[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ලේක්හවුස් ආයතනය බෞද්ධ පුනර්ජීවනයට සුවිශාල වැඩකොටසක් සිදුකරනවා

ලේක්හවුස් ආයතනය බෞද්ධ පුනර්ජීවනයට සුවිශාල වැඩ කොටසක් සිදුකරනවා


ලේක්හවුස් ආයතනය මෙරට බෞද්ධ පුනර්ජීවනය උදෙසා සුවිශාල වැඩ කොටසක් සිදුකරන බව මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක මාහිමිපාණන් වහන්සේ දෙනම හා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නාහිමියෝ ප්‍රකාශ කළහ.

ආමිස පූජාව මෙන්ම ප්‍රතිපත්ති පූජාව වෙනුවෙන්ද පසුගිය දශක ගණනාව තුළ ලේක්හවුස් ආයතනය සිදුකර තිබෙන සේවාව මහා සංඝරත්නයේ මෙන්ම මෙරට බෞද්ධ ජනතාවගේ ද පැසසුමට ලක්ව තිබෙන බව ද උන්වහන්සේලා පැවසූහ.

ලේක්හවුස් ආයතනයේ සභාපති ක්‍රිශාන්ත ප්‍රසාද් කුරේ මහතාගේ මග පෙන්වීමෙන් හා සේවක පිරිසගේ දායකත්වයෙන් වෙසක් උත්සවය නිමිති කොටගෙන වාර්ෂිකව පළ කරනු ලබන දිනමිණ වෙසක් කලාපයේ හා බුදුසරණ වෙසක් පුවත්පතේ පිටපත් අතිපූජ්‍ය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේලාට ලේක්හවුස් ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර (මෙහෙයුම්) චන්ද්‍රලාල් සූරියආරච්චි ,කළමනාකරණ කර්තෘ (ප්‍රකාශන දෙපාර්තමේන්තුව ) ඉන්දික කුඩාහෙට්ටි, බුදුසරණ කර්තෘ මණ්ඩල උපදේශක, බෞද්ධ පත්‍රකලා විශාරද සීසර් සුදුසිංහ යන මහත්වරු මල්වතු හා අස්ගිරි මහ විහාරයන්ට හා මැණික්හින්න විද්‍යා සාගර පිරිවෙණට ගිය අවස්ථාවේ මහා නායක ස්වාමින්ද්‍රයන් වහන්සේලාට පිළිගැන් වූහ.

ශ්‍රී දළදා මාලිගාවට ගොස් දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් පසු පිරිස මල්වතු මහා විහාරයට ගොස් එම පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියන්ද, අස්ගිරි මහා විහාරයට ගොස් එම පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන මහ නාහිමියන්ද බැහැදැක ආශිර්වාද ලබා ගත්හ . පසුව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි මහා නාහිමියන් මැණික්හින්න විද්‍යා සාගර පිරිවෙණේදී බැහැදැක උන්වහන්සේට දිනමිණ වෙසක් කලාපය හා බුදුසරණ වෙසක් පුවත්පත පිළිගන්වනු ලැබූහ.

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව වැනි වැඩසටහන් ක්‍රියාත්මක කරන අතරතුර සතර පොහොයටම පළවන බුදුසරණ පුවත්පත මගින් බුදුදහම පිළිබඳ සාමාන්‍ය ජනතාව තුළ පවත්නා අවබෝධය පුළුල් කිරීම සඳහා වැදගත් හා හරවත් ලිපි පළ කෙරෙන බවද උන්වහන්සේලා ප්‍රකාශ කළහ. මහා සංඝරත්නයේ මෙන්ම බෞද්ධාගමික විද්වතුන්ගේ හරවත් ලිපි එකතුවකින් සතිපතා බුදුසරණ පුවත්පතත්, වාර්ෂික දිනමිණ වෙසක් කලාපයත් සමන්විත වන බවද මහනාහිමිවරු පැවසූහ. සතර පෝය පදනම් කර ගනිමින් ප්‍රකාශයට පත් කෙරෙන බුදුසරණ පුවත්පත අඛණ්ඩව වසර 54 ක් ජනතාව අතට පත් කිරීම අගය කරන බවද මෙහිදී මල්වතු අස්ගිරි හා රාමඤ්ඤ මහා නිකායේ මහානාහිමිවරු ප්‍රකාශ කළහ. ලේක්හවුස් නියෝජිත පිරිස මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනාහිමියන් ද බැහැදැක දිනමිණ වෙසක් කලාපයේ හා බුදුසරණ වෙසක් කලාපයේ පිටපත් පිළිගැන්වූහ.

