[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

57 වන වසර: ඓතිහාසික මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජා පුණ්‍ය මහෝත්සවය

57 වන වසර:

ඓතිහාසික මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජා පුණ්‍ය මහෝත්සවය

බෞද්ධ පත්‍ර කලා විශාරද
සීසර් සුදුසිංහ

අද වන් පින්බර පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයක ඓතිහාසික මිහින්තලා කඳු මුදුනින් ආරම්භ වී මෙරට සෑම දෙසටම ගලා ගිය ශාන්ති නායක තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නිර්මල ශ්‍රී සදහම් ගංගාවෙන් සියලු සිත් සතන් නිවී පහන් විය.

මෙරට දනන් අඳුරේ ගිලී සිටි මොහොතක දඹදිව් තලයේ සිට අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ වැඩමවීමෙන් හෙළදිව් තලයම සදහම් ආලෝකයෙන් ඒකාලෝක විය.

වසරේ දොළොස් පොහොයෙන් වෙසක් මහේ පුන් පොහොය ගෙවීයත්ම උදාවන පොසොන් මහේ පුන් පොහොය වෙසක් පොහොයට පමණක් දෙවන වන පොහොය යි. අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රධාන රාජකීය ධර්මදූත පිරිස සිරිලකට වැඩම කළ ඓතිහාසික දිනය පොසොන් පුර පසළොස්වක පෝදා ය. එදා පූජනීය මිහින්තලාවට වැඩම කළ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රධාන දූත පිරිස සිහියට නැගෙත්ම අප අතීත මුතුන් මිත්තන් මිහින්තලා පුදබිම දැකබලා ගනිමින් වැඳ පුදා ගැනීමට පුරුදු වී සිටි අයුරු සිහියට නැගේ. පූජනීය සොළොස්මස්ථාන අතර ද එක් ඓතිහාසික මෙන්ම වන්දනීය ස්ථානයකි මිහින්තලා පුදබිම.

හුළු අතු පන්දම් එළියෙන් ගිරිදුර්ග, වනදුර්ග, තරණය කරමින් එදා මිහින්තලාව වන්දනාවට පැමිණි ගමන් මග ගිමන් හරිමින් පැමිණියේ පහසුවෙන් නොවේ. කාලයාගේ ඇවෑමෙන් මිහින්තලා පුදබිම වන්දනා කිරීම සඳහා පැමිණි සැදැහැවතුන්ගේ ද සුව පහසුව පිණිස මිහින්තලා පුදබිම විදුලි බුබුළින් ඒකාලෝක කිරීමට, මෙයට පනස් හත් වසරකට පෙර පත්තර මහ ගෙදර කටයුතු යෙදීම ඓතිහාසික පුණ්‍ය ක්‍රියාවක් වේ.

මෙරට ජනතාවගේ නැණපහන් දැල්වීමට පත්තර මහ ගෙදර ලෙස විරුදාවලිය ලත් ලේක්හවුස් ආයතනය හෙවත් ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම කටයුතු යෙදීම ද සුවිශේෂී මෙහෙවරකි. සිංහල , ද්‍රවිඩ සහ ඉංගී‍්‍රසි භාෂාත්‍රයෙන් දිනපතා මෙන්ම සතිපතා පුවත්පත් නිකුත් කෙරෙන ලේක්හවුස් ආයතනය මගින් “දිනමිණ” , “සිළුමිණ”. ඩේලිනිව්ස්” “තිනකරන්” ‘සන්ඩේ ඔබ්සවර්” පුවත්පත්වලට අමතරව තවත් පුවත්පත් රැසක් නිකුත් කරමින් පාඨක නැණ පිපාසය සන්සිඳුවීමට සිදු කරනුයේ අනගි මෙහෙවරකි. එම ඓතිහාසික පුවත්පත් අතර පුවත්පත් කීපයක් ශතවර්ෂාධික කාලයක් පාඨක සිත් නැණ නුවණින් පොහොසත් කර තිබීම ද සුවිශේෂි කරුණක් වේ.

ඒ අතර බොදුජනයාගේ සදහම් පිපාසයට අස්වැසිල්ලක් ගෙන දෙමින් අඛණ්ඩව සතර පොහොයට ම නිකුත් කරන “බුදුසරණ” පුවත්පත මෙම පොසොන් පෝදා 54 වන වියට පත්වන අතර “බුදුසරණ” පුවත්පතෙහි දොරට වැඩීම ද එදා ඓතිහාසික මිහින්තලා පුදබිමේදී සිදුවීම සුවිශේෂී කරුණක් වේ.

