[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සසර ගමනට මඟ වියදම්

සසර ගමනට මඟ වියදම්


අප දරන මේ ශරීරය කැඩී, බිඳී , මරණයට පත් වූ විට අප විසින් කළ පින් පව් අනුව අපගේ ඊළඟ භවයේ සැප දුක උදා වෙන බව පුඤ්ඤකිරිය වත්ථු සූත්‍රයේ සඳහන් වෙනවා . මරණින් මතු අප සුගතිගාමී හෝ දුගතිගාමී වන්නේ අප විසින් කර ගනු ලබන පින් පව්වලට අනුව යි. අපාගතවීමට වඩා සුගතිගාමී වීම වටිනවා.

දුර්ලභ මිනිසත් බව

දුර්ලභව ලබා ගත් මනුෂ්‍ය ජීවිතයෙන් පිරිහී, කෙනෙක් අපායගාමී වුවහොත් නැවත මනුෂ්‍ය ජීවිතයක් ලබා ගැනීම කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවාටත් වඩා අපහසු, දුර්ලභ දෙයක් ලෙසටයි ධර්මයේ දක්වා තිබෙන්නේ. එපමණක් ද නොව, දීර්ඝ සංසාර ගමනක යෙදී සිටිය දී අප වඩාත් ඉපදී ඇත්තේ දුගතිවලම යි. එයින් මිදී සුගතිගාමී වූ මොහොතක එය ආරක්ෂා කරගන්නට උත්සාහ කරන්නේ නැතිනම් එය විශාල අනුවණකමක්. අපායගාමිවීමෙන් විඳින්නට සිදුවන දුක් කන්දරාව අප නිරන්තරයෙන් සිහිකොට සසරට බිය උපදවා ගත යුතු යි. සසර සැරිසරන සත්ත්වයා සෝතාපන්න ඵලයට පත් වූයේ නැතිනම්, අපාය බියෙන් නිදහස් වු කෙනෙක් නොවෙ යි. ඔහු සුගතිගාමී නො වන බවට සහතිකයක් නැහැ. සෝතාපන්න ඵලයට පත් වූ තැනැත්තාගේ සිට ඉහළ ඵලයන්ට පත් වූ අයගේ ජීවිත මරණින් මතු අපායගාමී වන්නේ නැහැ.

අප සැමට සියලු කෙලෙසුන් නැතිකර දමන තුරු මේ දුක් සහිත සසර සැරිසරන්නට වෙනවා. එසේ සසර සැරිසරන සත්ත්වයාට සසර සැපවත් කර ගැනීමට පින් ද අවශ්‍ය වනවා. නමුත් අප පින් කළත්, පව් කළත් අප සසරට වැටෙන බවත් ජාති. ජරා, මරණාදී සසර දුකට මුහුණ දෙන්නට වන බවත් දැනගත යුතු ම වෙනවා. මේ භවයෙහි අපට නිවන් සැප ලබා ගැනීමට හැකියාව තිබෙනවාය යන කරුණ අපට සහතික කොට කිව නො හැකි නිසා සංසාර ගමනේ ගමන් කරන මගියෙකුට අවශ්‍ය මඟ වියදමක් සේ සලකා පින් ද කර ගත යුතු වෙනවා.

කුසලයට අලස ද?

”අද අද එයි මරු පින් කර ගන්නේ - කුමට ද කුසලට කම්මැලි වන්නේ” යනුවෙන් ලෝ වැඩ සඟරාවේ සඳහන් වෙන පරිදි අප සසරට මඟ වියදම් ලෙස පින් කර ගැනීම හොඳ දෙයක් වන අතර, කුසලයට කම්මැලි නො වී, අප්‍රමාදී ව කුසල් දියුණු කර ගැනීමට අපගේ මූලික අවධානය යොමු කළ යුතු වෙනවා. බොහෝ දෙනා වෙහෙස මහන්සි වී පින් දහම් කළ ද , කුසලයට කම්මැලි වන බවක් පෙනෙන්නට තිබෙනවා. නමුත් අප විසින් කුසලය නිවනට යන අදහස නිරන්තරයෙන් හිත දරා කුසල පක්ෂය දියුණු කර ගැනීමට වීර්යය කළ යුතු වෙනවා.

කුසල් කරනවාට වඩා පින් කිරීම පහසුයි. අපේ සිත නිරන්තරයෙන් පවට, අකුසලයට නැඹුරු වෙලයි පවතින්නේ. පවට, අකුසලයට නැඹුරු වූ සිත කුසලයට නැඹුරු කරවීම පහසු කරුණක් නොවේ. සිත පවට නැඹුරු වෙන තරම් ම පහසුවෙන් පිනට නැඹුරු නො වුණාට, ඒ සඳහා කැමැත්තක් ඇති කරවා ගත හැකියි. ඒ පින්කම්වලින් ලැබෙන ආනිසංස පක්ෂය ගැන දැනුවත් කිරීම තුළිනි. ඒවා දැන ගත්විට එවන් පින්කම් කිරීමේ කැමැත්තක් බොහෝ දෙනාගේ සිත තුළ ඇති වෙනවා. පින් කිරීම නිසා බොහෝ ආනිසංස ලැබෙන බවත්, කුසල් කිරීමෙන් එසේ ආනිසංස ලැබෙන්නේ නැති බවත් බොහෝ දෙනා සිතන නිසා පිනට තිබෙන නැඹුරුව කුසලයට නැහැ.

