[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

විජ්ජාචරණ සම්පන්න නම් වන සේක

විජ්ජාචරණ සම්පන්න නම් වන සේක


මෙම ලිපියෙහි පළමු කොටස වෙසක් පුර පසළොස්වක පත්‍රයේ පළ විය.

දීඝ නිකායේ අම්බට්ඨ හා මජ්ක්‍ධිම නිකායේ සේඛ සූත්‍රයේ දී අංග නවයක් වශයෙන් මෙන්ම පහළොවක් වශයෙන් ද චරණ ධර්ම දේශනා කර තිබේ. සේඛ සූත්‍රය බුදුරදුන්ගේ ගුණ වර්ණනා කරමින් ශාක්‍ය වංශික මහානාම රජු උදෙසා ආනන්ද හිමියන් විසින් දේශනා කරන ලද්දකි.

දේශනාවසානයේ බුදුරදුන් සාධු සාධු ආනන්ද සාධු ඛො ත් වං ආනන්ද කපිලවත්ථවානං සාක්‍යානං සෙඛපටිපදාය අභාසි” යනුවෙන් “හොඳයි හොඳයි ආනන්දයෙනි, ඔබ ශෛක්‍ය ප්‍රතිපදාව පිළිබඳව ශාක්‍ය වැසියන්ට මැනවින් කියන ලද්දේය” යනුවෙන් උදම් අනා ඇත.එම සූත්‍රයේ සඳහන් වන අන්දමට යම්පි මහානාම අරියසාවකො සීලසම්පන්නො හොති ඉදම්පිස්ස හොති චරණස්මිං, යම්පි මහානාම අරියසාවකො ඉන්ද්‍රියෙසු ගුත්කද්වාරො...භොජනම්හි මත්තඤ්ඤු ජාගරියං අනුයුක්තො සත්තහී සද්ධම්මෙහි සමන්නාගතො චතුන්නං ඣානානං අභිචෙතසිකානං දිට්ඨධම්ම සුබවිහාරානං නිකාමලෙහි හොති අකිච්ඡාලාභී අකසිරලාභී ඉදම්පිස්ස හොති චරණස්මිං

එම පාඨයෙන් දැක්වෙන පරිදි චරණ නාමයෙන් හැඳින්වෙන්නේ සුපරිසුද්ධ ශීලයෙන් සමන්විත වු ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඇස, කන , නාසය, දිව , ශරීරය යන පංච ඉන්ද්‍රියන්ගේ සංවර බව කියැවෙන ඉන්ද්‍රිය සංවර සීලය, යම් ආහාරයක් ගැනීමේ දී එය තමාගේ කුසට ප්‍රමාණවත් වන පරිදි ගැනීම හා ඒ පිළිබඳ දැනීම ඇති භෝජනමත්තඤ්ඤුබව, උපන් නීවරණ ධර්ම යටපත් කරන තුරු නොනිදා කල්ගත කිරීමේ (සාමාන්‍ය නින්ද නොවේ) ජාගරියානුයෝගය, දන්දීම සිල් රැකීම ආදි සියලු කාර්යයන්හි දී ශ්‍රද්ධාව ඇතිකර ගැනීම, පව්පිළිකුල් කිරීමේ හෙවත් ඒවායෙහි ලජ්ජාවක් ඇතිවීම සිදුකරන හිරිය, පව් කිරිමට ඇති බිය වන ඔත්තප්පය , මුල මැද අග යන සෑම ස්ථානයක් පිළිබඳ සියල්ල දැනීමේ හැකියාව ඇති බහුශ්‍රැතභාවය අකුසලයන් ප්‍රහාණය කොට නොපසුබට බස්නා වීර්යයෙන් කටයුතු කිරීමේ වීර්යය අකුසල ධර්මත් සිතට පවත්වන්නට නොදී කුසලය මතුකර දෙන බොහෝ කල්ගත වූ දේ පවා සිතට නඟා දෙන ප්‍රඥාවෙන් සමන්විත වූ මනා සතිය හෙවත් සිහිය, සංස්කාර ධර්මයන්ගේ ඇතිවීම, නැතිවීම දැකීමට සමත් වන්නා වූ ලෝභ, ද්වේෂ මෝහ ආදි අන්ධකාරයෙන් මිදීමට ඒවා දුරුකිරීමට සමත් ආර්ය ප්‍රඥාව මාර්ග ප්‍රඥාව ඇතිකර විදර්ශනා ප්‍රඥාව ප්‍රථමධ්‍යාන, ද්විතියධ්‍යාන, තතියධ්‍යාන හා චතුත්ථධ්‍යාන යන ධ්‍යාන සතරද ඇතුළුව මෙහි පසළොස්චරණ දැක්වේ. ඒ අනුව ත්‍රිවිද්‍යා හා පසළොස්චරණ ධර්ම දෙකෙහි එකතුවෙන් ලබාගන්නා ඤාණයක් ඇති බැවින් බුදුගුණ සිහිකිරීමේ දීි එය ගුණයක් සේ සලකා භාවනාවට යොමු විය හැකිය. මුලින් සඳහන් කළ පරිදි මෙම ගුණය බුදුරදුන්ට අසීමාන්තිකව ලබාගත හැකි දෙයක් වන අතර අනෙකුත් අර්හත් මාර්ගයට පිළිපන්නා වූ ශ්‍රාවකයින් හට ඒ ඒ පුද්ගලයාගේ හැකියාවන් විද්‍යාචරණ සම්පත්තිය ඇත්තේ ය.

