[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තෙවළා බුදු වදන් අතරින් - 42:  ආත්මාරක්ෂාව ඇතිකරගන්නේ කෙසේද?

තෙවළා බුදු වදන් අතරින් - 42: 

ආත්මාරක්ෂාව ඇතිකරගන්නේ කෙසේද?

" නිවැරැදි දිවිපෙවෙතක්, ගතකරන්නෙකුට ආත්මාරක්ෂාව පිළිබඳ සිත් තැවුලක් ඇති කර ගැනීම ට අවශ්‍ය නොවේ. නිවැරැදි සදාචාර සම්පන්න දිවි පෙවෙතකට හිමි කම් කියන්නෙකුට නිරායාසයෙන් ම ආත්මාරක්ෂාව සැලසේ..."


බු දුරජාණන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් වෙහෙර වැඩ වෙසෙන සමයෙහි එක් දිනක් උන්වහන්සේ බැහැදැකීමට පැමිණි කොසොල් මහරජු භාග්‍යවතුන් වහන්සේ ට මෙසේ පැවසී ය.

“ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස, මා හුදකලාව, කල්පනාවේ නිරතව සිටිනා මොහොතක කවුරුන් විසින් තමා රක්නා ලද්දේ ද? කවුරුන් විසින් තමා නොරක්නා ලද්දේ ද? යන සිතිවිල්ල මට ඇති විය. ස්වාමිනී, මගේ සිතිවිල්ලට අනුව යම් කෙනෙක් සිතින්, කයින්, වදනින් යන තිදොරින් දුශ්චරිත ක්‍රියාවල නිරත වන්නේ නම් ඒ තැනැත්තා තමන් නොරක්නා ලද්දෙකි. එම තැනැත්තා ට ඇත්, අස්, රථ, පාබල යන සිව්වැදෑරුම් සේනාවකින් ආරක්ෂාව සැපයුවත්, ඔහු අනාරක්‍ෂිත ය. ඒ සියලු ම ආරක්ෂාව බාහිර එකකි (බාහිරා හෙසා රක්ඛා). එයින් අධ්‍යාත්මික ආරක්ෂාවක් ඇති නොවේ. (නෙසා රක්ඛා අජ්ඣත්තිකා). එහෙත් ස්වාමිනි, යම් කෙනෙක් සිත, කය, වචනය යන තිදොරින් සුචරිත ක්‍රියාවල නිරත වන්නේ නම්, එම තැනැත්තා තමන් රක්නා ලද්දෙකි. ඔහුට ඇත්, අස්, රථ, පාබල සේනාවන්ගෙන් ආරක්ෂාවක් නොලැබුණත්, ඔහු සැබැවින් ම ආරක්‍ෂිත ය. ඔහු අධ්‍යාත්මික වශයෙන් සුරක්‍ෂිත ය. එනිසා ඔහු සැබැවින් ම සුරක්‍ෂිත වූවෙකි” කොසොල් රජුගේ ප්‍රකාශයට සවන්දුන් භාග්‍යවතුන් වහන්සේ ද එය එසේම යැයි අනුමත කළ සේක.

සංයුත්ත නිකායේ කෝසල සංයුත්තයේ ඇතුළත් අත්තරක්ඛිත සූත්‍රයේ එන මෙම ප්‍රකාශයෙන් ආත්මාරකෂාව පිළිබඳ බෞද්ධ අදහස ප්‍රකට වේ. කෝසල රාජ්‍යයේ පාලකයා වූ කොසොල් රජු එවකට බලසම්පන්න රාජ්‍ය නායකයෙක් විය. ඇත්, අස්, රථ, පාබල යන සිව් මහා සේනාවකින් ආරක්‍ෂිතව වෙසෙන පාලකයෙකු ට සැබෑ ආරක්ෂාව කුමක්දැයි යන අදහසක් ඇතිවීම පුදුම සහගත ය. රටක පාලක, පාලිත දෙපක්ෂය ම කල්පනා කරන්නේ රටේ හා ජනතාවගේ ආරක්ෂාව ගැන ය. සිව්වැදෑරුම් බලසේනාවකින් සැදි, ආරක්‍ෂිත පවුරකින් යුක්තව වාසය කරන පාලකයෙකුට තමන් මෙන් ම ජනතාවත් සුරක්‍ෂිත ය, යන ආකල්පය ඇති වේ. කොසොල් රජුගේ ආකල්පය අනුව එම ආරක්ෂාව බාහිර එකකි. බාහිර වශයෙන් ඇති කරගන්නා ආරක්ෂාව ට වඩා අධ්‍යාත්මික වශයෙන් ඇතිකරගන්නා ආරක්ෂාව උසස් ය, යන්න රජුගේ පිළිගැනීම යි. කොසොල් රජුගේ අදහස බුදුන්වහන්සේ ද අනුමත කළහ.

