[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සුත්ත නිපාතයෙන් ...: මුනි කියා පවසන්නේ කෙලෙසින්ද? කා හටද? - සභිය සූත්‍රය

සුත්ත නිපාතයෙන් ...:

මුනි කියා පවසන්නේ කෙලෙසින්ද? කා හටද?

- සභිය සූත්‍රය

අද අපි ඉගෙන ගන්නේ සුත්ත නිපාතය ග්‍රන්ථයේ මහා වර්ගයේ සභිය සූත්‍රය යි.

එකල භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ රජගහනුවර ලේණුන්ගේ අභය භූමියක් වූ වේළුවනාරාමයෙහි ය. එ සමයෙහි සිටි සභිය නම් තාපසයෙකුට පැරැණි ලේ ඥාතියෙකු වන දෙවියෙකු විසින් ප්‍රශ්න කිහිපයක් උගන්වා මෙසේ ප්‍රකාශ කොට තිබුණි. “පින්වත් සභිය, යම් ශ්‍රමණයෙක් වේවා, බ්‍රාහ්මණයෙක් වේවා ඔවුන්ගෙන් ඔබ මේ ප්‍රශ්න විමසූ විට නිසි පිළිතුරු සපයයි නම්, එසේ පිළිතුරු දෙන පුද්ගලයා ළඟ ඒ ධර්මයේ හැසිරෙන්න” කියා.

එවිට සභිය තාපසයා එම දෙවියාගෙන් ඒ ප්‍රශ්න ඉගෙන ගෙන, පිරිස් සහිත වූ, ප්‍රසිද්ධ, කීර්තිමත් බොහෝ ජනයා විසින් යහපත් යැයි සම්මත කරන ලද පූර්ණ කස්සප ආදී ෂඩ් ශාස්තෘවරු වෙත ගොස් එම ප්‍රශ්න ඇසුවේ ය. සභිය තවුසා විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට ඔවුහු අසමත් වූ හ. එමෙන් ම කෝපය ද, ද්වේශය ද පහළකොට අදාළ නැති කතාවන් පැවසූහ. සභිය තවුසාගෙන් ප්‍රති ප්‍රශ්න ඇසූහ. එවිට කළකිරීමට පත් සහිය තවුසා යළි ගිහි ජීවිතයක් ගත කිරීමට සිතා යළිත් මෙසේ කල්පනා කළේ ය. ‘ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ද පිරිස් සහිතව, කණ්ඩායම් සහිතව, පිරිස්වලට ආචාර්යව සිටින, ප්‍රසිද්ධ, කීර්තිමත්, බොහෝ ජනයා විසින් යහපත් යැයි අනුමත කළ උතුමෙකි. මම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වෙත ගොස් මෙම ප්‍රශ්න විමසන්නේ නම් යහපත්ය’ කියා ය. යළි ඔහුට මෙබඳු සැකයක් ද ඇතිවිය. “ඉතාමත් වයෝවෘද්ධ වූ, පැවිදි වී බොහෝ කල් ගත වූ ෂඩ් ශාස්තෘ වරුන්ටත් විසඳිය නොහැකි වූ මේ ප්‍රශ්න උපතින් ද ලාබාල, පැවිද්දෙන් ද නවක ශ්‍රමණ ගෞතමයන් වහන්සේට විසඳිය හැකිවේද?” යනුවෙනි.

එනමුත් සභිය තවුසා යළිත් මෙසේ නුවණින් කල්පනා කළේ ය. ‘ශ්‍රමණයන් වහන්සේ වනාහී ළදරු යැයි සිතා අවමන් නො කළ යුතු යි. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ පවා ළදරුවූයේ නමුදු මහත් සෘද්ධි ඇති මහානුභාව සම්පන්න උතුමෙකි. එනිසා මම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කරා ගොස් මේ ප්‍රශ්න විමසීම යහපත් ය“ ලෙසිනි.

එසේ සිතූ සභිය තවුසා රජගහ නුවර බලා ගොස්, වේළුවනයේ වැඩ සිටි භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු විය යුතු පිළිසඳර කතා කොට නිමවා එක් පසෙක හිඳ ගත්තේ ය. එක් පසෙක හිඳගත් සභිය තවුසා භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් මෙසේ පැවසී ය.

සැක ඇතිව පැමිණියෙමි, විමසන්ට පැමිණියෙමි
පැන අසන්නට කැමැත්තෙන්ම මම පැමිණියෙමි
නිමාකර දෙනු මැනවි අසන මාගේ ප්‍රශ්න
පිළිවෙලින් පැහැදිලිව දෙනු මැනවි මෙමා හට පිළිතුරු

එවිට භාග්‍යවතුන් වහන්සේ ගාථාවලින් මෙසේ පිළිතුරු දී වදාළ සේක.