එහිදී අදහස් දැක්වූ අනුනාහිමියෝ, ලේක්හවුස් ආයතනය මගින් පළ කරන බුදුසරණ පුවත්පත හා දිනමිණ වෙසක් කලාපයන්හි දහම් පාසල් අධ්‍යාපනය ලබන දරුවන්ට ප්‍රයෝජනවත් ලිපි රැසක් අන්තර්ගත වන බවත්, පුස්තකාලවල පවා සංරක්ෂණය කර තබා ගන්න තරමට මේවා දහම් කරුණුවලින් පෝෂණය වී තිබෙන බවත් පැවසූහ.

ඩී.ආර්.විජයවර්ධන ශ්‍රීමතාණන් විසින් ආරම්භ කළ ලේක්හවුස් ආයතනය පත්තර මහගෙදර යන විරුදාවලිය ලබමින් සියවසකටත් වැඩි කාලයක් මුළුල්ලේ රට,ජාතියට හා ආගමට සිදුකරන සේවාව අගය කරන බවද උන්වහන්සේ කීහ. ශ්‍රී දළදා මාලිගාව මගින් සැම මසකම පුන් පොහෝ දින නිකුත් කරනු ලබන දළදා වරුණ පුවත්පත නොමිලයේ මුද්‍රණයකර දෙමින් ලේක්හවුස් ආයතනය සිදුකරන සේවය ද මෙහිදී අනුනාහිමියෝ අගය කළහ.

මෙහිදී අදහස් දැක්වු ලේක්හවුස් ජ්‍යෙෂ්ඨ කළමනාකාර (මෙහෙයුම්) චන්ද්‍රලාල් සූරියආරච්චි මහතා දිනමිණ වෙසක් කලාපය අඛණ්ඩව අසූහත් වන වරට මෙවර නිකුත් කළ බවත්, බුදුසරණ පුවත්පතට මේවන විට වසර 54 ක ඉතිහාසයක් තිබෙන බවත් කීවේ ය.

ලේක්හවුස් ආයතනය ලාභය නොව සමාජ යහපතට මූලිකත්වය දෙමින් තම ප්‍රකාශන එළිදැක්වීමට නිතර උනන්දු වන බවද ඒ මහතා ප්‍රකාශ කළේ ය.

බෞද්ධ පුවත්පත් මගින් සිදුකරන සේවාවට අමතරව ලේක්හවුස් ආයතනය මිහින්තලා ආලෝක පූජාවද වාර්ෂිකව සිදුකරන බව සූරියආරච්චි මහතා කී ය.

දිනමිණ වෙසක් කලාපයේ හා බුදුසරණ වෙසක් පුවත්පතේ පිටපත් ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා වෙත ශ්‍රී දළදා මාලිගාවේදී පිළිගැන් වූහ.


ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහා නාහිමිපාණන් වහන්සේට ලේක්හවුස් ආයතනයේ සාමාන්‍යාධිකාරි අභය අමරදාස මහතා විසින් බුදුසරණ වෙසක් පුවත්පත පිළිගන්වන ලදී. බුදුසරණ කර්තෘ මණ්ඩලයේ උපදේශක සීසර් සුදුසිංහ මහතා ද එම අවස්ථාවට සහභාගි විය. ඡායාරූපය සමන් ශ්‍රී වෙදගේ

