නම් එය සම්පූර්ණයෙන් ම ධර්මය විකෘති කිරීමකි.

වප් පුර අටවක පෝය

වප් පුර අටවක පෝය ඔක්තෝබර් 05 වනදා සෙනසුරාදා පූර්ව භාග 09.50 ට ලබයි. 06 වනදා ඉරිදා පුර්ව භාග 10.54 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 05 වනදා සෙනසුරාදා ය.

මී ළඟ පෝය ඔක්තෝබර්
13 වනදා ඉරිදා ය.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 05

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 13

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 21

Full Moonඅමාවක

ඔක්තෝබර් 27

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]