[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අට තිසකි මංගල: පෙර කරන ලද පින් ඇති බව

අට තිසකි මංගල:

පෙර කරන ලද පින් ඇති බව

අපගේ සිත යහපතෙහි උපරිම තත්වයට හා අයහපතෙහි උපරිම තත්වයට රැගෙන යා හැකි ය. යහපත හා අයහපත රඳා පවතින්නේ අප සිත තුළ ය. අප මේ භවය තුළ සිදු කරනු ලබන පින් පව් කුසල් අකුසල් නියත වශයෙන්ම වෙනත් සුගති භූමියක ඉපදීමට හේතු වේ. සත්වයා මෙලොව විඳීනු ලබන සැප දුක නිර්ණය වන්නේ සිදුකරනු ලබන පින් පව් වලට අනුගතව ය.

සාමාන්‍ය ව්‍යවහාරයේ දී පින සහ කුසලය සමාන අර්ථයෙන් භාවිත කෙරෙ යි. පින මෙන්ම කුසලයට ද බුදු දහමෙහි ඇගයීමක් ලැබේ. කුසල් වර්ධනය කරගත හැක්කේ පුණ්‍ය කර්මයන්හි විපාක විඳීන්නාට පමණක් බව පැහැදිලි කාරණාවකි. ක්ෂණ සම්පත්තියෙන් යුක්ත තැනැත්තා ධර්මාවබෝධයට සුදුස්සෙකු බව බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබේ. ක්ෂණ සම්පත්තිය සඳහා ද උපකාරි වන්නේ පුණ්‍ය කර්මයන් ය. අභිධානප්පදීපිකාවට අනුව පින යන පදයට ඇත්තේ "සත්තානං සෝධෙන්ති පුඤ්ඤං" අධ්‍යාත්මය පිරිසුදු කරන්නේ යමක් ද? එය පිනයි.

පරලොව ජීවිතයේ ස්වභාවය තීරණය කරන ප්‍රධාන සාධකයක් ලෙස පින දහමෙහි විස්තර කොට ඇත.පින් පව්වල විපාක අනුව දෙවන භවයේ නිරයේ හෝ සුගතියේ උපත සිදුවන්නේ යැයි පෙන්වා දෙයි.

පින් කළ තැනැත්තා මෙලොව සතුටු වෙයි. පරලොව සතුටු වෙයි. දොලොව ම සතුටු වෙයි. කිසි කලෙක පසුතැවිලි නොවෙයි. මේ භවයේ දී තමා විසින් බොහෝ පින්කම් කරන ලද යැයි සිහිපත් කරමින් නැවත නැවත ද සතුටු වෙයි. සිහි නො මුළාව ම මරණයට පත්වෙයි. මරණින් මතු නිදා පිබිදියෙකු මෙන් සුගති ගාමී ව සැප විඳීමින් සතුටු වෙයි.

පින් කළ තැනැත්තා මෙසේ දෙලොව ම සුවපත් වී, ප්‍රීති ව දෙවියන් සහිත ලෝකයාගේ ඉමහත් ගෞරවාදරයට ද භාජනය වේ. අනාදිමත් සසර සතර අපායික දුක්ඛයන්ට පත් නොවී සෝන රට්ඨපාල ආදී සිටුපුත්‍රයන් මෙන් මිනිස් ලොව මිනිස් සම්පත් ද දෙව් ලොව දිව්‍ය සම්පත් ද මහා පද්මාදීන් මෙන් දහම් අනන්තයෙහි අමා මහ නිවන් සම්පත් ද ලබති.

සත්වයන් විසින් බලාපොරොත්තු වන්නා වූ, යහපත් වූ ශරීර වර්ණය සුමිහිරි කට හඬ යහපත් වූ ශරීර ශක්තිය, නිරෝගී බව, දීර්ඝායුෂ්කබව, ප්‍රඥාව, ධනය, පිරිවර, අධිපති බව, කීර්තිය, සිටු සම්පත්, චක්‍රවර්ති රාජ්‍ය සම්පත්, දිව්‍ය සම්පත් ආදී සියලු සම්පත් ම පෙර කරන ලද පින් ඇති තැනැත්තාටම හිමි වේ.

බුදුරජාණන් වහන්සේ නිධිකණ්ඩ සූත්‍රයේ දී දේශනා කර තිබෙනුයේ මෙ පින දෙව් මිනිසුන්ට සියලු සම්පත් දෙන්නා වූ නිධානයෙකි. යමෙක් යමක් පතයි ද, ඒ සියල්ලම පුණ්‍ය නිධානයෙන් ලැබේ.

