[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සසර තරණය 14: ධර්මයට සාපේක්ෂව පොතේ උගත්කම ප්‍රාථමික යි

සසර තරණය 14:

ධර්මයට සාපේක්ෂව පොතේ උගත්කම ප්‍රාථමික යි

ගොඩ දෙනෙක් කියන දෙයක් නේ, ඔය ඔක්කෝම ඉගෙන ගෙන ඉන්න ඕනෑද නිවන් දකින්න? මේක වෙන , වෙනම සටහන් හදලා පාඩම් කරන්න ඕනේ නැහැ. නමුත් මෙතන සිද්ධ වෙන්නේ , සළායතන නිරෝධය පිළිබඳව අවබෝධ කරගන්න එකයි, නිවන් දකිනවා කියන්නේ. ඒ නිසා ඒකට ගොඩක් ඉගෙන ගන්න ඕනේ කියන්නේ නැහැ. මේ ධර්මතාවය ගැන නුවණ තියෙන්නට ඕනේ.

මෙච්චර ගොඩක් කථා කළාට, ඔය ඔක්කොම තේරුම් අරගෙනද, සුනීත, සෝපාකලා නිවන් දැක්කේ කියලා සමහර අය ප්‍රශ්නයක් අහනවා. හැබැයි, ඒ අයට අමතක යි, සුනීත, සෝපාකලා නිවන් දැක්කට, සච්චක නිවන් දැක්කේ නැහැ කියන්න. සච්චක කියන්නේ මහා පණ්ඩිතයෙක් නේ. මහා වාදියෙක් නේ. ඒ සමාජයේ හිටපු මහා වාද කරන කෙනෙක් නේ. එයා ම , එයා ගැන කියන්නේ ‘මම ගිහිල්ලා ගල් කණුවකට වාදයට කථා කළොත් ගල් කණුවත් පෙරෙළෙනවා’ කියල යි. එයාම එයා ගැන කියන්නේ එහෙම යි. එතකොට එපමණ දැනගෙන හිටපු ත්‍රිවේධපරප්‍රාප්තව හිටපු ඒ බ්‍රාහ්මණයාට බැරිවුණා, ධර්මය අවබෝධ කරන්න. සුනීත, සෝපාකලා නිවන් දැක්කා. ඒකෙන් කියන්නේ භෞතික උගත් බව නෙවෙයි, ධර්මාවබෝධයට බලපාපු සාධකය. කෙන, කෙනා සතු ජීවිතය පිළිබඳ අවබෝධ කරගන්න , ලෝකය පිළිබඳව දැනගන්න, යථාර්ථය තේරුම් ගන්න ප්‍රඥාව.

සෝපාක හාමුදුරුවන්ට අවුුරුදු හත යි. ‘ඒකනාමකිං’ කියලා අහන කොට ‘සබ්බේ සත්ථා අහාරට්ඨිතිකා’ කියලා පිළිතුරු දුන්නා. ‘ද්වේනාමකිං’ කියලා අහනකොට ‘නාමංඡ රූපංඡ’ කියලා පිළිතුරු දුන්නා. එක කියලා කුමක්ද කියලා අහනකොට ‘සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා’ කියලා කිව්වා. සියලු සත්ත්වයෝ ආහාරයෙන් යැපෙන්නේ යනුවෙන් පිළිතුරු දුන්නේ. සියලු සත්ත්වයෝ හේතු ප්‍රත්‍යයන්ගෙන් යැපෙන්නේ. හේතු ප්‍රත්‍ය නිසා හට ගන්නේ. හේතු ප්‍රත්‍ය නැතිවෙන කොට නිරුද්ධ වන ධර්මයක් හැටියට ප්‍රකාශ කළා. මුළු තුන් ලෝකයේ ම එක් ආකාරයකට සංග්‍රහ කරලා පෙන්නුවා, එක කියන්නේ මොකක්ද කියලා, අපෙන් කවුුරු හරි ඇහුවොත්, එක කියන්නේ මොකක්ද කියලා? මොන විදිහේ උත්තරයක් දෙයි ද? එක කියන්නේ එක. එක කියන්නේ දෙක නෙවෙයි. එතකොට හිතන්නකො, ඉන්ද්‍රිය කොපමණ වැඩිලා තිබුණ ද කියලා? අපට ඇඟ දිහා බලා, වයස දිහා බලා, ඉන්ද්‍රිය ගැන කථා කරන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ . බාහිර උගත්කම දිහා බලලා ඉන්ද්‍රිය ගැන කථා කරන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒ නිසා මොකද මේ කරුණු ටික මතක් කළේ? ගොඩක් වේලාවට ධර්මය හොයාගෙන යනකොට බොහෝ දෙනෙක් සමාජය දුවන රැල්ලට දුවන්න පටන් ගන්නවා.

