[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනියනං

රුහුණ විශ්ව විද්‍යාලයේ කුලපති ධූරයට අභිනවයෙන් පත් වූ

අකුරටියේ නන්ද නා හිමි


දකුණු සිරිලක නිල්වලා ගඟ මුහුදට පිවිසෙන මෝය ආසන්නයේ දර්ශනීය ඓතිහාසික මාතර පුරවරය පිහිටා ඇත. අධ්‍යාපනික වශයෙන් ගත් කල ඉකුත් සියවස අග භාගයේ දී මාතර නගරය කේන්ද්‍ර කරගෙන දකුණු පළාතේ ඉදි කළ උසස් ම ශාස්ත්‍රායතනය රුහුණ විශ්ව විද්‍යාලය යි.

1972 විශ්වවිද්‍යාල පනත යටතේ කැලණිය විශ්ව විද්‍යාලය ට අනුබද්ධ මණ්ඩපයක් ලෙස 1978 අගෝස්තු 28 වැනි දින මාතර වැල්ලමඩමේ දී රුහුණ විශ්ව විද්‍යාලය ආරම්භ කෙරිණි. 1978 අංක 16 දරණ විශ්ව විද්‍යාල පනත සම්මතවීමෙන් පසු 1979 ජනවාරි 01 වැනි දින සිට විශ්ව විද්‍යාල ආයතනයක් බවට උසස් කෙරිණි. ඉක්බිතිව විශ්ව විද්‍යාලයක් සඳහා අවශ්‍ය ගොඩනැගිලි ඉදිකිරීමෙන් පසුව 1984 පෙබරවාරි 01 වැනි දින මෙය විශ්ව විද්‍යාලයක් බවට පත් කෙරිණි.

මාතර වැල්ලමඩමේ ඉතා දර්ශනීය භූමි භාගයක විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර හා විද්‍යා පීඨත්, උපකුලපති කාර්යාලය, පුස්තකාලය හා විවිධ පහසුකම් පිහිටුවා තිබේ. එසේම මෙහි කෘෂිවිද්‍යා පීඨය, කඹුරුපිටිය මාපලානේත්, වෛද්‍ය පීඨය ගාල්ල කරාපිටියේත්, ඉංජිනේරු පීඨය ගාල්ල හපුගලත් පිහිටුවා තිබේ.

1984 දී රුහුණ විශ්ව විද්‍යාලයේ සමාරම්භක කුලපති ධුරයට පත්වූයේ ආචාර්ය පරවාහැර පඤ්ඤානන්ද නා හිමි ය. ඉක්බිතිව අත්තුඩාවේ සිරි රාහුල මහානාහිමි (වර්ෂ 2000-2011) පල්ලත්තර ශ්‍රී සුමනජෝති නා හිමි (2012-2019) යන රුහුණේ පහළ වූ අග්‍රගණ්‍ය විද්වත් යතිවරයන් වහන්සේලා පිළිවෙලින් රුහුණේ කුලපති ධුරය බැබළවූ හ.

රුහුණේ මෙකී විද්වත් යතිවර පරපුරෙහි වත්මන බබුළුවන හා ජාත්‍යන්තර තලයෙහි ඉහළින් ම සම්භාවනාවට පත් ආචාර්ය අකුරටියේ නන්ද නා හිමි මෙවර අභිනවයෙන් රුහුණේ කුලපති ධුරයට පත්ව තිබේ. කාලයක් ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ උපකුලපති ධුරය ද හෙබ වූ අභිනව කුලපති නා හිමියෝ විශ්වවිද්‍යාල පරිපාලනය පිළිබඳ වූ අත්දැකීම් සම්භාරයකින් ද යුක්ත වෙති.

රුහුණේ අභිනව කුලපති පදවිප්‍රාප්ත ආචාර්ය අකුරටියේ නන්ද නාහිමි දකුණු පළාතේ බද්දේගම අකුරටිය නමැති ගම් පියසෙහි විසූ සාම විනිසුරු පියදාස බෝපේ කොඩිතුවක්කු මහතාගේ හා ගුණවතී වීරතුංග මාතාවගේ අතිජාත පුත්‍ර රත්නයක් ලෙස 1954 ජනවාරි 20 වැනිදා ජන්ම ලාභය ලැබූ හ.

