[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

විභජ්ජවාදයේ ඇත්ත

විභජ්ජවාදයේ ඇත්ත

පාලි වී පූර්ව භජ ධාතුවෙන් නිපන් “විභජති” යන ක්‍රියාපදය බෙදා දැක්වීම්, විස්තර කිරීම්, වෙන් කොට දැක්වීම්, ආදී අර්ථයන්හි යෙදේ. මෙයින් බිඳුණු ‘විභජ්ජ” යන පදය ද බෙදා දැක්වීම අර්ථවත් කරයි. “විභජ්ජ වදතීති විභජ්ජවාදී” (වජිරබුද්ධි ටීකා) යනුවෙන් දැක්වෙන විග්‍රහයන්ට අනුව බෙදා දක්වා අරුත් ප්‍රකාශ කරන නිසාම විභජ්ජවාද යන නම් යෙදී ඇත. සාරත්ථදීපනී ටීකාව ට අනුව විභජ්ජවාද යන පදය ආකාර කීපයකට අර්ථ නිරුක්ති ගන්වා ඇත.

එහිදී,

1. වේනෙය භාවයන් බෙදා දක්වන හෙයින්ද,

2. ශාස්වත උච්ඡෙද ආදිය බෙදා දක්වන නිසාද

3. ඨපනීය ප්‍රශ්න තැබූ නිසාද රාගාදී ධර්මයන්ගේ සිඳීම නිසාද

4. අන්තයකට නොපැමිණ මැදුම් පිළිවෙලෙහි වූ පටිච්චසමුප්පාදය දෙසූ නිසා ද බුදුරජාණන් වහන්සේ විභජ්ජවාදී යන නාමයෙන් හඳුන්වා ඇත.

විභජ්ජවාද යන යෙදුම විමසීමේ දී ඉතාමත් වැදගත්ම භාවිතය ලෙස බුදුරජාණන් වහන්සේගේ චතුර්විධ පඤ්හ වෙය්‍යාකරණය හැඳින්විය හැකි ය.

1. ඒකාන්ත ලෙස කරන විස්සර්ජනය

2. විභජ්ජවාද හෙවත් බෙදා දක්වා විසඳීම

3. තවත් ගැටලුවකින් සිදුකරන විස්සර්ජනය

4. ඨපනීය විස්සර්ජනය

මෙම ප්‍රශ්න විස්සර්ජන ක්‍රමවේද සතර තාර්කික පදනමක් මත ගොඩ නැගී ඇති ආකාරය මෙය විමර්ශනය කරන්නෙකුට පෙනී යයි. නමුත් බොහෝ විට මෙම ක්‍රමවේද සතරින් සමස්ත බුද්ධ දේශනයම හැඳින්විය හැකි එකම න්‍යාය ක්‍රමය නම් විභජ්ජවාද න්‍යාය යි. මෙම විභජ්ජවාද යන පදයට අදාළව තවත් වැදගත් කරුණක් වජ්ජියමාහිත සූත්‍රය තුළ දැක්වෙයි. එහිදී වජ්ජියමාහිත බ්‍රාහ්මණ තුමන් විසින් බුදුරජාණන් වහන්සේ පිළිබඳව අන්‍ය තීර්ථකයන්ට හඳුන්වා දෙනු ලබන්නේ සියලු තපස සහ දුෂ්කර පැවැත්ම ඒකාන්ත වශයෙන් ප්‍රතික්ෂේප නොකරන අතර ගැරහිය යුත්තාට ගරහන ප්‍රශංසා කළ යුත්තාට ප්‍රශංසා කරන නිසාම විභජ්ජවාදී නම් වන බවයි. මේ අනුව ගත් කල විභජ්ජවාද යන්න බෞද්ධ දර්ශනය හා එහි ස්වභාවය අර්ථකතනය කිරීමෙහි භාවිත වූවක් ලෙස සැලකිය හැකි ය.

නිකායාන්තර සම්භවය විමසීමේ දී ද විභජ්ජවාද යනුවෙන් ථේරවාදයෙන් බිඳීගිය එක් කොටසක් හැඳින් වූ අතරම එය වෙනම ශාඛාවක් ලෙස ප්‍රවර්ධනය වූ බවට කිසිදු සාධකයක් නැත.

