[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

නිකිණි අව අටවක 2019.08.23

වැඩිහිටි ආදර්ශයෙන් බාල පරපුර නිසිමඟට


උදාර මනුෂ්‍යත්වයක කැඩපත විනය යි. කය වචනය දෙකෙහි සංවරකම යි. එනම් සීලය යි. සිල්වත් සමාජයක ආකල්ප යහපත් ය. ආකල්පයන් පිරිහුණු තැන පුද්ගලයා පිරිහෙන්නේ ය. සමාජය පිරිහෙන්නේ ය. ආයතන පිරිහෙන්නේ ය. මුළු රටක පිරිහීම ඒ තුළ නිර්මාණය වන්නේ ය.

කුඩා දරුවාගේ සිට තරුණ, මහලු සමස්ත ප්‍රජාව තුළ ම ආකල්ප සංවර්ධනය අත්‍යවශ්‍ය ය. සමාජයේ බොහෝ පිරිසක් යහපත් ආකල්පයන්ගෙන් පිරිපුන් ය. ඔවුන්වෙත වන ගුණ ධර්ම සමාජය සුවඳවත් කරන්නේ ය. එසේ වුව ද පවුල් ඒකකයේ සිට එක් එක් සමාජ කණ්ඩායම් තුළ ස්වල්ප දෙනෙක් පමණක් පිරිහී ගිය ගුණධර්ම ඇතිව වෙසෙති. පිරිහුණ ආකල්පයන්ගෙන් කටයුතු කරති. සමාජය දුර්ගන්ධවත් කරති. ගුණ ධර්මයන්ගෙන් පිරිපුන් වූ තැන වන සුගන්ධය මකාගෙන ඒ දුර්ගන්ධය වේගයෙන් පැතිර යයි. එසේ වන්නේ ද ආකල්පයන්ගේ වරද නිසා ය.

අප ජීවත්වන සමාජයේ වැඩි දෙනෙක් හුරු, පුරුදුව සිටින්නේ නොහොඳ දකින්නට ය. හොඳ අපමණ වුව ද එහි විශේෂත්වයක් නොදකින්නට ය. විශේෂයෙන් ඇතැම් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන්ගෙන් අයහපත් සංසිද්ධීන්ට නිරන්තර ප්‍රමුඛත්වය දීම ඊට එක් හේතුවකි.

මනුෂ්‍ය ඝාතන, රිය අනතුරු, සොරකම්, මංකොල්ලකෑම්, දූෂණ මේ ආදී දේ නිරන්තරයෙන් අසන්නට, දකින්නට සැලැස්වීම තුළ එම සිදුවීම් සාමාන්‍යකරණය වේ. ඒ තුළ සිදු වන්නේ සමාජයම උඩුයටිකුරු වීම ය. එහෙත් වරදකරුවන් වන්නේ අතළොස්සකි. එහෙත් යහපත් ක්‍රියාකාරකම් සමාජය තුළ අපමණ වේ. ඒවා ජනපි‍්‍රය වන්නේ මන්දගාමීව ය. හොඳ දේ ගැන බොහෝ සෙයින් කතා කරන, අගය කරන තැනට අපගේ ආකල්පයන් සංවර්ධනය විය යුතුව තිබේ. නරක ඉස්මතු කොට පෙන්වනවාට වඩා, ඒ ගැනම කතා කරනවාට වඩා ඒවා නිවැරැදි කරන්නට හැකි ක්‍රියාමාර්ග සොයා යා යුතු තැනට අපගේ ආකල්පයන් සංවර්ධනය විය යුතු ව තිබේ. එවිට නරක පරදවා හොඳ සාමාන්‍යකරණය වේ.

පවුල තුළ පවා එය ක්‍රියාත්මක කළ හැකි ය. ඇතැම් මව්පියවරු දරුවන්ගේ සුළු වරද ම ඉස්මතු කොට දකිති. ඔවුන්ගේ එක් හොඳ ගුණාංගයකදු අගය නොකරති. ඒ තුළ දරුවා පෙළඹෙන්නේ හොඳ සපුරා අතහැර දැමීමට ය. ඒ හොඳ දේ කරන්නට උත්තේජනයක්, පෙළඹවීමක් නොලැබෙන නිසා ය.

ළමා මනස යහපත් ආකල්පයන්ගෙන් පෝෂණය කිරීම ඉතාමත් පහසු ය. එහෙත් ඊට වැඩිහිටි ආදර්ශය අත්‍යවශ්‍ය ය. අම්මා තාත්තාට යහපත් වචන පරිහරණයෙහි වැදගත්කම ගැන ආකල්පයක් නොවී, ඔවුන් නරක වචන බිණිමින් දරුවන්ට සුභාෂිත වන්නට අණ කළාට දරුවන් තෝරා ගන්නේ ඇස ගැටෙන දේ ය. ශ්‍රවණය වන දේ ය. නිවෙසේ එක් රැස්වන ඉඳුල් ටික, කුණු රොඩු ටික නිසි තැනක නිසි පරිදි බැහැර කරන තැනට වැඩිහිටියන්ගේ ආකල්ප ගොඩනැඟී නැති නම් දරුවන් ද ඒ සම්බන්ධව දක්වන ආකල්පය එ පරිදි ම ය. අද පටු මං මාවත්වල සිට මහා මාර්ගයන්හි ද ගොඩ ගැසී දුර්ගන්ධය වහනය වන කසළ මලු මිනිස් දෑතින් ගෙනැවිත් හොර රහසේ අත්හළ ඒවා ය. තමන්ට නොරිසි කුණු අනුන්ට රිසි වන්නේ කෙලෙස ද? මෙයින් සිදුවන පරිසර දූෂණය, බාල පරම්පරාවට දෙන ආදර්ශය මොන තරම් ව්‍යසනයක් ඇති කරන්නේ ද?

යහපත් ආකල්ප සංවර්ධනයෙහි ලා ඉතා වැදගත් වන්නේ අත්තූපනායික ධර්ම පර්යායට අනුව කටයුතු කිරීම ය. ඕනෑම කාර්යයක දී තමන් උපමාවට ගෙන තමන් අකැමැති දේට අනුන් ද අකැමැති වන බව දැන ඉන් වැළකිය යුතු ම ය. එවිට අනුන් වෙත හෙළන නොරිසි බැල්මකින් පවා වැළකීමට හැකි වනු ඇත. අයහපත් සිතිවිලි ඇති කරන බලපෑම පුද්ගලිකව තමන්ට ද හානිකර ම ය.

නිකිණි අව අටවක පෝය

නිකිණි අව අටවක පෝය අගෝස්තු 23 වනදා සිකුරාදා පූර්ව භාග 08.09 ට ලබයි. 24 වනදා සෙනසුරාදා පූර්වභාග 08.32 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 23 වනදා සිකුරාදා ය.

මීළඟ පෝය අගෝස්තු 30 වනදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 23

Full Moonඅමාවක

අගෝස්තු 30

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 13


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]