එහෙම වුණොත්, ඇතැම් වේලාවට මහා විනාශයකට පත් වෙනවා. ඒකම වර්තමානය තුළ බොහෝ අධර්මවාදී පිරිස්, උපක්‍රමයක් විදිහට භාවිත කරනවා, වෛද්‍යවරු මෙපමණ නිවන් දැක්කා, ඉංජිනේරුවෝ මෙපමණ නිවන් දැක්කා. බණ අසා සෝවාන් වුණා කියලා සමාජයට කියනවා. එවිට මොකක්වත් නොදන්න සාමාන්‍ය ජනතාව කල්පනා කරනවා, මෙතන බණ අහන්නේ උගත් අය. ඒ නිසා අපිත් යන්න ඕන ඒක අහන්න කියලා, අධර්මයට යොමු වෙනවා. අර කාරණාව ගැන අවබෝධයක් නැතිව . එතකොට මෙතන තියෙන ප්‍රශ්නය ඒ අයගේ උගත්කම නෙවෙයි, ඒ අයගේ උගත් බව ධර්මයට සාපේක්ෂව ඉගෙන ගත්ත විෂය බොහොම ප්‍රාථමික දෙයක්. ඒ හැම විෂයක් ම ඇති දේ මත ගොඩ නැඟුණු සාක්ෂත අන්තය තුළ ගොඩනැඟුණු දෙයක්. එතකොට ඒ එකක්වත්, යථාර්ථය නෙවෙයි. යථාර්ථවාදී ධර්මයට සාපේක්ෂව ඒවා බොහොම ප්‍රාථමික යි. එතකොට ඒ අය ගියා කියලා, අපේ නුවණ මොට කර ගැනීමේ අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ.

ඒ නිසා මේ ආගන්තුක සූත්‍රය බොහොම වැදගත් කෙනෙකුට. හොඳට ධර්මය විශ්ලේෂණය කරගන්න කොට තමා තුළ හොඳට ධර්මය ප්‍රත්‍යක්ෂ වෙනවා කියලා කියනවා නම්, මාර්ග ඵලවලට පත් වෙනවා කියලා කියනවා නම්, තමන් තමන් කෙරෙහි දකින්න මට පංච උපාදානස්ඛන්ධය ස්කන්ධ ධර්මතා වෙන්වෙලා, මේක හොඳට පිරිසිඳ දකින නුවණක් ඇතිවෙලා තියෙනවා ද? මට චතුරාර්ය සත්‍ය ධර්මය හොඳට අවබෝධ වෙලා තිබෙනවා ද? භව තණ්හාව මොන මට්ටමකින් ද මට දුරු වෙලා තියෙන්නේ? ඊට පසුව මට ත්‍රිවිද්‍යා සහ විමුක්ති ධර්මයන් කෙතරම් දුරට පිරෙනවා ද? එතකොට මට අවිජ්ජා රාග, විරාග, චේතෝ විමුක්ති අවිජ්ජා විරාගි පඤ්ඤා විමුක්ති ඇති වෙනවා ද? මේ වඩන දර්ශනය තුළ යනුවෙන් හොඳට තමන් තුළ බලන්න.

වෙසක් අව අටවක පෝය

වෙසක් අව අටවක පෝය මැයි මස 26 වන දා ඉරිදා අපරභාග 08.49 ට ලබයි. 27 වන දා සඳුදා පූර්ව භාග 11.16 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි 26 වන දා ඉරිදා ය.

මීළඟ පෝය ජූනි 02 වන දා ඉරිදා

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 26

Full Moonඅමාවක

ජූනි 02

First Quarterපුර අටවක

ජූනි 10

Full Moonපසෙලාස්වක

ජූනි 16

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]