[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සුගතිය දකින නිවැරැදි වන්දනා ගමන

සුගතිය දකින නිවැරැදි වන්දනා ගමන

ඉධ මෝදති පෙච්ච මෝදති
කතපුඤ්ඤෝ උභයත්ථ මෝදතී
සෝ මෝදති සෝ පමෝදති
දිස්වා කම්ම විසුද්ධි මත්තනෝ

(පින් කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙයි. පරලොවත් සතුටු වෙයි. දෙලොවම සතුටු වෙයි. ඔහු තමාගේ පිරිසුදු ක්‍රියාව දැක ඉතාමත් සතුටු වෙයි)

මෙම ගාථාව දේශනා කළේ සැවැත්නුවර බොහෝ පින්දහම් කළ ධම්මික නම් උපාසක තුමාට ය. මෙතුමා ට දාව දූවරු හත් දෙනෙක් ද, පුතුන් හත් දෙනෙක් ද වශයෙන් 14 ක් විය. ජීවිතයේ සැඳෑ සමයේ දී පසිඳුරන්ගේ අනිත්‍යතාවය මනාව අවබෝධ වන්නට විය. පූර්වයේ සිදුකරන ලද කුසල විපාක මෙනෙහි වන්නට (සිහිපත් වෙන්නට) විය. එම පින්මහිමය නිසාම භික්ෂූන් වහන්සේලා වැඩමවා දහම් ඇසීමට සිත් පහළ විය. දරුවන්ගේ ඇරැයුමෙන් සොළොස් (16) නමක් වැඩමවා උපාසක තුමාගේ චේතනාව පරිදි “සතිපට්ඨාන” සූත්‍රය දේශනා කරන ලදී. දේශනාව අතරතුර ටිකක් නවතින්න! ටිකක් නවතින්න!! යැයි උපාසක තුමා අතින් සංඥාවක් කළේ ය. එවිට පිරිත් දේශනාව නතර කළ හාමුදුරුවන් වහන්සේලා විහාරයට වැඩිය හ.

සිද්ධිය බුදු නෙතින් බැලූ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ, එය දෙවිවරුන්ට කළ සංඥාවක් බවත්, පිරිත් දේශනය නතර කිරීමට කියූ දෙයක් නොවන බවත් ය. මියයාමෙන් පසුව තුසිත නම් දෙව්ලොව ධම්මික උපාසක තුමා ප්‍රතිසන්ධිය (උප්පත්තිය) ලැබූ බව බුදුන් වහන්සේ මැනවින් දේශනා කළ සේක.

ජීවිතයක තිබෙන විවිධ ගමන් අතර වටිනාම ගමන වන්දනා ගමන යි. එය නිවැරැදිව සාර්ථකව සිදුකිරීම සුමඟට මාවතකි. මරණාසන්න අවස්ථාවට සමීපවන විටදී ඇතිවෙන ජවන් සිත් වලදී පින් (කුසල්) මෙනෙහි වීමෙන් චුතිචිත්තයේ දී (අවසාන සිත) සුගතියට හෝ දෙව්ලොව ප්‍රතිසන්ධිය ලැබීමට උපකාරි වෙයි. පව් ( අකුසල්) මෙනෙහි වීම දුගතියට මග වේ.

වන්දනා ගමන නිවැරැදිව, සාර්ථකව ,ශ්‍රද්ධාවෙන් ,ප්‍රඥාවෙන් සිදුකරන පිරිස සමාජයේ ඉතාමත් විරල ය. වන්දනා ගමනකට සූදානම් වන පිළිවෙළ ක්‍රමයවත් බොහෝ පිරිස නොදනිති. ශී‍්‍ර ලංකාවේ බෞද්ධ මහජනතාවගේ වන්දනීයත්වයට, ගෞරවනීයත්වයට පාත්‍ර වූ අතිපූජනීය ස්ථාන හෙවත් සිද්ධස්ථාන අතිවිශාල ය. . මෙම පූජනීය ස්ථාන බෞද්ධ මහජනතාවට මුදුන් මල්කඩක් බඳු ය. වන්දනාව පැරැණි අපේ මුතුන් මිත්තන්ට විශේෂ වූ ආගමික ගමනකි. අතීතයේ වන්දනාව වට වන්දනාව යනුවෙන් ගෞරවාන්විතව හඳුන්ව යි.