නමුත් අප මෙහිදී දැනගත යුතුයි පින සහ කුසලය යන දෙකම සිදුවන්නේ එක් ක්‍රියාවක් පදනම් කර ගෙන බව. උදාහරණයක් ලෙස යමෙක් දෙන දානයක් දෙස නුවණින් සලකා බලමු. දානය සහ ක්‍රියාව ලෞකික සැප, ආනිසංස බලාපොරොත්තුවෙන් කරන්නේ නම්, එය පිනක්. හුදෙක් දානයෙන් සිදුවන්නේ අත්හැරීම යි. අත්හැරීමෙන් සිදුවන්නේ තණ්හාව නැති වී යාම යි. නිවන් දකින්නට නම් තණ්හාව දුුරු කළ යුතු යි යන දැක්මෙන් යුතුව යම් කෙනෙක් දන් දෙන්නේ නම්, අත්හරින්නේ නම් එය කුසලය යි.

යථාර්ථය වටහා ගැනීම

ලෝකෝත්තර සුවය වන නිවන් සුවය ඉලක්ක කර ගෙන දෙනු ලබන දානය තුළ ජනිත වන්නේ කුසලය යි. ඒ කුසලය ද, පින ද යන කාරණා දෙක ම සිදුවූයේ දානය නම් වූ ක්‍රියාව පදනම් කර ගෙන යි. දානයෙහි ස්වභාවික ඵලය පැතුවත්, නැතත් භවභෝග සම්පත් ලැබීම යි. ඒ භවභෝග සම්පත් ආයාසයෙන් පැතිය යුතු නොවේ. ඒ අනුව දානය කුසල පැත්තට හරවා දීම තුළ ද ඊට අදාළ සැප විපාක ලැබීම ස්වභාවයක්. ස්වභාවයෙන් ම ලැබෙන දේ ආයාසයෙන් ප්‍රාර්ථනා කිරීම තුළ වන්නේ ලෝභ චේතනාවක් සකස් වී ඒ දන් දුන් තැනැත්තා නිවනින් ඈත් කර දැමීම යි. සසරට ඇද දැමීම යි. මේ යථාර්ථය නිසි ලෙසින් වටහා නො ගත් තැනැත්තා කුසල කර කර සිටීමෙන් සාංසාරික ජීවිතය දුකට පත් වේ යැයි සිතා පිනට නැඹුරුව කටයුතු කොට සසර ගමන දික් කර ගන්නවා.

නිරන්තරයෙන් අකුසලයට නැඹුරු සිත කුසලයට යොමු කරවන එක අසීරු කටයුත්තක්. නමුත් අමාරුවෙන් හෝ අප විසින් සිදු කළ යුත්තේ කළයුතු දෙය යි. කුසලයට නැඹුරුවීම අපහසු කාර්යයක් සේ සලකා නො කර සිටියොත් අප තව තවත් සාංසාරික දුකට ම ඇද වැටෙනවා. ඒ නිසා අපහසුවෙන් හෝ ප්‍රතිපත්තිකාමි ජීවිතයට පුරුදු විය යුතු යි. ආමිස පූජාවන් තුළින් ජීවිතාවබෝධය ලබන්න, ප්‍රඥාව ලබන්න අපහසුයි. නමුත් කෙනෙකුට සිදු කරනු ලබන ආමිස පූජාවන් ද සිහියෙන් නුවණින් සිදු කරන්නට හැකි නම්. ඒ සියලු පූජාවන් ද මොහොතින් මොහොත වෙනස් වන ස්වභාවයට හෙවත් අනිත්‍යයට යටත්ව ක්‍රියාත්මක වෙන බව සිහි කරන්නට හැකි නම් , එය ද ප්‍රතිපත්ති පුජාවක් වෙනවා. ඒ නිසා අප විසින් කළ යුත්තේ ආමිස පූජා එපා කියා ඒවා ඍජුව ම ප්‍රතික්ෂේප කිරීම නොවේ. ඒ හැම පූජාවක් ම අවසානයේ ප්‍රතිපත්ති පූජාවකට යොමු කරවීම යි. ඒ සෑම පින්කමක් ම ත්‍රිලක්ෂණයට යටත්ව ක්‍රියාත්මක වෙන අයුරු තේරුම් කර දීම යි. ඒ තුළින් අපේ රටේ සැදැහැවත් ජනතාවගේ ප්‍රඥාව ද අවදි කිරීමට හැකි වෙනවා.

බිනර පුර අටවක පෝය

බිනර පුර අටවක පෝය සැප්තැම්බර් 05 වන දා බ්‍රහස්පතින්දා අපරභාග 08.49 ට ලබයි. 06 වනදා සිකුරාදා අපරභාග 08.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 06 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 13 වන දා සිකුරාදා

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 13

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 22

Full Moonඅමාවක

සැප්තැම්බර් 28

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]