[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ධනය ලැබෙන නොලැබෙන සැටි

ධනය ලැබෙන නොලැබෙන සැටි

අථඛෝ යානිතානී කුලානි අඩ්ඨානි මහද්ධනානි මහා භෝගානි පහූත ජාත රූප රජතානී,
පහූතචිත්තපකරණානි,
පහූතධනධඤ්ඤානි,
සබ්බානිතානි දාන සම්භූතානි චේව සච්ච සම්භූතානීච සම්තූතානිච.

පින්වත්නි,

අද දේශනාව සඳහා යොදා ගත්තේ සංයුක්ත නිකායේ සළායතන වග්ගයට අයත් කුල සූත්‍රයේ කොටස කි. අපේ තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් මෙම සූත්‍රය ගාමිණී නම් වූ නිගණ්ඨ ශ්‍රාවකයෙකුට දේශනා කර ඇත. භාග්‍යවතුන් වහන්සේ එක් කාලයක නාලන්දා නුවර පාවාරික අඹ වනයේ භික්ෂූන් වහන්සේ පිරිසක් සමඟ වැඩ සිටිය හ. එසේ වැඩ වෙසෙමින් දිනපතා එම භික්ෂූන් වහන්සේලා සමඟ එම ප්‍රදේශයේ පිඬුසිඟා වැඩම කළහ. එම කාලයේ එම ප්‍රදේශයට දුර්භික්ෂයක් ඇති වී තිබුණි. මිනිස්සු බොහෝ අපහසුතාවෙන් ජීවත් වූහ. මෙවැනි කරදරකාරී කාලයක බුදුරදුන් තම ශ්‍රාවකයන් සමඟ නිවෙස්වලට පිඬු සිඟා වැඩම කිරීම මිනිසුන් තව තවත් පීඩාවට පත් කිරීමට හේතුවක් බව අදහස් කළ නිගණ්ඨනාථපුත්ත තාපසතුමා ඒ ගැන වාද කිරීමට තම ශ්‍රාවකයෙකු වූ ගාමිණී නමැත්තා බුදුරදුන් හමුවට යැවී ය. බුදුරදුන් මහා කාරුණික වුව ද මිනිසුන් පීඩාවට පත් කර පවුල් විනාශයට පත් කිරීමට කටයුතු කරන්නේ යැයි ඔහු බුදු හිමියන්ට චෝදනා කළේ ය.

ඔහුගේ අදහස් දැක්වීමෙන් පසු භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කළහ. මම මගේ බුදු නුවණින් මෙතැන් පටන් කල්ප අනු එකක් අතීත භවයන් සිහි කළෙමි. එම කිසිදු භවයක දන් දීම නිසා විනාශයට පත් වූ නිවසක්, පරපුරක් මම නොදැක්කෙමි. එසේ ම, තමන් සිතන පතන පරිදි ම ධන ධාන්‍යාදී සියලු සැප සම්පත් ලබමින් යම් නිවසක නිවැසියෝ සතුටින් සිටිත් ද, ඔවුහු සසර ගමනේ දී දන් දීම, සත්‍යවාදී බව, සංවරකම නිරතුරුව ම අනුගමනය කළ අයකු බව මම දැක ගතිමි. තව දුරටත් කරුණු දේශනා කරන බුදුපියාණන් වහන්සේ නිවසකට හිමි වී තිබෙන සෑම සැපතක් ම නැති වී නිවැසියන් අන්ත අසරණ තත්ත්වයකට පත් වීමට බලපාන කරුණු අටක් දේශනා කළහ.

රාජ සන්තක වීම.

සොරුන් ගැනීම.

ගින්නෙන් විනාශ වීම.

ජලයෙන් විනාශ වීම.

තැන්පත් කළ ධනය අහිමි වීම.

සේවක සේවිකාවන්ගේ වැරැදි ක්‍රියාවන්.

සූදුවට සුරාවට යොමු වූ දරුවෙකු සිටීම.

අනිත්‍යතාවයට පත් වීම.

මෙසේ නිවසක් විනාශ වීමට බලපාන කරුණු පැහැදිලි ව ම තිබිය දී එය සිදු වන්නේ තථාගතයන් වහන්සේට හෝ උන්වහන්සේගේ ශ්‍රාවකයන්ට ද දන් දීම නිසා යන අදහස යමෙකුට තිබේ නම්, එය බරපතළ වරදක් බවත්, එය නිවැරැදි කර නොගතහොත් ඔහුට නිරයගාමී වීමට ද සිදුවන බව බුදුපියාණන් වහන්සේ පෙන්වා දුන්හ. ඉන්පසු කරුණු අවබෝධ කරගත් ගාමිණී තෙරුවන් සරණ ගිය උපාසකයකු බවට පත් විය.

සසර ගමනේ දී අප සිතන පතන විවිධ සැප සම්පත් බහුල නිවසක හිමිකරුවෙකු වීමට දන් දීම, සත්‍යවාදී බව හා සංවරකම ඉවහල් වන බව මෙම කරුණුවලින් මනාව පැහැදිලි වේ. තමන් සතු සම්පත් තවත් අයකුගේ ප්‍රයෝජනය පිණිස පරිත්‍යාගශීලීව අත්හැරීම දානය යි. එය විවිධ අයුරින් අපට අනුගමනය කළ හැකි පින්කම කි. අවබෝධයෙන් දන් දෙන සෑම අවස්ථාවක ම ආශාව, ද්වේශය, මෝඩකම යන නරක සිතිවිලි යටපත් වී අපගේ සිත පිරිසුදු වෙයි. බොරුවෙන්, වංචාවෙන් ඉවත් වී සත්‍යවාදී ව ජිවත්වන පුද්ගලයාගෙන් සොරකම් ආදී දුරාචාරයන් සිදු නොවෙයි. ඔහු සමාජ හිතකාමී සත් පුරුෂයෙකි. තම සිත, කය, වචනය යන තුන්දොර සංවර කර ගෙන ජීවත් වීම ‘සඤ්ඤමය’ නමින් හඳුන්වයි. සීලාචාරකම නමින් ද එය හඳුන්වයි. මෙසේ සදාචාර සම්පන්න දැහැමි ජීවිත ගත කරන්නෝ දෙලොව ජය ගන්නෝ මෙන්ම නිවන් මඟට පිවිසෙන්නෝ ද වෙති.

නිකිණි අමාවක පෝය

නිකිණි අමාවක පෝය අගෝස්තු 29 වනදා බ්‍රහස්පතින්දා අපර භාග 07.55 ට ලබයි. 30 වනදා , සිකුරාදා අපරභාග 04.07 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 30 වනදා සිකුරාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර්
06 වන දා සිකුරාදා

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 30

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 13

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 22

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]