[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සියවසක් සපිරෙන කොහල්විල ගංගාරාම විහාරය

සියවසක් සපිරෙන කොහල්විල ගංගාරාම විහාරය

කැලණිය කොහල්විල ගංගාරාම විහාරස්ථානයේ සියවස් සැමරුමට දාන , ශීල, භාවනා, පින්කම් රැසක් විහාරාධිපති ශ්‍රී ධම්මරතන ධර්ම විද්‍යාලයාධිපති හොරවල ධම්මාරාම හිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරේ.

විහාරාස්ථ අතීතය පිළිබඳ විහාරාධිපති හොරවල ධම්මාරාම හිමියෝ මෙසේ පැවසූහ. 1919 වසරේ ආරම්භ වූ ගංගාරාමය මේ අනුව දැනට සියක් වසක් සම්පූර්ණ කර තිබෙනවා. පන්සලේ ආදී කර්තෘන් වහන්සේ, මිල්ලවානේ ධම්මරතන හිමිපාණන් වහන්සේ දළුගම කොහල්විල දෙරන රෙජිනා හාමි මාතාවගෙන් රුපියල් 200ක මුදලකට මෙම කුඩා අතුපැල සහිත බිම මිලට අරගෙන ජනතාවට විශාල සේවාවක් 16 වසරක් ඉටුකර කුඩා විහාර මන්දිරයකුත්, පොල් අතු සෙවිලි කළ ධර්ම ශාලාවකුත් තාවකාලිකව ඉදිකරගෙන ඇත.

වසර 16කට පසුව මිල්ලවානේ ධම්මරතන හිමියන් ඉඩමේ ඔප්පුව කැලණි රජමහා විහාරස්ථානයට බාර දුන්නා. ඉන්පසුව ගංගාරාමයට ආලෝකය උදාකර දෙමින් එවකට කැලණි විහාරාධිපතිව වැඩ විසූ හාපිටිගම බුද්ධ රක්ඛිත හිමියන්ගේ ආරාධනාව මත මෙහි වැඩම කළ පරදුවේ ධම්මරතනාභිධාන නා හිමියන් 1953 දී මෙම ස්ථානයට වැඩම කිරීමෙන් පසුව නැවත පන්සලට ආලෝකය උදා වුණා.

සියක් වසක් ගෙවී ගිය තැන අද සියලු විහාරාරාංගවලින් පරිපූර්ණ අංග සම්පූර්ණ පින්බිමක් මෙහි නිර්මාණය වී ඇත. වත්මන් විහාරාධිපති හිමියන් මෙහි වැඩම කර ඇත්තේ 1975 දී ය. එවකට ගංගාරාමාධිපති ලෙස වැඩ විසූ පරදුවේ ධම්මරතන හිමියන් උන්වහන්සේගේ ශිෂ්‍යයකු ලෙස හොරවල ධම්මාරාම නමින් පැවිදි දිවියට ඇතුළත් කර ඇත.

