[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පුරාණ ලංකාවේ බෞද්ධ කලා ශිල්ප 22 : මහියංගණ දාගැබෙන් හමු වූ බිතුසිතුවම් හා ලෝකඩ මූර්ති

මහියංගණ දාගැබෙන් හමු වූ බිතුසිතුවම් හා ලෝකඩ මූර්ති

පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුවේ 
හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ 
සිරිසමන් විජේතුංග 
පුරාවිද්‍යා Msc පර්යේෂණ

පුරාණ පාලි හා සිංහල වංසකතාවලත්, ජනකවි ජනශ්‍රැතිවලත් සටහන් වී ඇති පරිදි ප්‍රාග් ඓතිහාසික හා පූර්ව ඓතිහාසික යුගවල පටන් සිංහල ජනතාව හා ආදිවාසි ජනතාව අතර සංස්කෘතික වශයෙන් වැදගත් වූ ස්ථාන කිහිපය අතරින් මහියංගණයට හිමිවනුයේ අද්විතීය ස්ථානයකි.

ලග්ගල, සොරබොර, මිනිපේ ඇතුළු පුරාණ මහියංගණ ප්‍රදේශය විවිධ නම් වලින් හැඳින් වී ඇත. දීපවංසය, මහාවංසය හා සමන්ත පාසාදිකා නම් විනය අටුවාවෙහි ද මහියංගණයට බුදුරජාණන් වහන්සේ වැඩම කරවීම ගැන සඳහන් වේ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රථම ශ්‍රී ලාංකික පුරාවිද්‍යා කොමසාරිස්වරයා වූ ආචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා විසින් මහියංගණයේ දාගැබෙහි පුරාවිද්‍යා පර්යේෂණ කැණීමක් සිදු කළේ 1951 වර්ෂයේ දී ය. එම පුරාවිද්‍යා කැණීමේ දී ප්‍රථමවරට ලංකාවේ පැරැණි දාගැබ්වල ධාතු ගර්භයේ බිතුසිතුවම් ඇඳීම සිදුකර ඇති බව අනාවරණය වූයේ ය. (1951 වැන්නේ පුරාවිද්‍යා පාලන වාර්තාව ආචාර්ය සෙනරත් පරණවිතාන පි. 8 වල්ලිපුරම් රන්සන්නස සහ හෙළ උරුමය සිරිසමන් විජේතුංග පි. 232 – (2003) දයාවංශ ජයකොඩි සහ සමාගම)

මහ විජයබාහු රජතුමාගේ සටන් ව්‍යාපාරය සිය ඇමැතිවරුන් මඟින් සිදුකරන අතරේ මහියංගණ දාගැබ පිහිටි පුද බිමෙහි කඳවුරුලා, ගෙන ස්වල්ප කාලයක් සිටි බව මහාවංසයේ දෙවන කොටසේ සඳහන් වේ. (මහා වංසය දෙවන කොටස පරි. 58 – ගාථා 48 – 50) ඊට අමතර ව මහියංගණ දාගැබ මහ විජයබාහු රජතුමා විසින් ප්‍රතිසංස්කරණය කරන ලද වෙහෙර විහාර ගැන සඳහන් කර ඇත. (මහ විජයබාහු රජතුමා, සිරිසමන් විජේතුංග පි. 100 – 101 දයාවංශ ජයකොඩි සහ සමාගම – 2012)

මහියංගණ දාගැබේ පුරාවිද්‍යා කැණීම පිළිබඳ ආචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා මෙසේ සඳහන් කරයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අරමුණ වූයේ ප්‍රතිසංස්කරණය සඳහා අවශ්‍ය සැලැස්ම පිළිවෙල කිරීමට ප්‍රයෝජනවත් වන තොරතුරු සපයා දීම සහ දාගැබේත් එය පිහිටි මළුවේත් විවිධ අවස්ථා හෙළිදරව් කර ගැනීම ය. මෙම උත්සාහය බොහෝ සෙයින් සඵල වූ බව කිව යුතු ය. විවිධ අවස්ථාවල සිදුකළ අලුත් කිරීම්, කඩා වැටීම් නිසා ගොඩගැසී තිබුණු සුන්බුන් ඉවත්කර මුල් ගඩොල් බැම්ම පාදා ගැනීමේ දී එකොළොස්වැනි සියවස ට අයත් ධාතු ගර්භයක් හෙළි විය. එය තුළ බිතුසිතුවම් ශේෂ කීපයක් ද තිබුණි. (පුරාවිද්‍යා පාලන වාර්තාවට අදාළ තොරතුරු - පුරාවිදු පර්යේෂණ මහාචාර්ය සෙනරත් පරණවිතාන පි. 176 – (1972)

මහියංගණ දාගැබෙහි ධාතු ගර්භයේ කැණීමේදී හමු වූ බිතුසිතුවම් කැබලි ඉතාමත් සුරක්ෂිත ලෙසින් එකතු කර ගෙන ඒවා කොළඹ කාර්යාලයට රැගෙනවිත් පර්යේෂණ සඳහා සකස් කිරීමට කටයුතු සිදු විය. බදාම කැබලි ඒකාබද්ධ කිරීමෙන් සකස් කළ එක් බිතුසිතුවමකින් බෝධිසත්වයන් වහන්සේ බුදුවීම පිළිබිඹු වෙයි. මෙම බිතුසිතුවම් සියල්ල ම මහ විජයබාහු රාජ යුගයට (පොළොන්නරු සමයේ) අයත් වන්නේ ය.

මහියංගණ ධාතු ගර්භයෙන් හමු වූ ලෝකඩ රූප

මහියංගණ ස්තූපයෙන් හමු වූ බිතුසිතුවම්වලට අමතරව අශ්වාරෝහක ලෝකඩ මූර්ති හතරක් ද හමුවී ඇත. මේ පිළිබඳ මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා මෙසේ සඳහන් කරයි.

