UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බෝසත් දරුවන්ට : අවීචි මහා නරකයේ උපත ලබන්නේ ඇයි?

අවීචි මහා නරකයේ උපත ලබන්නේ ඇයි?

පින්වත් දුවේ, පුතේ, පසුගිය ලිපිවලින් අටමහා නරකය ගැන කතා කළා මතකයි නේද? අටමහා නරකය ලෙස හැඳින්වූයේ සංජීවය, කාලසූත්‍රය, සංඝාත, රෞරවය, මහාරෞරවය, තාපය, ප්‍රතාපය හා අවීචි මහා නරකයයි.

අපි අද රෞරවය නරකය ගැන තොරතුරු දැන ගනිමු. දරුවනේ, මේ නරකයේ ඉන්නා නිරි සතුන්ගේ ශරීරයට ඇතුළු වී මුළු ශරීරයම ඇතුළතින් දවන, දුර්ගන්ධ හමන මහා දුමක් තිබෙනවා. ඇතුළත පමණක් නොවෙයි. පිටතත් දැවෙනවා. ඇතුළතත්, පිටතත් දැවීමෙන් ඇති වෙන්නා වූ මහා දුක වේදනාව නිරි සතුන්ගේ මුවින් පිටවෙනවා. මේ වේදනාකාරී හඬ නිරන්තරයෙන් ම ඇසෙන මේ නරකයට රෞරවය කියා කියනවා.

මහා රෞරවය

අතිශයින් රෞද්‍ර, බලන අයගේ දෙනෙත් පවා දැවී යන, ගින්නෙන්, දුමෙන් නිරන්තරයෙන් පිච්චෙන මෙහි නිරි සතුන් ද නොනවත්වාම වේදනාවෙන් හඬ නගනවා. මේ නරකය නිරි සතුන්ගේ ශරීරවලින් ගලන රුධිරයෙන් පිරී තිබෙනවා. ඒ නිසා මහා රෞරවය ලෙස හඳුන්වනවා.

බුද්ධ රත්නයට, ධර්ම රත්නයට, මහා සංඝ රත්නයට අයත් දෙයක් සොරෙන් ගත්තේ නම්, ත්‍රිවිධ රත්නය උදෙසා පූජා කර තිබෙන දෙයක් තමන් සතු කරගත්තේ නම්, නිධන් වස්තු සොරාගත්තේ නම්, පන්සලට අයිති දේ ගෙදර ගෙන ගියේ නම් මහා රෞරවයේ තමයි ඉපදෙන්නට සිදුවන්නේ, ඒ විතරක් නොවෙයි දරුවනේ. අම්මට, තාත්තට අයිති දේ සොරෙන් පැහැර ගන්නවා නම්, දුන්නේ නැති විටෙක ඒවා විනාශ කර දමනවා නම් ඒ අය උපදින්නේත් මහා රෞරවයේ. අම්මා, තාත්තා රැක ගන්නවා වගේම ගෙදර තිබෙන බඩු මුට්ටු, ඉඩකඩම්, ගහ කොළ සතා සිවුපාවා පවා ආරක්ෂා කර ගන්න ඕනෑ. මහා රෞරවයේ ඉපදෙන නිරි සතුන් මහා හඬ නංවමින් තමන් කළ අපරාධ ගැන කියවමින් වේදනාවෙන් දුක් විඳිනවා. පින්වත් දරුවනේ, කිසිම අවස්ථාවක තුනුරුවන්ට අයිති දේ, පන්සලට අයිති දේ විනාශ කරන්න එපා. එසේ විනාශ කරන අයට එවැනි දෙයට ඉඩ දෙන්නත් එපා.

තාපය නරකය

මෙහි සිටින නිරි සතුන් ගිනියම් වූ පොළොවේ හෙළා යමපල්ලන් විසින් යකඩ උල්වල අමුණා ගින්නට දමා දැවෙන්නට හරිනු ලබනවා. එවිට ඒ නිරි සතුන් මිය යනවා .නැවතත් උපදිනවා. කල්ප කාලාන්තරයක් එසේ දැවෙන, තැවෙන නිසා ‘තාපය’ කියා කියනවා.