එවකට ලංකාණ්ඩුවේ ප්‍රධාන පිරිවෙන් පරීක්ෂක ධුරය දැරූ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක, විද්‍යෝදය පරිවේණාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති අකුරටියේ අමරවංස නා හිමියන්ගේ සහ ගාලු කෝරළයේ ප්‍රධාන සංඝ නායක ව වැඩසිටි බද්දේගම පුඤ්ඤසාර නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් 1965 ජුනි 24 වැනිදා පහළකීඹිය පුරාණ මහා විහාරයේ දී ප්‍රව්‍රජ්‍යාභාවයට පත්වූහ. ගාල්ලේ විද්‍යාලෝක පිරිවෙනට ඇතුළත් වූ උන්වහන්සේ ධර්ම විනය භාෂා ශාස්ත්‍රාදිය මැනවින් හදාළ හ. ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ උත්තරීතර විභාගයන් ගෙන් ද ඉතා උසස් ලෙස සමත් වූ හ.

1979 දී කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදි (ගෞරව) උපාධියත්, 1986 දී ශාස්ත්‍රපති උපාධියත්, 1990 දී බෞද්ධ අධ්‍යයනය පිළිබඳ වූ උසස් ඩිප්ලෝමාවත්, 1992 දී දර්ශනපති උපාධියත් පිළිවෙලින් ලබාගත් නන්ද නාහිමියෝ ඉක්බිතිව එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් ඉංගී‍්‍රසි ඩිප්ලෝමාවත්, තායිලන්තයේ මහාචූලාලංකාර රාජ්‍ය විශ්ව විද්‍යාලය, එංගලන්තයේ මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලය වැනි ඉහළ අධ්‍යාපන ආයතනයන් වෙතින් පශ්චාත් උපාධි, ඩිප්ලෝමා හා දර්ශන විශාරද උපාධිය හිමිකර ගත් හ.

එවකට ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයානුබද්ධ ආයතන සතරෙන් එකක් වූ විද්‍යෝදය ආයතනාධිපති ලෙස 1983 සිට 1994 දක්වා ක්‍රියා කළ අභිනව කුලපති නාහිමි 1994 සිට 1996 දක්වා ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරයා ලෙසද, සිංහල ශබ්ද කෝෂයේ ජ්‍යෙෂ්ඨ කර්තෘවරයෙකු ලෙස ද පසුව එහි ප්‍රධාන කර්තෘ ධූරයට ද පත්ව ඉතා දිගු කලක් අද්විතීය සේවාවන් රැසක් සිදු කළහ. මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනේ කෘත්‍යාධිකාරි ලෙස සිදුකරන සේවාව ද බෙහෙවින් ම සම්භාවනාව ට ලක් කළ යුත්තකි.

මහනුවර මල්වතු මහා විහාරය මගින් කොළඹ නව තොටමුණ සහිත බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක පදවිය උන් වහන්සේ වෙත පුද කළේ පූර්වෝක්ත සේවාවන් වෙනුවෙන් මහා විහාරය දැක් වූ ඉහළ ම ඇගයීමක් ලෙස යි.


දෙවුන්දර ධම්මරුචි හිමි


දෙවුන්දර එච්.එන්.පී නිහාල් විජයවීර සහ ඩී.පී.මැගලින් දම්පතීන්ගේ පවුලේ දෙවන පුත්‍ර රත්නය ලෙස එච්.එන්.නිහාල් විජයවීර උපත ලැබී ය.

දෙවුන්දර දාපුළුසෙන් කණිෂ්ඨ විද්‍යාලයෙන් ද, ශ්‍රී ජයවර්ධනපුර ග්‍රාමයේ හේවාවිතාරණ මහ විදුහලෙන් ද මූලික අධ්‍යාපනය ලැබී ය. 1979 අගෝස්තු 20 වන දින 11 වන වියේදී දෙවුන්දර ධම්මරුචි හිමි නමින් සසුන්ගත වී තම ගුරු දේවෝත්තම ශාස්ත්‍ර විශාරද රාජකීය පණ්ඩිත දෙවුන්දර ධම්මාරාම හිමියන් යටතේ ගුරු හරුකම් ලබා ගනු ලැබී ය.

හුණුපිටියේ ගංගාරාම ශ්‍රී ඥානේෂ්වර පිරිවෙනින් අධ්‍යාපනය ලබා උන්වහන්සේ 1989 ජූලි 07 වන දින උපසම්පදාවට පත්වූහ.