කොසොල් රජු කල්පනා කළ පරිදි සැබෑ ආරක්ෂාව සැලසෙන්නේ සිත, කය, වචනය යන තිදොරින් සුචරිත ක්‍රියාවල නිරත වීමෙන් ය. තිදොරින් දුශ්චරිත ක්‍රියාවල නිරත වන්නා ට ආත්ම ආරක්ෂාව තහවුරුකරගත නොහැකි ය. දුශ්චරිත ක්‍රියාවල නිරතවීමේ ප්‍රතිඵලයක් වශයෙන් දුගතියක ඉපදීමට සිදුවන අතර ඔහුට මෙලොව වශයෙන් ද, සමාජ සුරක්‍ෂිතතාවක් ඇති නොවේ. බුද්ධ වචනය අනුව කෙනෙකු අත්පත්කරගත යුතු සැබෑ ආරක්ෂාව ආත්මාරක්ෂාව යි. තම සිත, කය ,වචනය යන තිදොරින් සිදුවන වැරැදි ක්‍රියාවලින් වැළකී නිවැරැදි ක්‍රියා අනුගමනය කරන්නෙකුට ආත්ම ආරක්ෂාව සම්පූර්ණ වේ. තිදොරින් නන්වැදෑරුම් දුසිරිත් සිදුකොට බාහිර වශයෙන් කොතෙක් ආරකෂක මුරකාවල් යෙදුවත්, එය සැබෑ ආරක්ෂාවක් නොවේ. බොහෝ දෙනෙකු කල්පනා කරන්නේ බාහිර වශයෙන් ඇතිකරගන්නා ආරක්ෂාව මගින් සුරක්‍ෂිත බවක් ඇතිකරගත හැකි බව යි. ඒ සඳහා විවිධ උපක්‍රම භාවිත කළ ද, අධ්‍යාත්මික ආරක්ෂාවක් නොසැපයේ. බොහෝදුරට එයින් සිදුවන්නේ තමාට එරෙහිව එන විවිධ බාහිර සතුරු බලවේගවලින් තාවකාලිකව ආරක්ෂාවීම පමණි. තමා අනුගමනය කළ දුෂ්චරිත ක්‍රියාවල ප්‍රතිඵලයක් වශයෙන් කෙනෙකුට අභ්‍යන්තරික වශයෙන් විවිධ චිත්ත පීඩා ඇති වේ. එයින් එම තැනැත්තා පළමුව දුකට හා වේදනාවට පත් වේ. දෙවනුව තමා කළ වරදට අනුරූපී විපාක වශයෙන් දඬුවම් විදීම ට සිදුවෙයි. තෙවනුව එහි ප්‍රතිඵලයක් වශයෙන් මරණින් පසුව දුගතිගාමී වෙයි. පරලොවක් නොපිළිගන්නා තැනැත්තෙකු ට වුවද, තමා කළ වරද සම්බන්ධයෙන් වරදකාරී හැඟීමක් මෙන්ම චිත්ත පීඩාවක් ඇති වේ. එසේම මෙලොව වශයෙන් නීත්‍යානූකූලව දඩුවම් විදීමට ද සිදු වේ. ඒ අනුව දුශ්චරිත ක්‍රියාවල නිරත පුද්ගලයා ට අධ්‍යාත්මික ආරක්ෂාවක් නොලැබේ. දුශ්චරිත ක්‍රියාවල අධ්‍යාත්මික බලපෑම ට අමතර ව සමාජම ය බලපෑමක් ද විද්‍යමාන ය. කෙනෙකු යම් දුශ්චරිත ක්‍රියාවක නිරතවන්නේ නම් එයින් වෙනත් අයෙකුගේ මූලික අයිතිවාසිකම් උල්ලංගනය වේ. යමෙක් ප්‍රාණඝාත අකුසල ක්‍රියාවේ නිරත වන්නේ නම්, ඒ හේතුවෙන් මරණයට ලක්වන පුද්ගලයාගේ හෝ සත්වයින්ගේ ජීවත්වීමේ අයිතිය අහිමි වී යාම නිදසුනක් ලෙස ගත හැකි ය. කෙනෙකුගේ ජීවත්වීමේ අයිතිය නැතිකළ තැනැත්තාගේ එම ක්‍රියාව කිසිසේත් ම සාධාරණයැයි නොපිළිගැනෙන හෙයින්, එයට අනුරූපී දඬුවමක් දීම සුදුසු ය, යන්න පොදු නිගමනය යි. එම පොදු නිගමනය අනුව වැරැදි කළ තැනැත්තා ට ඊට අදාළ ව දඬුවම් නියම කෙරේ. දඬුවමට ලක් වූ පුද්ගලයා ට ආත්ම සුරක්‍ෂිතතාවක් බලාපොරොත්තු විය නොහැකි ය. ඇතැම් අවස්ථාවල දී තමා විසින් කළ අයහපත් ක්‍රියාවට ප්‍රතිචාරයක් වශයෙන් අගතියට පත් කෙනෙකු ඔහු මරණයට පත්කිරීමට හෝ ඔහුගේ දේපළ විනාශ කිරීමට හෝ පෙළඹිය හැකි ය. මේ අනුව දුශ්චරිත ක්‍රියාවල නිරත වන්නෙකු ට තම ජීවිතය පිළිබඳ ආරක්ෂාව අහිමි වේ. තමාගේ පමණක් නොව, තම පවුලේ ආරක්ෂාවත් අහිමි වී යා හැකිය. එබැවින් දුශ්චරිත ක්‍රියාවල නිරත වන්නා සාකල්‍යයෙන් ම අනාරක්‍ෂිත ය.

