[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඓතිහාසික ගැටබරු රාජමහා විහාරයේ වාර්ෂික ඇසළ මහා පෙරහර පුණ්‍යෝත්සවය

ඓතිහාසික ගැටබරු රාජමහා විහාරයේ වාර්ෂික ඇසළ මහා පෙරහර පුණ්‍යෝත්සවය

රුහුණේ ඓතිහාසික සිද්ධස්ථාන අතර ගැටබරු රාජමහා විහාරයට සුවිශේෂී ස්ථානයක් හිමි වෙයි. බටහිර රජ්ජුරු බණ්ඩාර දෙවිඳුන්ගේ දේවාලය ද එම ස්ථානයෙහි පිහිටුවා තිබීම සුවිශේෂී වැදගත්කමකින් යුක්තය.

ගාල්ල, දෙනියාය ප්‍රධාන මාර්ගයේ කොටපොල නමැති පෞරාණික සුන්දර ග්‍රාමයේ පිහිටි මුහුදු මට්ටමින් අඩි 1500 ක් උස් වූ ගැටබරු කඳු මුදුනේ මෙම ඓතිහාසික විහාරස්ථානය පිහිටා තිබේ. ඉතා චිත්තාකර්ෂණීය පරිසරයක් හාත්පසින්ම දැකිය හැකි මෙම ගැටබරු පුදබිම එක්පසෙකින් රක්වාන හෙල්වලටත්, ස්වභාව ධර්මයේ අපූර්ව නිර්මාණයක් වන සිංහරාජ අඩවියටත් සම්බන්ධ වෙයි.අනෙක් පසින් මොරවක්කන්ද කඳුකරයේ හාත්පසින්ම විහිදී යන මහා වනාන්තරයකට සම්බන්ධ වෙයි. මොරවක් කෝරළය හා කන්දබඩ පත්තුව තුළ පිහිටි මෙම ප්‍රදේශය ඉපැරැණි රෝහණ රාජධානියේ බටහිර කලාපයට අයත් වෙයි.

සිරිලක රාජාවලියේ “මහකළු සිංහලයා” ලෙස වඩාත් ප්‍රකට වළගම්බා රජු විසින් මෙම ඓතිහාසික ගැටබරු විහාරය ඉදිකරවන ලද බව සනාථ කරගෙන තිබේ. අඩි 30 ක් පමණ වූ ගිරිලෙන තුළ දිගින් 18 රියන් සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ සහ එක් පසෙකින් බටහිර රජ්ජුරු බණ්ඩාර මහා දේවාලයද අනෙක් පසින් විෂ්ණු, කතරගම මහා දේවාල ද පිහිටුවා ඇත.

ගැටබරු රාජ මහා විහාරාධිපති
ධර්ම කීර්ති ශ්‍රී රතනපාල දක්ෂිණ ලංකාවේ ද්විතීය සංඝ නායක ගෞරව ශාස්ත්‍රවේදී බෙරලපනාතර චන්දවිමල නා හිමි

විහාරාධිකාරි හා භාරකාර
ආචාර්ය කිරින්දේ ආනන්ද හිමි
 

ඓතිහාසික ගැටබරු රාජමහා විහාරය ලංකාවේ සතර දිග් භාගයේ ජනතාව අතර වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ මෙම දුර්ලභ ලෙන් විහාරයත්, බටහිර රජ්ජුරු බණ්ඩාර දෙවිඳුන්ගේ දේවාලයත් නිසා ම ය. ගැටබරු කඳු මුදුනෙහි සීමිත වපසරියක් තුළ ආරාමයක පිහිටුවා තිබිය යුතු සියලුම විහාරංගයන් මැනවින් ඒ ඒ තැන් හි ස්ථානගත කොට තිබෙන අයුරු මෙම ස්ථානයේ දී හොඳින්ම දැක බලා ගැන්මට ලැබෙයි. මාලක සතරකින් යුක්තව විහාර පරිශ්‍රය ගොඩනංවා තිබේ. ඉහළ මාලකය තුළ පර්වත මුදුනෙහිම ඉදිකොට ඇත්තේ ස්තූපයයි. ලෙන් විහාරය සහ දෙවන මාලකයෙහි දේවාල දැකිය හැකිය. බෝධින් වහන්සේ රෝපිත ස්ථානය තෙවැනි මාලකය ලෙසත්, සංඝාවාසය ප්‍රමුඛ ගොඩනැගිලි සංකීර්ණය සිව්වැනි මාලකය ලෙසත් වෙන්කොට දැක්විය හැකි ය. දහස් සංඛ්‍යාත සැදැහැවතුන් නිරන්තරයෙන් ම මෙම පුදබිම තුළ ගැවසුන ද, මෙකී ඓතිහාසික සැලැස්මට කිසිඳු හානියක් නොවන අයුරින් නියමිත ස්ථානයන්හි ඒ ඒ හෝරාවන් තුළ ඒ ඒ ආගමික වතාවත් හා දේවාල කාර්යභාරයන් නිසි පරිදි දෛනිකව පවත්වාගෙන එයි.