සභිය ඔබ පැමිණියේ දුර බැහැර සිට නොවෙද
පැන අහන්නට කැමැත්තෙන්මය ඔබ පැමිණියේ
නිමාවට පත්කරමි ඔබ අසන සියලු පැන
කියා දෙමි මම ඔබට පිළිවෙළින් පැහැදිලිව

එසේ වදාළ විට සභිය තවුසාට මේ අදහස ඇතිවිය. ‘ සැබැවින් ම අසිරියකි. සැබවින් ම නොසිතු විරූ දෙයකි. අනෙක් ශ්‍රමණ බමුණන් සමඟ මෙලෙසින් කතා කරන්නට අවකාශ මාත්‍රයකුදු නො ලද්දෙමි. එහෙත් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ විසින් ඒ සඳහා අවසර දෙනු ලැබූහ”. යැයි සතුටින් යුතුව, ප්‍රමුදිතව, ඔද වැඩුනු සිතින් යුතුව, හටගත් පී‍්‍රති සොම්නසින් යුතුව භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇසුවේ ය.

කුමන ගුණයට පත් කෙනාට ද, ‘ශ්‍රමණ’ කියා පවසන්නේ?

කුමන කරුණින් යුතු කෙනාටද, ‘හික්මුණ කෙනෙකි’ කියා කියන්නේ?

කෙලෙසින් ද කෙනෙකුට දමනයට පත්කෙනා යයි පවසන්නේ?

කෙලෙසින් ද කෙනෙකුට අවබෝධ කළ ‘බුද්ධ’ යයි කියන්නේ?

එවිට සියල්ල ගැන සියල්ල දන්නා සර්වඥතා ඤාණයෙන් යුතු භාග්‍යවතුන් වහන්සේ එම පැනයන්ට මෙසේ පිළිතුරු ලබාදුන් සේක.

තමන්ගේ මනා පිළිවෙතින් පිරි නිවීමට පත් වූ සැකයෙන් ද එතෙර වී ගිය, හැම වාද විවාද දුරු කළ, සියලු බඹසර පරිපූර්ණ කරගත්, යළිත් භවයක් නොමැති වූ යමෙක් ලොව සිටිත්නම් ඔහුට ‘ශ්‍රමණ’ කියා පවසනවා. හැම තැනක දී ම මැදිහත් වී, සිහි නුවණ බලවත්ව පවත්වන, සියලු කල කිසිවෙකුටවත් කිසිවිටෙක හිංසාවක් නො කරන, දුකින් එතෙරට වැඩිය, නො කැළඹුණු සිතකින් යුතු, ඇවිස්සෙන කෙලෙස් කිසිවක් නැති පැවිද්දාහට ‘හික්මුණු කෙනෙකි’ කියා පවසනවා. අභ්‍යන්තර බාහිර යන මේ සියලු ලෝකය ගැන, මනාකොට වඩන ලද, ප්‍රගුණ කළ ඉන්ද්‍රිය ඇති, මෙලොව පරලොව ගැන සැබෑ තත්ත්වය හඳුනාගෙන පිරිනිවන් පෑමට කැමැත්තෙන්, සුදුසු කල් බලා සිටින, දහම වැඩූ උතුමාට “දමනයට පත් කෙනා” යයි පවසනවා. හිත බැඳෙන මතවාද ගැන හා හිත මැරෙන ඉපදෙන ගති ඇති සසරේ සැබෑ තත්ත්වය හඳුනාගෙන, දහමට අනුව නුවණින් විමසා කෙලෙස් මලකඩ දුරුකළ, පරම පිරිසුදු බව ලබාගත්, ඉපදීම අවසන් කළ මහා පිනැති උතුමාට ‘බුද්ධ’ කියා පවසනවා.’

එසේ වදාළ කල්හි, සභිය තාපසතුමා භාග්‍යවතුන් වහන්සේගේ භාවිතය සතුටින් පිළිගෙන, අනුමෝදන්ව, සතුටු සිතින් යුතුව, පුමුදිතව, ඔද වැඩුණු සිතින් යුතුව, හටගත් පී‍්‍රති සොම්නස් ඇතිව භාග්‍යවතුන් වහන්සේගෙන් තවත් ප්‍රශ්නයක් ඇසුවේ ය.

කවර ගුණයට පත් කෙනාටද “බ්‍රාහ්මණ” යැයි කියන්නේ?

කවර කරුණින් යුතු කෙනාටද “ ශ්‍රමණයා” යැයි කියන්නේ?

කෙලෙසින් ද කෙනෙක් ලොව “පව් දොවා හළ” කෙනෙකු වෙන්නේ?

කෙලෙසින් ද කෙනෙකුට “ඇත් රජා” යැයි කියන්නේ?

