[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

වප් පුර අටවක 2019.10.05

කෘත ගුණ පූජා අගයමු සැමදා


අනුබුදු මිහිඳු මා හිමියන්ගේ අසිරිමත් ලංකාගමනයත් සමඟ ආධ්‍යාත්මික ගුණ ධර්මයන්ගෙන් සුපෝෂිත ශිෂ්ටාචාරවත් ජන සමාජයක මූලාරම්භය සනිටුහන් වුණි. රජ මාලිගයේ සිට දිළිඳු පැල්පත දක්වා හමා ආ මිහිඳු මා හිමි ගුණ සුවඳින් ජන දිවි මඟ සුගන්ධවත් වුණි.

ප්‍රාණඝාතයෙහි ආදීනව නො දත් ජන සමාජයක් තුළ සතා සීපාවාගේ සිට ජීවත්වීමේ අයිතිය සුරක්ෂිත වූ අතර, ගහකොළ ද සුරැකිණි. කුරා කුහුඹුවකුටවත් කරදරයක්, හිංසාවක් නොකරන තරමට අවිහිංසාව සුරක්ෂිත වුණි. භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා සිව්වනක් පිරිසගෙන් යුතු සමාජයක් නිර්මාණය විය. ඒ තුළ වැවත්, දාගැබත්, ගමත්, පන්සලත් සංකල්පය ඉන්ද්‍රඛීලයක් සේ ස්ථාපිත වුණි.

ඒ අසිරිමත් සංකල්පය අර්ථවත් කරමින් ගමේ විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් අධ්‍යාපනික, ආර්ථික, දේශපාලනික, සමාජයීය හා සංස්කෘතිකා දී සෑම අංශයක ම නව ප්‍රබෝධයක් ඇති වුණි. ලෝකයා විශ්මයට පත් කරවන, අදටත් දෘෂ්‍යමාන සයුරු පරදන මහා වැව් අමුණු, චිත්‍ර, මූර්ති, කැටයම්, ප්‍රතිමා බුදු දහමින් සුපෝෂිත වූ අපේ පැරැණ්නන්ගේ දැහැමි සිතිවිලිවල ප්‍රතිමූර්තීන් නො වන්නේ ද?

සූ සැටභරණින් සැරසුණ කාන්තාවකට දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා පා ගමනින් තනිමග ගියද, ඇයට නිරුපද්‍රිතව ගමනාන්තය දක්වා යන්නට හැකිවූයේ කාන්තාවට, මවට තිබූ සමාජ ගරුත්වය නිසා ය. පංචශීලය නිත්‍ය ශීලය කරගත් සමාජය තුළ බිය සැක තුරන් විණි. මෙසේ සමගිය, සාමය, එකමුතුකම, සතුට, සශ්‍රීකත්වය හා බැලූ බැලූ අත දිස් වූ ශ්‍රී විභූතියෙන් සාඩම්බර ජාතියක් ගොඩනැඟීම පිළිබඳව කෘතෝපහාරය හිමි වන්නේ අනුබුදු මිහිඳු මා හිමියන්ට ය.

කලින් කල රජ පැමිණි රජ දරුවන්ගේ මෙහෙයවීමෙන් අනුබුදු මිහිඳු හිමි ගුණ සැමරීම කෘතගුණ දන්නා ජාතියක මහිමය ලොවට ම කියාපාන්නකි. අඩ සියවසකට ආසන්න කාලයක් ලක් ධරණීතලයෙහි ධර්මය ප්‍රචාරය කරමින් උන්වහන්සේ කළ සේවාව සිහිපත් කරමින් කෘතෝපහාර දක්වනු පිණිස අනුබුදු මිහිඳු හිමි පරිනිර්වාණ සමරු පින්කමක් උසස් අයුරින් සංවිධානය කිරීමට වර්තමානයේ දීත් කටයුතු කිරීම පැසසුම් කටයුතු ය. බාල පරම්පරාවට අපේ අතීත උරුමය නැවත කියවීමට සැලැස්වීමත්, අනාගතය වෙනුවෙන් ඒ උරුමයන් ආරක්ෂා කිරීම පිළිබඳව හැඟීමක්, අවධානයක් ඇති කිරීමටත් එමඟින් හැකිවනු ඇත.

මෙහි දී බොදු ජනතාව ද සිය අවධානය යොමු කළ යුතු කරුණක් තිබේ. බෞද්ධයෙක් ලෙස තමන් අවංකව ම මිහිඳු හිමි හඳුන්වා දුන් සදහම් මග යනවාද යන්න පිළිබඳව ය. සෑම බෞද්ධයෙක් ම පාහේ දිනකට එක් වතාවක් හෝ තෙරුවන් ගුණ සිහිකර පංචශීලය සමාදන් වීම සාමාන්‍ය ය. එහෙත් පංච ශීලය ආරක්ෂා කරන්නෝ සීමිත ය. දයාව, කරුණාව, මෛත්‍රිය වෙනුවට තරහව, වෛරය, ක්‍රෝධය ඉස්මතු වී පළිගැනීම් ආදී අනර්ථයන්ට යොමුවන ආකාරය සමහර පිරිස් අතරින් දිස්වේ. එදා අනලස් ජාතියක් වූ සිංහලයා සහලින් රට ස්වයංපෝෂිත කළේ ය. අතිරික්ත පිටරටවලට පවා ආනයනය කළේ ය. එහෙත් අද තත්ත්වය ඊට හාත්පසින් ම වෙනස් ය. අක්කර ගණින් කෙත් වතු පුරන් වී ගොස් ය. තවදුරටත් අපේ ජාතිය අලස වූයේ නම් අපට රටක් ඉතිරි නො වනු ඇත. අපේ දරුවන්ට අනාගතයක් නො වනු ඇත.

අපේ තරුණ පරම්පරාව ශික්ෂණයෙන් පොහොසත් නො වුණේ නම් අනාගතයේ අවිනය ම රජයනු ඇත. තම දියණිය, පුතණුවන් තුළ ඇඳුමෙන්, පැළඳුමෙන්, ගමනෙන්, බිමනෙන් ආහාරයෙන්, හැසිරීමෙන් විනය ශික්ෂණය ඇති නො කළේ නම් අපට අනාගතයක් නො වනු ඇත. අප තවමත්, ප්‍රමාද නොවේ. අනුබුදු මිහිඳු හිමි දෙසූ දහම් මග අර්ථවත් කරමින් ඒ මග යමින් අපි උන්වහන්සේට කෘතගුණ පිරිනමමු.

වප් පුර අටවක පෝය

වප් පුර අටවක පෝය ඔක්තෝබර් 05 වනදා සෙනසුරාදා පූර්ව භාග 09.50 ට ලබයි. 06 වනදා ඉරිදා පුර්ව භාග 10.54 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 05 වනදා සෙනසුරාදා ය.

මී ළඟ පෝය ඔක්තෝබර්
13 වනදා ඉරිදා ය.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 05

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 13

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 21

Full Moonඅමාවක

ඔක්තෝබර් 27


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]