විභජ්ජවාද යන යෙදුම ශාසනික ඉතිහාසයේ පරිභාවිත ඉතාමත් සුවිශේෂතම අවස්ථාව ලෙස හැඳිනිය හැක්කේ තෙවන ධර්ම සංගායනාවයි. එකල ශාසනික ප්‍රදීප්ත භාවය නිසාම ශාසනයට අන්‍ය තීර්ථකයන් ගෙන් එල්ල වූ බලපෑම ඉතාමත් විශාල විය. ලාභ කීර්ති තකා සසුනට ඇතුළු වූ අන්‍ය තීර්ථකයන් විසින් සසුන තම මතවාදයන් ඔස්සේ වනසමින් පැවති කාලවකවානුවක බුදු සසුන එම තත්ත්වයෙන් බේරා ගැනීම සහ ථේරවාද බෞද්ධ භික්ෂූන් වහන්සේලා සිවුරු පොරවාගත් අන්‍යාගමික පැවිද්දන්ගෙන් වෙන් කොට හඳුනා ගැනීමට භාවිත කරන ලද ප්‍රධානත ම නිර්ණායකය විභජ්ජවාද යන්නයි. එහිදී ‘කිංවාදී සම්මාසම්බුද්ධති?” බුදුරජාණන් වහන්සේ කිනම්වාදීදැයි සියලු භික්ෂූන්ගෙන් විමසන ලද අතර විභජ්ජවාදය මත පිහිටා පිළිතුරු දුන් හා විග්‍රහ කළ භික්ෂූන් වහන්සේලා හැරෙන්නට අනෙක් සැට දහසක පමණ ප්‍රමාණයක් සිවුරු හරවා බැහැර කරන ලදී. ඒ අනුව විභජ්ජවාද යන යෙදුම හුදෙක් ප්‍රශ්න විසඳීමේ ක්‍රමයකට පමණක් සීමා නොවුනු බව පැහැදිලි ය. එය ශාසනය නිරුපද්‍රිතව පවත්වන්නට උපකාර වූ න්‍යායාත්මක ක්‍රමවේදයක පරිභාවිත වූවැකැයි කීම යුක්ති සහගත ය.

විභජ්ජවාදයේ නූතන මුහුණුවර

විභජ්ජවාදයේ නූතන මුහුණුවරද අපට අර්ථ ගැන්විය හැක්කේ එදා තෙවන සංගායනා කල සිදු වූ සිද්ධිය හා සාම්‍ය සමාජ තත්ත්වයක් මත ය. එදා චීවර ධාරී වූ අන්‍යතිර්ථකයන්ගෙන් එල්ල වූ අර්බුදයම අද ශ්‍රමණ ප්‍රතිරූපකයන් වෙතින් ද එල්ල වී ඇත. ඉතාමත් සංවිධාන ගතව සිදුකරන එම කුමන්ත්‍රණකාරී පිළිවෙත මෙතෙක් නිරුපද්‍රිතව පැවත ආ ථෙරවාද සම්ප්‍රදායට මෙන්ම පෙළ, අටුවා, ටීකාවන්ට දැඩි බලපෑමක් එල්ලකොට ඇත. ධර්මය වේශයෙන් ම සිදුවන එම අධර්ම මතවාද පිරිසුදු ධර්මයේ පැවැත්මට බාධාවක් ව ඇත. සැඟවුණු බොදුමග අලුතෙන් මතු වූ බවට පාරම් බාන ඔවුන් අපූර්ව නිරුක්ති සැපයීමද කරනු ලබයි. නමස්කාරයේ බුදුගුණ ටිකේ සිට පටිච්චසමුප්පාදය වැනි ගැඹුරු ධර්ම සිද්ධාන්ත දක්වාම අවිධිමත් පද බෙදීම මගින් අර්ථ කථන සපයන අතර එය කිසිසේත්ම පෙළ දහමට අනුගත නැත. මෙවැනි මිථ්‍යාමතයන් මථනය කොට පිරිසුදු ථෙර්වාද බුදුදහම සුරැකීම නූතන විභජ්ජවාදයේ අරමුණ බවට පත්ව ඇත. එහිදී මහාසංඝරත්නය හා ගිහි පිරිස වෙත පිරිසුදු පෙළ දහම සම්ප්‍රේෂනය කිරීම මූලික පරමාර්ථයක් වන අතරම එහි ප්‍රධානතම වැඩසටහන ජූනි මස 29 වැනි දින කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට අවශ්‍ය කටයුතු දැනටමත් සූදානම් වෙම්න් පවතී. එහිදී 5000 මහා සංඝරත්නය උදෙසා විද්‍යුත් ත්‍රිපිටකය (ත්‍රිපිටක සඳහාම වෙන් වූ ) ටැබ් 5000 ක් පූජා කිරීමට බලාපොරොත්තු වන අතරම එමගින් මහා භික්ෂූන් වහන්සේලාගේ ධර්මඥානය වැඩිදියුණු කිරීමට ප්‍රභල හේතුවක් වනු ඇත. 

පොසොන් පුර පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පොහොය ජුනි 16 වන දා ඉරිදා අපරභාග 02.02 ට ලබයි.17 වන දා සඳුදා අපරභාග 2.00 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 16 වනදා ඉරිදා ය.

මී ළඟ පෝය ජුනි 25 වන දා අඟහරුවාදා

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 16

Second Quarterඅව අටවක

ජූනි 25

Full Moonඅමාවක

ජූලි 02

First Quarterපුර අටවක

ජූලි 09

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]