පැරැණි අය බොහෝම ගෞරවාන්විත ආකාරයට කටයුතු කළ බව ජනප්‍රවාදයේ පවා සඳහන් වේ. වර්තමානය දෙසට යන විට ක්‍රම ක්‍රමයෙන් එහි ශ්‍රද්ධාව ,ගෞරවය, ප්‍රඥාව පිරිහී විනෝද චාරිකා වලටත් වඩා පිරිහීම් බවට ගොදුරු වී ඇත. නමුත් වර්තමානයේ වුව ද සමහර සැදැහැවතුන් බොහොම ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන් නඩේ ගුරුතුමා හෝ නඩේ ගුරුතුමිය නමින් නම් කරගෙන සංවිධානාත්මකව ම වන්දනා ගමන් යන ආකාරය දැකිය හැකි ය. ස්නානය කර පිරිසුදු වී, සුදු වස්ත්‍ර හැඳගෙන, නිර්මාංශ ආහාරගෙන වන්දනාවට පිවිසෙන අයුරු ඉතාමත් අලංකාර ය.

අද සමහර පිරිස අනුරාධපුර අටමස්ථානය වැනි අතිපූජනීය ස්ථාන ගෞරවයෙන් වන්දනා කරති. එම ගමනට ආශිර්වාද ලබා ගැනීමට. පෙර දින නඩේ ගුරුතුමා සමඟ කීප පිරිසක් ගමේ විහාරයට පැමිණ ආගමික වතාවත්වල නියැළීම පැරැණි චාරිත්‍රයකි. නඩේ ගුරු මහත්මාගේ හෝ මහත්මියගේ වචනයට සැම දෙනාම ගරු කරයි. එතුමා ද, එතුමිය ද තම දරුවන්ට මෙන් පිරිසට සලකයි. උපකාර කරයි. බලාගනියි. මෛත්‍රියෙන් කරුණාවෙන් අමතයි.

වන්දනා ගමනට සම්බන්ධ වන පිරිස කිරි ආහාර, ඖෂධ වර්ග, පානීය ඖෂධ, කප්රුක් (කංචුක) අටපිරිකර විවිධ පූජා ද්‍රව්‍යයයන් පූජා කිරීම සිදු කෙරේ. හාමුදුරුවන් වහන්සේ නමකගේ අනුශාසනා පරිදි ක්‍රමවත්ව, විධිමත්ව බුද්ධාලම්බන පී‍්‍රතිය ඇතිවෙන ලෙස වන්දනා කරන ආකාරය දැකිය හැකි ය.

ජය ශ්‍රී මහා බෝධිය රුවන්වැලි මහා වෙහෙර යන සිද්ධස්ථාන මුල් කරගෙන අටමස්ථානයම හා ලංකාවේ විවිධ වූ ස්ථාන මාස දොළහම ගෞරවයෙන් වඳින සැදැහැවත්තු සිටිති. එය විනෝදයක් ලැබීමට නොව යහපත්, වන්දනාවක් වීම සඳහා ය. ඉතා ගෞරවයෙන්, ශ්‍රද්ධාවෙන් එම පින් කටයුතු කිරීම තුළ සෑම දෙනාගේම ප්‍රාර්ථනා සඵලවී බලාපොරොත්තු, අරමුණු ඉටුවේ. වන්දනා ගමනේ අවසාන, ප්‍රතිඵල ඔවුන් බලාපොරොත්තු වූයේ සුමගට යොමුවීම ලෙස ය. යහපත් ඉෂ්ඨ අරමුණු සපල වේය යන අධිෂ්ඨානය යි.

ඒ අනුව වන්දනා ගමන ආරම්භ වූ තැන සිට මග තොටේ අතර මග ආපසු නිමාවන තුරුම ශ්‍රද්ධාව, ප්‍රඥාව මුල්කරගෙන කටයුතු කරයි. ක්‍රියා කරයි. වාහනයට නොගැළපෙන අය සම්බන්ධ කර නොගැනීම , මත්වතුර , මත්ද්‍රව්‍ය භාවිතයෙන් බැහැරව ක්‍රියා කරයි. වන්දනා ගමන මිනිස් ජීවිතයක තිබෙන වටිනාම ලොකුම වාසනාවක්, සතුටක් සේ සිතයි. කල්පනා කරයි. ගමනට සම්බන්ධ වන වැඩිහිටි ලොකු කුඩා සෑම දෙනාම තම තමන්ගේ ආත්ම ගෞරවය, රැකෙන අයුරින් කටයුතු කරයි. ක්‍රියා කරයි. විශේෂයෙන් ම ආදර්ශ පිරිසක් වෙයි.