ඓතිහාසික ගැටබරු රාජමහා විහාරයේ වත්මන් යුගය ආරම්භ වූයේ 1834 දී එහි නව සොයා ගැනීමත් සමඟය. ඉන්පසු අනුක්‍රමයෙන් දියුණුව කරා ගමන් කළ මෙම පුදබිම කේන්ද්‍රකරගෙන ඇසළ මහා පෙරහර මංගල්‍යය ආරම්භ වූයේ 1950 දී ය. එහි මූලිකත්වය ගනු ලැබුවේ එවකට විහාරාධිපතිව වැඩසිටි කීර්තිශේෂභාවෝපගත රොටුඹ සිරිරතනපාලාභිධාන මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ ය. අද වන විට මෙම ගැටබරු ඇසළ මහා පෙරහර මංගල්‍යය දකුණු පළාතේ ප්‍රධාන ආගමික උළෙලක් බවට පත්ව තිබේ. ගැටබරු රාජමහා විහාරයේ වත්මන් නවෝදයේ නියමුවාණන් වහන්සේලා වනුයේ වත්මන් විහාරාධිපති, ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ දක්ෂිණ ලංකාවේ ද්විතීය සංඝ නායක ගෞරව ශාස්ත්‍රවේදී පණ්ඩිත බෙරලපනාතර ධර්මකීර්ති ශ්‍රී රතනපාල චන්දවිමලාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේත්, ගැටබරු රාජමහා විහාර භාරකාර , උඩමළුවේ තේවාවභාර, ගැටබරු ඇසළ උත්සව සංවිධානයේ ප්‍රධාන ලේඛකාධිකාරි ආචාර්ය කිරින්දේ ආනන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ ත් ය. ගැටබරු රාජමහා විහාරයේ ඓතිහාසිකත්වය මැනවින් ආරක්ෂා වන පරිදි සියලුම විහාරාංගයන් විධිමත් සැලැස්මකට අනුව ප්‍රතිසංස්කරණය කරමින් දෛනික පුද පූජා හා වාර්ෂික උත්සව පුරාණ චාරිත්‍රානුකූලව අඛණ්ඩව පවත්වාගෙන යාම කෙරෙහි උන් වහන්සේලා දැඩි කැපවීමකින් ක්‍රියාකරති.

මෙවර ගැටබරු ඇසළ මහා පෙරහර හා අදාළ ආගමික චාරිත්‍ර සැප්තැම්බර් 08 වැනිදායින් ඇරඹෙයි. සැප්තැම්බර් 15 වැනි දින දක්වා දින 07 ක් පුරා පුණ්‍යොත්සවය පැවැත්වෙයි. ,සැප්තැම්බර් 08 වනදා සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවද, සැප්තැම්බර් 09 වනදා අලුයම මහා සඟසතු දානයද, 09,10,11 දිනවල පේලි පෙරහරද ,12,13 දිනවල රන්දෝලි මහා පෙරහරද ,14 වනදා දෙවොල් මහා දේව තොවිලයද 15 වනදා අලුයම ගිනි පෑගීම, දවල් දේව දානය ,09 සිට 14 දක්වා තොරණ ප්‍රදර්ශනයද සිදු කෙරේ.

විහාරාධිපති බෙරලපනාතර චන්දවිමල නාහිමියන්ගේ සහ ආචාර්ය කිරින්දේ ආනන්ද හිමියන් ගේ අනුශාසකත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩලය ප්‍රධානී වරාය නාවික කටයුතු දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, සම්බන්ධීකරණ ලේකම් මහින්ද විදානපතිරණ , බස්නායක නිලමේ කිංස්ලි ලියනගේ .කොටපොල ප්‍රාදේශීය ලේකම් හා උත්සව කමිටුවේ නිල සභාපති ගනේෂ් අමරසිංහ, උපසභාපති ඩබ්. ජිනදාස, භාණ්ඩාගාරික සුසිර රණවීර, ජ්‍යෙෂ්ඨ සංවිධායකවරුන් වන කුමාරසිරි හෙට්ටිගේ ,සේනක පල්ලියගුරුගේ , උද්ධික මහදිවුල්වැව, චන්ද්‍රසේන ලියනගේ යන මහත්වරුන් ප්‍රමුඛ ගැටබරු ඇසළ උත්සව සංවිධාන කමිටුවේ මෙහෙයවීමෙන් මෙම ගැටබරු ඇසළ මහා පෙරහර මංගල්‍යය පැවැත්වේ. 

බිනර පුර අටවක පෝය

බිනර පුර අටවක පෝය සැප්තැම්බර් 05 වන දා බ්‍රහස්පතින්දා අපරභාග 08.49 ට ලබයි. 06 වනදා සිකුරාදා අපරභාග 08.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 06 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 13 වන දා සිකුරාදා

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 13

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 22

Full Moonඅමාවක

සැප්තැම්බර් 28

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]