මේ වන විට ‘පන්සලෙන් ගමට බොහෝ දේ දායාද වී ඇති බව පෙනේ. මේ අතර ‘අමත නිදහස් බටහිර සෞඛ්‍ය වෛද්‍ය මධ්‍යස්ථානය,අමත නිදහස් දේශීය වෛද්‍ය මධ්‍යස්ථානය, ගිලනුන්ට, ආබාධිතයන්ට රෝද පුටු ,අත්වාරු අවශ්‍ය අවස්ථාවකදී පාවිච්චියට ලබාදීම ,නොමිලයේ ගිලන්රථ සේවාව, දන්ත වෛද්‍ය සායනය, සැම මසකම අවසන් ඉරුදින පවත්වන නොමිලයේ රුධිර පරික්ෂාව (ඇල්ෆා මෙඩි හවුස් ආධාරයෙන්) මෙකි නොකී බොහෝ උදාර සේවාවන් පන්සලෙන් ගමට දායාද වී ඇත. ‘ගමයි, පන්සලයි’ එක්තැන් වූ විට එයින් නිර්මාණය වන්නේ දැහැමි සමාජයක් බව අද වන විට කොහල්විල ගමෙන් පෙන්වා දී ඇතැයි තම දායක සභාව ගැන සතුටින් පවසන ධම්මාරාම හිමියෝ ඔවුන්ගෙන් ලැබෙන ආධාර පිළිබඳව කෘතවේද ීව සිහිපත් කරති. 1965 වසරේ ආරම්භ කළ චන්ද්‍රරතන මහවිදුහලත් තවමත් මේ පින්බිම ආශි‍්‍රතව පවතී. කොහල්විල ගංගාරාම විහාරාධිපති ලෙස වැඩ විසූ පරදුවේ ධම්මරතන හිමියන් 2003 දී අපවත්වීමෙන් පසුව උන්වහන්සේගේ ශිෂ්‍ය වත්මන් විහාරාධිපති හිමියන් වන හොරවල ධම්මාරාම හිමියන් විහාරාධිපතිධුරයට පත්වී ඇත.

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ ශාඛාවක් කොහල්විල ගංගාරාම විහාරස්ථානයේ විරාජ මානව වැඩ සිටීම ආරම්භ වී ඇත්තේ 1968 ජනවාරි 10 වනදා ය. කොහොල්විල පදිංචිව සිටි නැසීගිය ඩී.එන්.අමරසිංහ මහතා සහ එම පවුලේ ඥාතීන් විසින් සිය පුතණුවන් වූ රාජානිමල් අමරසිංහ දරුවාට පින් පිණිස ජයශ්‍රී මහා බෝධි අංකුරය මෙහි රෝපණය කර ඇත.

ආරම්භයේ පටන් මේ දක්වා අඛණ්ඩව පවතින කල්‍යාණි රිවිදින දහම් පාසල 1950 දී කොහල්විල මාර්ටින් පෙරේරා මහතාගේ නිවසේ සිට 1956 වසරේ දී ගංගාරාම විහාරස්ථානය වෙත රැගෙන විත් ඇත. ළමයින් 32 කගෙන් ආරම්භ වූ චන්ද්‍රරතන විදුහල අද ගමට ආලෝකයක් එක්කර ඇත.

සියක් වස සැමරුම වෙනුවෙන් ආමිස ප්‍රතිපත්ති පූජාමය පින්කම් රාශියක් පෙළගස්වා ඇති අතර අපේ‍්‍රල් මස 05 වනදා කොරතොට වෙස්සභු හිමියන් විසින් සවස 6.00 අටවිසි බුද්ධ පූජාව පැවැත්වෙන අතර පින්කමේ සුවිශේෂී අංගයක් වන ‘පියවි සිහිය’ නමැති කාව්‍ය සංග්‍රහය 06 වනදා සවස 3.00 එළිදැක්වීමට නියමිතව ඇත. 07 වනදා සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව පවත්වා 08 වනදා සියක් නමක් විෂයයෙහි මහා සංඝගත දක්ෂිණාවක් පැවැත්වීමට සූදානම් කර ඇත. මහනුවර මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක ධර්මකීර්ති ශ්‍රී සංඝරක්ඛිත සාහිත්‍ය චක්‍රවර්ති ආචාර්ය නියංගොඩ විජිතසිරි නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් එම පින්කම පැවැත්වේ.

මැදින් අමාවක පෝය

මැදින් අමාවක පෝය අපේ‍්‍රල් 04 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 12.51 ට ලබයි. 05 වනදා සිකුරාදා අපරභාග 02.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අපේ‍්‍රල් 04 වනදා බ්‍රහස්පතින්දා ය.

 මීළඟ පෝය අපේ‍්‍රල් 12 වනදා සිකුරාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අපේ‍්‍රල් 04

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 12

Full Moonපසෙලාස්වක

අපේ‍්‍රල් 19

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 26

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]