වන්දනාව පිළිබඳව තව දුරටත් කරුණු විමසීමේ දී සැම දෙනාම වන්දනා කරන ක්‍රමය විවිධ වේ. ඒ ශ්‍රද්ධාව ප්‍රඥාව අනුව වේ. ඒ තුළින් ලබන කුසල ශක්තිය ද උසස් පහත් වන බව ද සඳහන් කිරීමට හැකි ය. පෙර වාසනාව පින නැති කෙනෙකුට නිවැරැදිව, පිරිසුදුව වන්දනාව සිදු කිරීමට නොහැකි ය. යහපත් ලෙස ක්‍රමවත්ව වැඳීම තුළ ආයු (ආයුෂය) වණ්ණෝ (වර්ණය) සුඛං (සැප) බලං (බලය) යන සැප සම්පත් හතර ලැබෙන බව ධර්මයේ සඳහන් වෙයි. නිවැරැදි වන්දනාව සිදු කරන තැනැත්තා පසඟ පිහිටුවා වැඳීම කරන අතර, අරමුණ මනසේ පිහිටුවා ගෙන, මනසෙන් වන්දනා කරයි. මෙහිදී පසඟ පිහිටුවා වැඳීම යනු දණ දෙක වැලමිට දෙක, නළල යන ස්ථාන පහ බිම ස්පර්ශ වීම යි.

ඉහත ආකාරයෙන් වැඳීමේ දී චිත්ත ( සිත) චෛතසික ( සිතිවිලි) කුසල් ආරම්මණ (අරමුණු) අනුව ක්‍රියාත්මකව පවතී. ඒ තුළින් නිවැරැදි වැඳීම යන චේතනාව තුළ කුසල චේතනාවෝ උපදිති. බොහෝ අවස්ථාවන් හි දී ඇති වනුයේ අකුසල සිතිවිලි ය. උදාහරණයක් ලෙස අනුරාධපුර රුවන්වැලි සෑරදුන් වන්දනා කරනවිට ශ්‍රද්ධාව , ප්‍රඥාව තිබෙන පුද්ගලයාට අනන්ත කුසල චේතනාවන් පහළ වෙයි. එම අවස්ථාවේ දී කිසිම විටක අකුසල චෛතසික (සිතිවිලි) පහළ නොවේ.

සැලකිල්ල, උත්සාහය, උනන්දුව තිබේ නම් සිදුකරන වන්දනා ගමනෙන් උසස් ප්‍රතිඵල කරා ළගාවිය හැකි ය. සුමග දැකීමට නම් තිරිසන් භවයට පත් වූ සත්ව ලෝකවලට අපහසු ය.

තිරිසන් ලෝකවල සත්වයන් නිමක් , කෙළවරක්, අවසානයක් නොපෙනෙන අපාදුක් විඳිමින් ආත්ම ලක්ෂ ගණන් අනේක විධ කටුක දුක් කරදර විඳියි. මිනිසත් භවය විවිධ පුණ්‍ය කර්ම සිදුකර ගැනීම සුගතියට, යොමුවීමට විශේෂ උපකාරයක්, පිහිටක් වෙයි. වන්දනා ගමනේ දී ඔබ සිතෙන් ගන්නා ලද පිරිසුදු සිතිවිලි නිසා “ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී” දිවා රාත්‍රී හැම මොහොතේම නොපෙනෙන ජීවමාන ශක්තියක් තම තමන්ගේ පිටුපස පවතී. එය ආරක්ෂිත ධර්ම ශක්තිය යි. මාරාන්තික විපත්, සාමාන්‍ය විපත්, සැම තැනම සත්‍ය වශයෙන්ම රැක ගනී. ඔබ මෙතෙක් සිදුකර ගෙන යන සියලුම පින්කම් වන්දනා ක්‍රම පින් පොතකට ඇතුළත් කර ගැනීමෙන් පින් උල්පත් සිදුවෙයි. සඳහන් කරන ලද දහම් කරුණු මනාව අවබෝධ කරගෙන වැරැදි මාර්ගයෙන් සිදුකරගෙන යන “වන්දනා ගමන” සම්පූර්ණයෙන්ම නවතා සාර්ථක , නිවැරැදි යහපත් වන්දනා ගමන් සිදුකිරීමට සම්බන්ධ වන ලෙස සඳහන් කරමු.

නිකිණි අමාවක පෝය

නිකිණි අමාවක පෝය අගෝස්තු 29 වනදා බ්‍රහස්පතින්දා අපර භාග 07.55 ට ලබයි. 30 වනදා , සිකුරාදා අපරභාග 04.07 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 30 වනදා සිකුරාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර්
06 වන දා සිකුරාදා

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 30

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 13

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 22

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]