ලේක්හවුස් ආයතනය භාෂාත්‍රයෙන් මෙසේ පුවත්පත් නිකුත් කරමින් පාඨක නැණ නුවණ දියුණුවට කටයුතු සලසනවා පමණක් නොව ඊට අමතරව ආගමික, සාමාජික මෙහෙවර රැසක් ද සිදු කරමින් සමාජය වෙත ඉටු කරනුයේ යුග මෙහෙවරකි.

අතීතයේ වත්මනෙහි මෙන් විදුලිබලය ව්‍යාප්තව නොතිබිණි. එබඳු කලක විදුලි ජෙනරේටර් උපකාරයෙන් මිහින්තලා පුදබිම විදුලි බුබුළුවලින් ඒකාලෝක විය. ලේක්හවුස් ආදි කර්තෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් පේරාදෙණිය සරසවිය ආදී උසස් අධ්‍යාපන ආයතන වෙනුවෙන් ද අමරණීය මෙහෙවරක් සිදු කර තිබීම ද කෘතවේදීව සිහිපත් කළ යුතුව ඇත. ලේක්හවුස් ආදි කර්තෘ ඩී.ආර්.විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ උදාර සංකල්ප මල්ඵල ගන්වමින් එතුමන්ගේ දයාබර පුතණුවන් වන රංජිත් විජයවර්ධන මහතා ලේක්හවුස් ආයතනයේ සභාපති ධුරයට පත්විය. එතුමන් සිය අධ්‍යක්ෂ මණ්ඩලයේ සහායෙන් මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව 1960 දශකයේ මුල භාගයේ දී ආරම්භ කළේය.

මිහින්තලා රජමහා විහාරාධිපතිව වැඩ විසූ වළවාහැංගුණවැවේ ශ්‍රී රතනපාල රතනජෝති නාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් ඇරැඹුණු මිහින්තලා ලේක්හවුස් ආලෝක පුජාව වසරෙන් වසර නවාංගයන් ද ඒකරාශි කරමින් උත්කර්ෂවත් අයුරෙන් පවත්වාගෙන එනු ලැබේ.

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාවෙන් පුදබිම ඒකාලෝක වු අතර අවට ප්‍රදේශයේ ද අධ්‍යාපනික , සාමාජික හා ආගමික මෙහෙවර රැසක් ද “ලේක්හවුස් ආයතනය මෙහෙයවීමෙන් සිදු කෙරිණි.

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාවේ අසිරිය රට පුරා පැතිර යන අතරතුර ආරම්භයේදී විදුලි ජෙනරේටර් භාවිතයෙන් ඇරැඹුණු ආලෝක පූජා මහෝත්සවයට සමගාමීව 1978 වසරේ දී ලංකා විදුලිබල මණ්ඩලයේ ද සම අනුග්‍රහය එක්වීමද අගනා ක්‍රියාවකි. මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව ක්‍රමවත්ව සහ විධිමත්ව පවත්වාගෙන යාමට මිහින්තලා ආලෝක භාරය ඇරැඹුණු අතර වළවාහැංගුණවැවේ ශ්‍රී රතනපාල රතනජෝති නාහිමියන් වෙතින් ද ඒ සඳහා අගනා සහායක් ලැබී ඇත.

ලේක්හවුස් ආයතනය අනුග්‍රහයෙන් 1989 දහම් පාසල් දරුවන් 125 දෙනෙකුගෙන් ඇරැඹුණු ළමා සීල සමාදාන පින්කම් ව්‍යාප්ත වී එය දහසක් දරුවන් වෙත මහා භාරකාර දෙපාර්තමේන්තුව සහ ලේක්හවුස් ආයතනය අනුග්‍රහයෙන් සිල් රෙදි පිරිනමා සිදු කෙරෙන සීල සමාදාන මහ පින්කමක් බවට පත් විය. මෙවර ද දහසක් සිල් පිරිස වෙත සිල් රෙදි පිරිනැමීමට මහා භාරකාර දෙපාර්තමේන්තුව හා ලේක්හවුස් ආයතනය කටයුතු යොදා තිබීම පැසසිය යුත්තකි.

