[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 සතිපට්ඨාන භාවනාව 65: සත්‍ය නිර්දේශය - මාර්ග සත්‍ය - සම්මා සති: සම්මා සතිය වඩා නිවන අරමුණු කර ගන්න

 සත්‍ය නිර්දේශය - මාර්ග සත්‍ය - සම්මා සති:

සම්මා සතිය වඩා නිවන අරමුණු කර ගන්න

බුදු පියාණන් වහන්සේ සෑම මොහොතකම සිහියෙන් ගත කළා. කෙතරම් සිහි කල්පනාවක් ද? සැරියුත්, මුගලන් ආදී උතුමෝ ද සිහි නුවණින් ම දවස, කාලය ගත කළා. ලොවුතුරා බුදුරජාණන් වහන්සේගේ සම්මා සතියට කිසිවෙකුට ළඟා විය නො හැකි තරමේ විශිෂ්ට සිහි නුවණක් තිබුණා.

උන්වහන්සේගේ චිත්ත වීති වැඩි නිසා, වැඩි කාලයක් අවධියෙන් වැඩකරන්න පුළුවන්. අපට අවධියෙන් වැඩ කළ නොහැක්කේ භවංග සිත් වැඩි නිස යි. ඒ නිසා පැය ගණනක් නිදා ගන්න සිදු වෙනවා. මේ ගැන සිතා කවුරුත් සිහිය ම දියුණු කළ යුතු යි. සිහියෙන් කෙනෙක් මිය ගියොත්, සුගතියකම උපත ලබයි. අසිහියෙන් මිය ගියොත්, නරකාදියට යයි. ඒ නිසා සම්මා සතිය මාර්ගාංගය ගැන කොයි කවුරුත් විශාල දැනුමක් ලැබිය යුතු යි. එවිට සතර සතිපට්ඨාන භාවනාව ඉතා පැහැදිලි වෙයි.

ආනාපාන සති භාවනාව හුස්ම ඇතුළුවීම පිටවීම හොඳින් බලා සිටියොත් සිහි නුවණ හොඳින් වැඩෙයි. සම්මා සතිය හොඳින් වැඩෙන විට, නුවණ ද හොඳින් යෙදෙයි. එවිට තමන් ‘මම සිහි කල්පනාව ඇත්තෙක් වන්නෙමි, මම සිහි කල්පනාව දියුණු කරන්නෙමි, මම සම්මා සතිය දියුණු කරන්නෙමි’ යනුවෙන් සිය දහස්වර හොඳින් සිතන්න. එවිට පාපී සිතිවිලි තුරන්ව තමන්ගේ යහපත් ධර්මතාවයෝ දියුණු කරන්න පුළුවන්කම තියෙනවා. චිත්ත උපක්ලේෂයෝ යටකරගන්න පුළුවන්. කාම ඕඝ(පංචකාම වස්තූන්ට ඇති ආශාව), භව ඕඝ(භවයට ඇති කැමැත්ත), දිට්ඨි ඕඝ(මිසදිටුකම), අවිජ්ජා ඕඝ (අවිද්‍යාව නොහොත් මෝහය)ආදී සතර ඕඝ නැති කරන්නත් සිහි කල්පනාව තිබිය යුතු යි. ඕඝ යනු සැඩ පහරට නමක්. මෙයට අසුවුණොත් ගසාගෙන ම යනවා. අපායට ම ඇදගෙන යනවා. එසේනම්, සතර ඕඝයන් විනාශ කර දැමීමට අත්‍යවශ්‍ය පාඩම ලෙස සම්මා සතිය සඳහන් කළ හැකියි. එය තිබුණොත් , සම්මා දිට්ඨී, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සමාධි ආදී මාර්ගාංග හතම සිතෙහි පහළ වෙයි. එසේනම් සම්මා සතිය ප්‍රධාන වෙනවා.

මේ ගැන සිතා කල්පනාවෙන් කවුරුත් සිහි නුවණ දියුණු කර ගැනීම සඳහා ම කටයුතු කරගත යුතු යි. එවිට තමන්ගේ පාරමී ගමන පැහැදිලිව ඉදිරියට යන්න පුළුවන්. එසේම ගුණ , නුවණ දියුණු තියුණු කරගන්න පුළුවන්කම තියෙනවා. බුද්ධ ශාසනයෙන් ලබන්නට තියෙන සෑම දෙයක්ම ඉතාම උත්තරීතර ලෙස ලබන්න පුළුවන්. ඒවා පැහැදිලි ලෙස අවබෝධයෙන් උත්තම ඥාන දියුණු කර ගන්නට, සම්මා සතියෙන් කටයුතු කළ යුතු යි.

බුද්ධාදී උතුමෝ කටයුතු කළේ, සම්මා සතියෙන්. උන්වහන්සේ අවවාද කළා, ඔබ සම්මා සතියෙන් කටයුතු කළ යුතු යි යනුවෙන්. එවිට බෝධි පාක්ෂික ධර්මයන් ද පාරමිතාවෝ ද හොඳින් වැඩී , පව් සිතිවිලි ද තුරන්ව , සිත ගත නිවා සනසාගන්න පුළුවන්. එතරම්ම වටිනා පාඩමක් වන්නේ සම්මා සතිය දියුණු කිරීම යි. එය මෙලොවට, පරලොවට මෙන්ම සංසාරයටම හොඳ යි. ඉක්මන් භවයක දී ම චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවනට පත් වීම වැනි පුදුම ආනිශංස සම්මා සතිය දියුණු කර ගැනීම තුළින් ලැබෙනවා. මේ ගැන හොඳ කල්පනාවෙන් කවුරුත් තමන්ගේ ගුණ නුවණ දියුණුවෙන් භාවනාව හැකිතාක් සිතෙන් අධිෂ්ඨාන කරගෙන මෙනෙහි කරද්දී තම සම්මා සතිය හොඳින් වැඩෙයි. දියුණු වෙයි. ඥානය ද දියුණු වෙයි. පාරමිතාවෝ දියුණු කරගන්න පුළුවන්. සියලු පව් සෝදා හැර විනාශයට පත් කර, කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා. ලොවුතුරා බුදු, පසේ බුදු, මහ රහත් උතුමෝ යම් ධර්මතාවයක් අවබෝධ කළ සේක් නම්, ඒ ධර්මය අවබෝධ කළේ සිහි කල්පනාව මත යි.

සම්මා සතිය හැකිතාක් භාවනාවට ගෙන දියුණුවෙන්, පාරමී ගුණ ධර්ම ද සපුරාගෙන අමා මහා නිවන් සුව අවබෝධ කර ගැනීමට සම්මා සති භාවනාව හේතු, වාසනා වේවා!

බිනර පුර අටවක පෝය

බිනර පුර අටවක පෝය සැප්තැම්බර් 05 වන දා බ්‍රහස්පතින්දා අපරභාග 08.49 ට ලබයි. 06 වනදා සිකුරාදා අපරභාග 08.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 06 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 13 වන දා සිකුරාදා

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 13

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 22

Full Moonඅමාවක

සැප්තැම්බර් 28

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]