කොසොල් රජු අදහස් කළ ආකාරයට තිදොරින් සුචරිත ක්‍රියා අනුගමනය කරන තැනැත්තාට, අධ්‍යාත්මික ආරක්ෂාව මෙන් ම සමාජ ආරක්ෂාව ත් නොමඳ ව ලැබේ. මෙය දැහැමින් ජීවත් වන්නා ට දහමින් ම ආරක්ෂාව සැලසේ (ධම්මොහවේ රක්ඛතිධම්මචාරී) යන බුද්ධ වචනයෙන් ද පැහැදිලි වේ. බුද්ධ වචනය අනුව ආත්මාරක්ෂාව යනු අධ්‍යාත්මික පාරිශුද්ධත්වයේ අග්‍රඵලය යි. කෙනෙකු සදාචාර සම්පන්න වන තරම ට ම ආත්මාරක්ෂාවත් තහවුරු වේ. එයින් තමාගේ පමණක් නොව තම පවුලේ ආරක්ෂාවත් තහවුරු වේ.

ඒ අනුව නිවැරැදි දිවිපෙවෙතක්, ගතකරන්නෙකුට ආත්මාරක්ෂාව පිළිබඳ සිත් තැවුලක් ඇති කර ගැනීම ට අවශ්‍ය නොවේ. නිවැරැදි සදාචාර සම්පන්න දිවි පෙවෙතකට හිමි කම් කියන්නෙකුට නිරායාසයෙන් ම ආත්මාරක්ෂාව සැලසේ. කොතෙකුත් බාහිර මුරකාවල්, ආරක්ෂක විධිවිධාන ඇතැත්, නැතත් එවැනි කෙනෙකුට, තම චර්යාව පිළිබඳ බිය හා සැකය ඇති නොවේ. දැහැමිව ජීවත්වන්නා මෙලොව පරලොව දෙකෙහි ම සුවසේ වාසය කරයි. ඒ වනාහි ආත්මාරක්ෂාව පිළිබඳ බෞද්ධ ඉගැන්වීම යි.

නිකිණි අමාවක පෝය

නිකිණි අමාවක පෝය අගෝස්තු 29 වනදා බ්‍රහස්පතින්දා අපර භාග 07.55 ට ලබයි. 30 වනදා , සිකුරාදා අපරභාග 04.07 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 30 වනදා සිකුරාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර්
06 වන දා සිකුරාදා

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 30

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 13

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 22

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]