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාවට සමගාමීව මිහින්තලා කම්මලක්කුලම විද්‍යාලයට විද්‍යාගාරයක් පිරිනැමීමත්, එම ගම්මානයට විදුලි ආලෝකය ලබාදීමත් සිදු විය. 1992 දී මිහින්තලේ රෝහලට මාතෘ නිවාසයක්ද, 1993 මිහින්තලා කණිටු විදුහලට දන්ත චිකිත්සාගාරයක් ලබාදීමත් , 1994 කුරුන්දන්කුලම වඩු කාර්මික හා වෘත්තීය පුහුණු වැඩ මුළුව ඇරැඹීම ද මිහින්තලා භාරයේ සුවිශේෂී මෙහෙවර අතර වේ. 1996 දී කටුපොත ගම්මානයේ පෙර පාසලක් ද ඇරැඹූ අතර මිහින්තලා මහා විද්‍යාලයට පරිගණක මධ්‍යස්ථානයක් පිහිටුවා පරිගණක පිරිනමා විදුලි පහසුකම් සැපයීමට මිහින්තලා ආලෝක භාරය කැපවී ය.

ලංකා විදුලිබල මණ්ඩලය තාවකාලික විදුලිබල පද්ධතිය නවීකරණයෙන් පසුව නව භූගත විදුලිබල පද්ධතියක් මගින් මිහින්තලා පුදබිම ඒකාලෝක කිරීමට කටයුතු සැලැසී ය. මිහින්තලා පතිරාජ තෙන්නකෝන් ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ ළමා උද්‍යානය නවීකරණය කරවීමත්, එම වසරේ දී ම මිහින්තලා රජ මහා විහාරස්ථ ඓතිහාසික උපෝෂථාගාරය මැලිබන් ආයතනය අනුග්‍රහයෙන් ඉදිකරවීමට ලේක්හවුස් ආයතනය මුල් විය.

මිහින්තලා රජ මහා විහාරාධිපති හා භාරකාර ශාස්ත්‍රපති වළවාහැංගුණවැවේ ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජා මහෝත්සවය වසරෙන් වසර නවතාවයෙන් සිදු කෙරෙනුයේ උන්වහන්සේගේ කාරුණික මාර්ගෝපදේශකත්වයෙනි.

ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ මැතිතුමා ඇතුළු ලේක්හවුස් පාලන අධිකාරියේ සහ ආයතනයේ පූර්ණ අනුග්‍රහයෙන් සහ මෙහෙයවීමෙන් ශෛලමය සම්බුදු සිරිපා අනුරුවක් රථ පෙරහරකින් දින කිහිපයක් පුරා කොළඹ සිට වැඩමවා ගුවන් මගින් උඩමළුවේ පසුගිය වසරේ දී තැන්පත් කිරීමට පියවර ගනු ලැබූහ.

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජා මහෝත්සවයෙන් ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ සිත් පහන් කරවීමට කර ඇති සුවිශේෂ මෙහෙවර අපමණ ය.

ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම සමඟ එක්ව ඩයලොග් ආයතනය, සිලෝන් බිස්කට් සමාගම ච්ජ්ඛ්ඛ් බැංකුව, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව ආදි ආයතනවලද අනුග්‍රහයෙන් ජුනි 15 වනදා සිට 17 වනදා දක්වා මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජා මහෝත්සවය මෙම වසරේ ද පවත්වනු ලැබේ.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආලෝක පූජා මහෝත්සවය පැවැත්වීමට නියමිත ය.

ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ මැතිතුමන් ප්‍රධාන අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ ලේක්හවුස් පාලන අධිකාරියේ පූර්ණ මෙහෙයවීමෙන් මෙවර සිදු කෙරෙන මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජා මහෝත්සවය 57 වන වරට පැවැත්වීම ඓතිහාසික මහ පුණ්‍ය ක්‍රියාවක් වේ. 

පොසොන් පුර පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පොහොය ජුනි 16 වන දා ඉරිදා අපරභාග 02.02 ට ලබයි.17 වන දා සඳුදා අපරභාග 2.00 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 16 වනදා ඉරිදා ය.

මී ළඟ පෝය ජුනි 25 වන දා අඟහරුවාදා

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 16

Second Quarterඅව අටවක

ජූනි 25

Full Moonඅමාවක

ජූලි 02

First Quarterපුර අටවක

ජූලි 09

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]