එම සදහම් පැනයට පිළිතුරු වදාරමින් ඉතාමත් මනරම් ලෙස සදහම් කරුණු ඉස්මතු කරමින් භාග්‍යවතුන් වහන්සේ මෙලෙසින් වදාළ සේක. “සියලු පව් දුරු කළ සිතින් යුතු, සොඳුරු ගුණ ඇති යහපතින් යුක්ත, එකඟ වූ සමාහිත සිතින් යුතු, නිවන තුළ පිහිටි සිත් ඇති, සසරින් එතෙර වී ගිය ගුණ ධර්මයන්ගෙන් පරිපූර්ණ වූ, කෙලෙස් කිසිවක නො ගැලෙන, ලෝ දහමින් ද නො සැලෙන කෙනාට “බ්‍රහ්මයා යැයි” පවසනවා.

සමකාවී පහාය පුඤ්ඤපාපං
විරජෝ ඤත්වා ඉවං පරංච ලෝකං
ජාතිමරණං උපාතිවත්තෝ
සමණෝ තාදි පවුච්චතේ තථත්තා

සිතක් සංසිඳවාලූ, හැම පින් පව් දුරුකළ මෙලොව හා පරලොව අවබෝධ කරගෙන වීරාගි බවට පත්වූ, ඉපදෙන මැරෙන සසර ඉක්මවා ගොස් සත්‍යය අවබෝධයට පත් වූ අකම්පිත සිත් ඇති කෙනාට “ශ්‍රමණයා” කියා පවසනවා.

නින්නහාය සබ්බපාපකානි
අජ්ඣත්තං බහිද්ධා ච සබ්බලෝකේ
දේවමනුස්සේසු කප්පියේසු
කප්පං නේති තමාහු නහාතකෝති

අභ්‍යන්තර හා බාහිර යන මේ සියලු ලෝකය තුළ සියලු පව් සෝදා පිවිතුරු බවට පත් වූ කෙනා දෙවි මිනිස් කැළ කෙලෙස් සිතිවිලිවල පැටලෙනා විට, ඒ කිසිම දෙයකට නො පැටලී සිටින කෙනාටයි ‘පව් දොවා හළ කෙනා’ කියා පවසන්නේ.

ආගුං න කරෝති කිඤ්චි ලෝකේ
සබ්බසංයෝගේ විසජ්ජ බන්ධනාති
සබ්බත්ථ න සජ්ජතී විමුත්තෝ
නාගෝ තාදී පවුච්චතී තථත්තාති

“ලෝකයේ කිසි කලෙකත්, කිසිදු පවක් නො කරන, ලෝකය බැඳෙන හැම බැඳුමක් ම සිදලූ, යළි කිසිවකට නො බැඳී සදහටම නිදහස් වූ, අකම්පිත සිත් ඇති සත්‍යය තුළට පැමිණෙන කෙනාට ලොවේ ‘ඇත් රජා’ යැයි පවසනවා.

භාග්‍යවතුන් වහන්සේ එසේ වදාළ කල්හී, සභිය තවුසා අතිශයින් ම සතුටට පත්වී, දහමින් ඔදවැඩි ගිය සිතින් යුතුව යළිත් මෙසේ විමසා සිටියේ ය.

බුදුවරු ‘කෙත දිනූ කෙනා’ වශයෙන් පවසන්නේ කවුරුන් ගැනද?

‘කුසල’ කියා පවසන්නේ කුමන කරුණින් යුතු කෙනාටද?

කෙලෙසින් ද කෙනෙකුට ‘දැනමුතු’ කෙනා කියා කියන්නේ?

කෙලෙසින ්ද කෙනෙකු හට ‘මුනි’ කියා පවසන්නේ?

භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු ගාථා වදාරමින්, සභිය තවුසාට මෙසේ කරුණු පහදා දුන් සේක.

කෝසානි විචෙය්්‍ය කේවලානි
දිබ්බං මානුසකංච බ්‍රහ්මකෝසං
සබ්බකෝසමූලබන්ධනා පමුත්තෝ
කුසලෝ තාදී පවුච්චතේ තථත්තා

දෙව් මිනිස් කෝෂ හා බ්‍රහ්ම ලොව යන කෝෂ ද

නුවණින් ම විමසමින් කෝෂ මුල් හඳුනාගෙන

කෝෂයට බැඳෙනා සියලු මුල් සිඳිමින් සදහටම නිදහස් වුණ

අකම්පිත සිතින් යුතු සත්‍යයට පත් කෙනාට ‘කුසල’ යයි පවසන්නේ.

මෙම ලිපියේ තවත් කොටසක් බුදුසරණ බක්පුර අටවක (12 ) පත්‍රයේ පළවේ.

මැදින් අමාවක පෝය

මැදින් අමාවක පෝය අපේ‍්‍රල් 04 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 12.51 ට ලබයි. 05 වනදා සිකුරාදා අපරභාග 02.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අපේ‍්‍රල් 04 වනදා බ්‍රහස්පතින්දා ය.

 මීළඟ පෝය අපේ‍්‍රල් 12 වනදා සිකුරාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අපේ‍්‍රල් 04

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 12

Full Moonපසෙලාස්වක

අපේ‍්‍රල් 19

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 26

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]