“ලෝකඩ අශ්වාරෝහක රූප හතර පුරාණ ඉන්දියාවේ හෝ ලංකාවේ හෝ දක්නට ලැබී ඇති අන් කවර පැරැණි මූර්තියකට වත් සම කළ නොහැකි ය. ඒ අශ්වාරෝහක රූප අතරින් එකක් නිම කර ඇත්තේ නියම ජීවමාන ඉරියව් ඇතිව ය. සෑම අසරුවෙක් ම කඩු, පළිහ දරයි. ඒ සෑම එකකුට පිටුපස ස්ත්‍රී රූපයක් ද වේ. මෙම රූපවලින් දැක්වෙන්නේ තරුණියක උවදුරකින් බේරා ගත් යෝධයකු විය හැකි ය. මේවා වෛදික සමයේ සඳහන් අශ්විනි දිව්‍ය පුත්‍රයන් නිරූපණය කිරීමට යොදා ඇතැයි මම විශ්වාස කරමි. (පුරාවිදු පර්යේෂණ මහාචාර්ය සෙනරත් පරණවිතාන පි. 178 (1972)

මේ පිළිබඳ මහාචාර්ය ලීලානන්ද ප්‍රේමතිලක මහතා මෙසේ සඳහන් කරයි. “මහියංගණ ස්තූපයේ ධාතු ගර්භයෙන් ලැබී ඇති ලෝකඩ ප්‍රතිමා සතරක් සමඟ වූ මෙම ප්‍රතිමා අග්‍රගණ්‍යවූවකි. අශ්වයකු පිට යන පිරිමි සහ කාන්තා රූප දෙකක් එයින් නිරූපිත ය. මහියංගණ දාගැබෙහි විශාල කිරීම හා ප්‍රතිසංස්කරණ අවධි කීපයක් දක්නට ඇති අතර එහි අවසන් අවධිය අයත් වන්නේ ක්‍රිස්තු වර්ෂ 12 (දොළොස්වන) සියවසට ය.

පිරිමි අශ්වාරෝහකයා පෙන්නුම් කර ඇත්තේ දකුණතින් කඩුවක් ලෙළවමින් වමතින් පළිහක් දරා සිටින අයුරිනි. කාන්තා රූපය ඊට පිටුපසින් හිඳ සිටින්නේ සෘජු ඉරියව්වකිනි. සරසන ලද අශ්වයා නිරූපණය කොට ඇත්තේ බිමට නැඹුරු කරගත් මුහුණින් හා නැමුණු සතර පාදයෙන් යුතුව පිම්මේ පණින අයුරිනි. මෙම කුඩා ප්‍රතිමාව ධාතු ගර්භයේ තැන්පත් කිරීම සඳහා නිම වූවකි. ප්‍රතිමාව රිද්මයානුකූලව සකස් කිරීම හා රේඛීය කරණය දිවයිනේ ලෝකඩ වාත්තු කලාවේ පැවැති උත්කෘෂ්ඨතාවය පිළිබිඹු කරයි. මෙම ලෝකඩ මූර්තියේ දැක්වෙන අශ්වයාගේ අංග පොළොන්නරුවේ වටදාගේ සඳකඩ පහණේ දක්නට ඇති අශ්වයාගේ අංගවලට බොහෝ සෙයින් සමාන ය. කෙසේ වෙතත් මේ කුඩා ලෝකඩ ප්‍රතිමාවලින් නිරූපණය කර ඇත්තේ අශ්වින් ලෙස උගතුන් හඳුනා ගෙන තිබේ. මෙම ප්‍රතිමා සතර සිය භාර්යාවන් සමඟ සිටින සතරවරම් දෙවිවරුන් වූ ධ්‍රෘතරාෂ්ට, විරූඪ, විරූපාක්ෂ සහ වෛශ්‍රවණ ලෙස හැඳින්වීමට පුළුවන. හඟුරන්කෙත විහාරයේ චෛත්‍යගෘහයෙහි සතරපස ඇති බිත්තිවල මෙම දෙවිවරුන් ඔවුන්ගේ වාහන වූ අශ්වයන් සමඟ නිරූපණය කර තිබෙන බව දැක්වීම මෙහිදී වැදගත් ය. ඇතැම් විට මෙම සිතුවම් මගින් ද පළ කරන්නේ මුල් යුගයේ වැදගත් වූ සම්ප්‍රදායක් විය යුතු ය. (ශ්‍රී ලංකාවේ ලෝකඩ මූර්ති කලා උරුමය ප්‍රධාන සංස්කාරක මහාචාර්ය ලීලානන්ද ප්‍රේමතිලක පි. 47 ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයකි. 1995)

පුරාණ ශ්‍රී ලංකාවේ මූර්ති නිර්මාණ කලාවේ ලෝකඩ වාත්තු ක්‍රමයේ විශිෂ්ටත්වය හා එම නිර්මාණ ශිල්පීන්ගේ දක්ෂතාවය මතු කරන ලද අවස්ථාවක් ලෙසින් මෙය හැඳින්විය හැකි ය.

මැදින් අමාවක පෝය

මැදින් අමාවක පෝය අපේ‍්‍රල් 04 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 12.51 ට ලබයි. 05 වනදා සිකුරාදා අපරභාග 02.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අපේ‍්‍රල් 04 වනදා බ්‍රහස්පතින්දා ය.

 මීළඟ පෝය අපේ‍්‍රල් 12 වනදා සිකුරාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අපේ‍්‍රල් 04

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 12

Full Moonපසෙලාස්වක

අපේ‍්‍රල් 19

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 26

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]