930,1940 ආදි දශකවල දිනමිණ වෙසක් කලාපය මෙරට ගිහි පැවිදි සැම දෙනා අතර ආගමික හා සාහිත්‍යය දෙඅංශයෙන්ම ඉමහත් ගෞරවයට පාත්‍රව පැවැති දහම් සංග්‍රහයක් බව ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහා නාහිමියෝ පැවසූහ. උන්වහන්සේ එසේ පැවසුයේ බුදුසරණ වෙසක් පුවත්පතේ පිටපතක් ගල්කිස්ස ධර්මපාලාරාමයේ දී පිළිගැන්වූ අවස්ථාවේදී ය. බුදුසරණ වෙසක් පුවත්පතෙහි පිටපතක් ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සාමාන්‍යාධිකාරි අභය අමරදාස මහතා විසින් කොටුගොඩ මහානාහිමියන් වෙත පිළිගැන්විය.

පැළෑණේ සිරි වජිරඤාණ මහා නාහිමි. මඩිහේ පඤ්ඤාසීහ මහා නාහිමි, කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නාහිමි, කළුකොඳයාවේ ශ්‍රී ප්‍රඥාසේකර මහා නාහිමි, බඹරැන්දේ සිරි සීවලී නාහිමි. නාරද නාහිමි ආදි සම්භාවනීය මහා සංඝරත්නය සහ මහාචාර්ය ජී.පී. මලලසේකර, පී.ද. එස්.කුලරත්න මුල්ලපිටියේ කේ.එච්.ද සිල්වා සහ විමලේන්ද්‍ර වතුරේගම ආදි සම්භාවනීය ගිහි භවතුන්ගේද ගැදි, පැදිවලින් සමන්විතව දිනමිණ වෙසක් කලාපය වාර්ෂිකව ලේක්හවුස් ආයතනය මගින් නිකුත් කරන ලද බව උන්වහන්සේ පැවසූහ.

ලේක්හවුස් ආයතනයෙහි සිදුකෙරෙන එම මෙහෙවර අඛණ්ඩව සිදුකිරිම පැසසිය යුතු අතර වෙසෙසින්ම ත්‍රිපිටකය ප්‍රධාන ධර්ම සාහිත්‍යය හදාරන නවක භික්ෂූන් වහන්සේ නව ලේඛක පරපුරට එක්කර ගැනීමෙන් බුදුසරණ පුවත්පත මගින් මහගු මෙහෙවර රට දැය සමයට සිදුකළ හැකි බවත් කොටුගොඩ ධම්මාවාස මහා නාහිමියෝ පෙන්වා දුන්හ.


දිනමිණ වෙසක් කලාපයේ හා බුදුසරණ වෙසක් පුවත්පතේ පිටපත් ලේක්හවුස් ජ්‍යෙෂ්ඨ කළමනාකාර (මෙහෙයුම්) චන්ද්‍රලාල් සූරියආරච්චි, කළමනාකරණ කර්තෘ (ප්‍රකාශන දෙපාර්තමේන්තුව) ඉන්දික කුඩාහෙට්ටි, බුදුසරණ කර්තෘ මණ්ඩල උපදේශක බෞද්ධ පත්‍රකලා විශාරද සීසර් සුදුසිංහ යන මහත්වරු මල්වතු අස්ගිරි හා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාටත් මල්වතු අනුනා හිමියන්ටත් ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේතුමන්ටත් පිළිගැන්වූ අයුරු සේයාරූවලින් දැක්වේ.

ඡායාරූප – රුවන් මීගම්මන හා සුනිල් ගුණවර්ධන කුණ්ඩසාලේ සමූහ

 

වෙසක් අව අටවක පෝය

වෙසක් අව අටවක පෝය මැයි මස 26 වන දා ඉරිදා අපරභාග 08.49 ට ලබයි. 27 වන දා සඳුදා පූර්ව භාග 11.16 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි 26 වන දා ඉරිදා ය.

මීළඟ පෝය ජූනි 02 වන දා ඉරිදා

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 26

Full Moonඅමාවක

ජූනි 02

First Quarterපුර අටවක

ජූනි 10

Full Moonපසෙලාස්වක

ජූනි 16

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]