පින් කළ තැනැත්තාගේ හා නොකළ තැනැත්තාගේ වෙනස බුදුරජාණන් වහන්සේ විවිධ සූත්‍ර දේශනාවන්හි පැහැදිලි කර තිබේ. මේ අතර චුල්ල කම්ම විභංග සූත්‍රය හා සුභ සූත්‍රය ප්‍රමුඛ ය. බුදු සසුනෙහි ප්‍රත්‍යලාභීන් අතර අග්‍රස්ථානය ලැබූ සීවලී මහරහතන් වහන්සේ කොතැනක වැඩ සිටියත් උන්වහන්සේට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා සිව්පසය ලැබූහ. එහෙත් ලෝසක මහරහතන් වහන්සේට කිසි දිනක කුස පුරා දානය වැළ¼දීමට දානය නොලැබුණ හ.පිරිනිවන් පාන දිනයේදී වත් කුස පුරා දානය වැළ¼දීමට ලෝසක මහරහතන් වහන්සේට පින් මද විය. එක් ගාථාපදයක් පමණක් ඇසූ සැරියුත් මහරහතන් වහන්සේ පෙර සෝවන් වීමත් චුල්ලපන්ථක මහරහතන් වහන්සේට සාර මාසයක් උත්සහ කළ ද එක් ගාථාවක් පාඩම් කර ගැනීමට නොහැකිවීමත්, ඝෝසක සිටුතුමා ළදරු කාලයේදී සත්වරක්ම ඝාතනය කරන්නට උත්සාහ කළ නමුදු පෙර කරන ලද පින් හේතුවෙන් එයින් නිදහස් වී මහත් වූ සිටු සම්පත් පවා ලබා ගැනීමට හැකි වූයේ පෙර භවයන් හි දී කරනු ලැබු කුසල කර්මයන්ගේ බල මහිමය හේතුවෙනි.

මෙසේ පින් කිරීම හා නොකිරීම තුළින් දෙවියෙකු වුවත්, ගිහි වුවත්, පැවැදි වුවත්, රහත් වුවත් වෙනසක් දක්නට ලැබෙන බව පැහැදිලි ය. එම නිසා ලෝකයේ වාසය කරන සියලු දෙනාටම එක සේ ම පින් උපකාර වන බව අවබෝධ විය යුතු ය. ඒ බව අංගුත්තර නිකායෙහි පංචක නිපාතය තුළ බුදුරජාණන් වහන්සේ දේශනා කළහ.

තව ද පෙර පින් නැත් තැනැත්තා සැපසම්පත් ලැබීමට කොතෙක් වීර්ය කළත් එයින් යැපීමට පමණක් ධනය විනා මහත් ධන සම්භාරයක් නොලබයි. විටෙක පින් නොමැති තැනැත්තාගේ වීර්යය මහත් අනර්ථය පිණිස ද, දුක පිණිස ද පවත්නේය. පින් කළ අයගේ පරිභෝගයට සුදුසු වූ මහඟු වස්තුවක් හදිසියේ නමුදු පින් නැත්තෙකු අතට පත් වූයේ වී නමුත් එය ඔහු සමීපයේ දීර්ඝ කාලයක් නොපවතී. අහසින් යා හැකි මාණික්‍ය රත්නයක් ලැබීම.එක් සූකරයෙකුට මරණයට හේතු වූවාක් මෙන් පින් නැති තැනැත්තාට යම් වස්තුවක් ලැබීම ඔහුගේ විනාශයට පවා හේතු වේ. පින් නැත්තා විසින් උපදවන්නා වූ බොහෝ යහපත් දේ ඔවුන්ගේ පරිභෝගයට නොපැමිණ පින් ඇත්තවුන්ගේ පරිභෝගයටම පැමිණේ. ඒ බව නුවණින් යුක්තව ලෝකය දෙස බලන්නෙකුට මනාව අවබෝධ කර ගත හැකි ය.

මෙසේ කරන ලද පින් ඇති තැනැත්තා බොහෝ භවභෝග සම්පත් ලබා යම් කලක දී බුදුරජාණන් වහන්සේ නමකගෙන් හෝ මග ඵල ලත් ශ්‍රාවකයෙකුගෙන් ධර්මය ශ්‍රවණය කොට මාර්ග ඵල නිවන් සලසා ගත හැකි ය. පෙර පින් නොකළ තැනැත්තන් හට බුදුවරුන් දහසක් ධර්මය දේශනා කළත් ලබා ගත හැකි කිසිදු මාර්ග ඵලයක් නොමැත. ලද මනුසත් භවයෙන් හැකි පමණ පින් දහම් කොට සිත දමනය කොට විමුක්තිය සලසා ගත යුතු ය.

නිකිණි අමාවක පෝය

නිකිණි අමාවක පෝය අගෝස්තු 29 වනදා බ්‍රහස්පතින්දා අපර භාග 07.55 ට ලබයි. 30 වනදා , සිකුරාදා අපරභාග 04.07 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 30 වනදා සිකුරාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර්
06 වන දා සිකුරාදා

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 30

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 13

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 22

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]