මෙබඳු ගුණයන් ලබා ගැනීමේ දී බුදුරදුන්හට පැවැති ආර්යය විද්‍යාව පිළිබඳ මෙනෙහි කිරීම තුළින් එය ලැබිය හැකි අතර, වීර්යය නොවඩා කාමාදී ආශ්‍රවයන් නැති කොට නිවනට යා නොහැකි ය. ඊට පූර්ව ප්‍රතිපත්තිය වූ චරණ ධර්මයන් පිළිබඳ දැනීම නොමැතිවද නිවනට පැමිණ දුක් කෙළවර කළ නොහැකි ය. අර්හත් මග්ගයට පෙරුම් පුරණ සමයේ දීම විද්‍යා පක්ෂයට අයත් පාරමිතාවන් හා චරණ පක්ෂයට අයත් පාරමිතාවන් පිරිය යුතු ය. චරණ පක්ෂයට අයත්වන පාරමිතාවන් වන්නේ දාන, සීල හා සමාධි යන ඒවා ය. විද්‍යා පක්ෂයට අයත් පාරමිතා වනුයේ ස්කන්ධාදී ධර්ම විභාග ඉගෙනීමයි.

විජ්ජාචරණ යනුවෙන් හැඳින්වුවත් මූලිකව මෙනෙහි කළ යුත්තේ හෝ පිරිය යුත්තේ චරණ ධර්මයන් ය. චරණයේ නොපිහිටා මරණය නොලැබ විද්‍යාව හෙවත් දැනීම කිසි ලෙසකින්වත් ලබාගත නොහැකිය. මෙහි සඳහන් වන මරණ පක්ෂය පමණක් කෙනෙක් පාරමිතා වශයෙන් පුරන්නේ නම්, ඔහු අතීතයේ සම්පාදනය කරගත් බීජය පමණක් ඇති බැවින් බුදුරජාණන් වහන්සේ සමීපයේ බණ ඇසීමේ හැකියාව පමණක් ඇති කරගනී. ඒ කිසිවෙකුත් බුදුරදුන් හමුවේ මග ඵල ලැබීමේ හැකියාව ලබා නොගනී. මඟ ඵල ලබාගැනීමට නම්, ත්‍රිවිද්‍යා උපදවා ගැනීමට හේතුවන පාරමිතාවන් ද පූරණය කළ යුතු ය. බුදුරදුන් මෙම ගුණයෙන් යුක්ත වන්නේ එකී චරණ ධර්ම මෙන්ම ත්‍රිවිද්‍යාවන් ද පෙර භවයන්හි පාරමිතා වශයෙන් පූරණය කළ බැවිනි.

වෙසක් අව අටවක පෝය

වෙසක් අව අටවක පෝය මැයි මස 26 වන දා ඉරිදා අපරභාග 08.49 ට ලබයි. 27 වන දා සඳුදා පූර්ව භාග 11.16 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි 26 වන දා ඉරිදා ය.

මීළඟ පෝය ජූනි 02 වන දා ඉරිදා

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 26

Full Moonඅමාවක

ජූනි 02

First Quarterපුර අටවක

ජූනි 10

Full Moonපසෙලාස්වක

ජූනි 16

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]