විහාරාධිපති ධුරයට ද පත් වූ උන්වහන්සේ සිය විහාරස්ථානය අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් කළහ. ශ්‍රී ධර්මාශෝක දහම් පාසල යළි ආරම්භ කළහ. ගල්කිස්ස දක්ෂිණාරාම පිරිවෙනේ ඉංගී‍්‍රසි විෂය උගන්වන ආචාර්ය හිමිනමකි. සිය විහාරස්ථානය තුළ දම්විදු පෙර පාසල ද ආරම්භ කළහ.

ප්‍රදේශයේ බෞද්ධ පුනර්ජීවය අරමුණු කර ගනිමින් රාජගිරියේ මිහිඳු මහා පෙරහර ආරම්භ කළ උන්වහන්සේ දිළිඳු දරුවන් උදෙසා සෑම මසකම ශිෂ්‍යාධාර ප්‍රදානය කිරීමට ද යුහුසුලු විය.

 


කැම්පනේ පේමරතන හිමි

සබරගමු දිසාවේ කොළොන්නා කෝරළයේ ඕමල්පේ කැම්පනේ බෝධිරුක්ඛාරාමාධිපතිව වැඩ විසූ, කැම්පනේ පේමරතනාභිධාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ වසර 107 ක් මුළුල්ලෙහි බහුජන හිතසුව පිණිස ජීවිතය කැප කොට, පසුගිය 06 වැනිදා අපවත් වී වදාළහ.

1913 දෙසැම්බර් 10 වැනිදා කැම්පනේ දී ජන්ම ලාභය ලැබූ පේමරතන ස්වාමීන්ද්‍රයෝ කුඩා කල සිට ම සසුන් ගතව, උගත මනා බණ දහම් මැනවින් ඉගෙන 1937 දී මල්වතු මහා විහාරයෙන් උපසම්පදාව ලැබූහ.

කැම්පනේ බෝධිරුක්ඛාරාමාධිපති ධුරයට පත් පේමරතන හිමියෝ, සිය පැවිදි සහෝදර කැටවල විපුලසාර හිමියන් සමඟ එක්ව එවකට අති දුෂ්කරව පැවති කොළොන්නා කෝරළයේ ආගමික, සාමාජික කටයුතුවල නිරත වූහ.

1955 සිට 86 දක්වා පුරා වසර 30 කට අධික කලක් ශ්‍රී පාදස්ථානයේ ආගමික සේවා ඉටු කළ උන්වහන්සේ හැටන් පාරේ පිහිටි නිශ්ශංකමල්ල ලෙන ආරක්ෂා කර ගැනීමට ද මැදිහත් විය. පේමරතන හිමියෝ රත්නපුර මුවගම සිරිවිසුද්ධාරාම පිරිවෙනට සම්බන්ධව ආගමික සේවා ඉටු කළහ. තම ජීවිතයේ අවසාන භාගය කොළොන්නා කෝරළයට කැප කළ පේමරතන හිමියෝ ඕමල්පේ, කැම්පනේ, දොරපනේ මහා මාර්ග සකස් කිරීමට, ප්‍රදේශයට විදුලිය ලබා ගැනීමට, ප්‍රවාහන පහසුකම් සැලසීමට රජයේ වගකිවයුත්තන්ගේ අවධානය යොමු කර වූ හ.

දුෂ්කර ගම්මානවල විහාරස්ථාන රැසක් ගොඩ නගා විශාල පැවිදි ගිහි ශිෂ්‍ය පිරිසක් ද තැනූහ. අපවත් වන තුරුම නිරෝගී, ක්‍රියාශීලි ,පරාර්ථකාමී, පැවිදි ජීවිතයක් ගත කළ පේමරතන ලොකු හාමුදුරුවන් වහන්සේට නිවන් සැප ලැබේවා.

නිකිණි අමාවක පෝය

නිකිණි අමාවක පෝය අගෝස්තු 29 වනදා බ්‍රහස්පතින්දා අපර භාග 07.55 ට ලබයි. 30 වනදා , සිකුරාදා අපරභාග 04.07 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 30 වනදා සිකුරාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර්
06 වන දා සිකුරාදා

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 30

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 13

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 22

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]