[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වජ්‍ර ජයන්තිය සමරන උඩුවර ශ්‍රී සුධර්මාවාස මහා පිරිවෙන

වජ්‍ර ජයන්තිය සමරන උඩුවර ශ්‍රී සුධර්මාවාස මහා පිරිවෙන

ඌව පළාතේ, බදුල්ල දිස්ත්‍රික්කයේ, හාලිඇල උඩුවර ග්‍රාමසේවා වසමේ පිහිටි ශ්‍රී බෝධි අංගනාරාම පුරාණ විහාරස්ථ උඩුවර ශ්‍රී සුධර්මාවාස මහ පිරිවෙන ආරම්භ කොට මෙම සැප්තැම්බර් මස 01 වන දිනට වසර 75 ක් සපිරේ. ඒ වෙනුවෙන් පළකෙරෙන විශේෂ ලිපියකි.

20 වන සියවසේ දෙවන දශකයේ හෙවත් 1912 වර්ෂයේ ආරම්භ කළ බදුල්ල දිස්ත්‍රික්කයේ බෝගොඩ කෝරළේ උඩුවර ශ්‍රී බෝධි අංගනාරාමයෙහි සිරිලක් මාතාව සුදු අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලබන කාලය වන විට විහාරාධිපතීන් වහන්සේ ලෙස කටයුතු කරනු ලැබුයේ කණවැරැල්ල බැද්දේගම ශ්‍රී ගුණරතනාභිධාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය. උන්වහන්සේගේ පි‍්‍රය ශිෂ්‍යවරයන් වහන්සේලා වූ උඩුවර සීලරතන නාහිමි, කණවැරැල්ලේ සුමනසාර නාහිමි, ගොවුස්සේ සුමංගල නාහිමි ආදී නාහිමිවරුන්ගේ උනන්දුව හා කැපවීම මත මෙන් ම ප්‍රදේශයේ දායක දායිකාවන්ගේ පූර්ණ දායකත්වයෙන් 1944 සැප්තැම්බර් මස 01 වන දින මූලික පිරිවෙනක් ලෙස ආරම්භ කරන ලදී.

කෙසේ වෙතත් නිදහසේ උණුසුමට තුරුලු වෙමින් සතුටින් හා උද්ධාමයෙන් අභිමානිත ජාතියක් ලෙස ඉදිරියට ම යන සිරිලක් දූ පුතුන්ගේ පිනට 1948 පෙබරවාරි මස 22 වන දින කුඹල්වෙල අමිතසාර හිමියන්ගේ නම උඩුවර ශ්‍රී සුධර්මාවාස පිරිවෙනේ පළමු ශිෂ්‍යයන් වහන්සේ ලෙස ඉතිහාස ගතවෙමින් රජයේ ලියාපදිංචි පිරිවෙනක් ලෙස ආරම්භය සනිටුහන් වේ.

එදා මෙදා තුර හැත්තෑ පස් වසරක් අභිමානය සමරන මේ මොහොතේ දහස් ගණනක් භික්ෂු, භික්ෂුණි, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිසගේ ම ජාතික හා අධ්‍යාපනික අවශ්‍යතාවයන් ඉටු කරන්නට හැකි වී තිබේ.

මෙම පිරිවෙනෙහි අකුරු කළ, ගිහි පැවිදි උතුමෝ රැසක් දෙස් විදෙස් හි අග්‍රගණ්‍ය සේවාවන් කොට විශ්‍රාම සුවයෙන් හා දැනට සේවාවන් කරමින් ද සිටිති. තවද පිරිවෙනට ම අනුබද්ධ මහින්ද විද්‍යාලය නමින් වෙනම රජයේ අනුමත ආධාර නොලබන පුද්ගලික පාසලක් ද පවත්වාගෙන යනු ලැබේ.

පළමු ශ්‍රේණියේ සිට ප්‍රාචීන අවසාන පණ්ඩිත විභාගය දක්වා ප්‍රාචීන අධ්‍යාපනය ද, උපාධිය දක්වා වූ ප්‍රතිචීන අධ්‍යාපනය ද යන අංශ දෙකෙන් ම අධ්‍යාපනය නගා සිටුවමින් කටයුතු කෙරෙන අතර, බොහෝ පාසල් ඉගෙනුම් අවස්ථා අහිමි කර ගන්නා දූ දරුවන්ගේ නැණ නුවණ පාදමින් දෙපයින් සිටගන්නට කියා දෙන තෝතැන්නක් ලෙස මෙම පිරිවෙන් ආයතනය සඳහන් කරන්නේ ඉතා සතුටිනි.

වර්තමානය වන විට මෙහි ඉතා විශාල දියුණුවක් ඇති වෙමින් පවතින අතර, ඒ සඳහා යෝධ ශක්තියක් ලබා දෙමින් කෝටි තුනකට අධික මුදලක් වැයකොට ඉදි වූ නව තෙමහල් ගොඩනැගිල්ල ද මෙම පිරිවෙණට අභිමානයක් එක් කොට ඇත. විහාරස්ථානයේත්, පිරිවෙනේත්, මහින්ද විද්‍යාලයෙත් දියුණුවට හා ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාව දියුණු කරමින් වැඩ සිටින නියමුවාණන් වහන්සේ වන්නේ මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ ඌව නැගෙනහිර දෙපළාතේ උප ප්‍රධාන සංඝ නායක “ධර්ම කීර්ති ශ්‍රී සීලරතන” උඩුවර ශ්‍රී සෝමානන්දාභිධාන නා හිමිපාණන් වහන්සේ ය. විහාරාධිපතීන් වහන්සේ ලෙස ද, පිරිවෙන් අධ්‍යක්ෂ ස්වාමීන්ද්‍රයන් වහන්සේ ලෙස ද, උන්වහන්සේ සිය ජීවිතය ම මෙම පිරිවෙන් විහාරස්ථානය වෙනුවෙන් කැප කොට ඇති අතර, උන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ද ප්‍රාර්ථනා කිරීම යුතුකමක් වේ.

වර්තමාන පරිවේණාධිපති ස්වාමීන් වහන්සේ ඇතුලු දක්ෂ හා කාර්යශූර ආචාර්ය මණ්ඩලය හා දායක දායිකා සැමත්, මෙහි දියුණුව වෙනුවෙන් කරන්නා වූ සේවාව අගය කරන අතර, වසර 75 ක කාලයක් මෙම උඩුවර ශ්‍රී සුධර්මාවාස පිරිවෙණ දියුණු කරන්නට කටයුතු කළ ආදි කර්තෘන් වහන්සේලා ඇතුලු දායක දායිකාවන් සැමට ප්‍රණාමය හිමි විය යුතු ය. සියක් වස් කල් අධිකව ‘සුදම්වැසි‘ නාමය යෙහෙන් වැජඹේවා. 

නිකිණි අමාවක පෝය

නිකිණි අමාවක පෝය අගෝස්තු 29 වනදා බ්‍රහස්පතින්දා අපර භාග 07.55 ට ලබයි. 30 වනදා , සිකුරාදා අපරභාග 04.07 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 30 වනදා සිකුරාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර්
06 වන දා සිකුරාදා

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 30

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 13

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 22

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]