දරුවන් දන්නවාද? තාපය නරකයේ උපදින්නේ මොන වගේ අය ද කියලා. පණපිටින් සතුන් පිළිස්සූ අය, කුඩා සතෙකු වුවත් මරණයට පත්කළ අය, තාපය නරකයේ තමයි උපදින්නේ. මතක තියාගන්න, අනුන්ගේ පොතපත විනාශ කර පුළුස්සා දැමුවොත්, පනුවන්, මදුරුවන්, කුහුඹුවන්, ගෙම්බන්, සර්පයන්, මකුණන්, ආදි සතුන් පුළුස්සා මරා දැමුවොත් , උණුවතුර වත්කොට මරා දැමුවොත් තාපය නරකයේ උපදින්න වෙනවා. පෙනෙනවා නේද අපායේ විඳින්නට වන දුක මොන තරම්ද කියා.

ප්‍රතාප නරකය

තාපය නරකයෙහි වගේම මෙහි නිරිසතුන් ද ගිනියම් වු පොළොවේ හෙළා ගිනියම්වූ හුල්වලින් දවනවා. ඒ විතරක් නොවෙයි. ලෝදියට හෙළනවා. දීර්ඝ කාලයක් එසේ දුක් විඳින්නට වන නිසා ප්‍රතාපය නරකය ලෙස කියනවා.

මේ නරකයේ උපදින්නට හේතුව දන්නවාද? මරණින් පසුව නැවත ඉපදීමක් නෑ. පව් කළාට කමක් නෑ. පව් කළාට විපාකයක් නෑ, අම්මට තාත්තට සලකන්න ඕන නෑ, දන් දුන්නට පිනක් නෑ, සිල් රැක්කට ප්‍රයෝජනයක් නෑ, භාවනා කිරීමෙන් ප්‍රයෝජනයක් නෑ. ආදි ලෙස මිත්‍යාදෘෂ්ඨිගතව පව් කරන අය සිටිනවා. අන්න ඒ අය තමයි ප්‍රතාප නරකයේ උපදින්නේ.

අවීචිමහා නරකය

අවීචිමහා නරකය හරිම භයානකයි. එහි එක් පැත්තක බිත්තියකින් නැගෙන ගින්දර අනෙක් පැත්තේ බිත්තිය දක්වාම ගමන් කරනවා. පොළොවෙන් නැගෙන ගින්දර උඩ පියන්පත් දක්වාම ගමන් කරනවා. ඉතින් මෙහි නිරි සතුන් හැම පැත්තෙන්ම එන ගින්දරවලින් දැවෙනවා.

මෙහි මොන තරම් නිරි සතුන් සිටිනවාද? හිදැසක්වත් නැතිව පිරී ඉතිරී සිටිනවා. ගිනි දැල්වලින් දැවෙමින්, අප්‍රමාණ දුක් විඳින සත්වයන් අතොරක් නැතිව සිටින නිසා මේ මහා නරකයට අවීචිය කියා කියනවා.

අවීචි මහා නරකයේ මේ තරම් විශාල පිරිසක් උපදින්නට හේතුව දන්නවාද? අම්මට තාත්තට වධ දෙන, බැනවදින අය, අම්මා තාත්තා ඝාතනයට පත්කරන අය, රහතන් වහන්සේලාට දොස් කියන, විහිළු කරන අය, රහතන් වහන්සේලා ඝාතනය කරන අය, හාමුදුරුවන්ට හිංසා කරන අය, පන්සල්, පන්සල් අතර භේද ඇති කරන අය, සංඝ භේදය කරන අය, බුදුරජාණන් වහන්සේට අපහාස කරන අය, බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ ලේ සොලවන අය ආදී පංචානන්තරීය පාප කර්ම කළ අය ඉපදෙන්නේ අවීචි මහා නරකයේ, ඒ විතරක් නොවෙයි, බෝසතාණන් වහන්සේලාගේ ජීවිතය නැසූ අය, සිල්වත්, ගුණවන්ත, උතුමන් විනාශ කළ අය, චෛත්‍ය කඩා බිඳ දැමූ අය, බෝධින් වහන්සේලා විනාශ කළ අය, තුනුරුවන්ට අයත් දේ පැහැර ගන්නා අය, මිතුරන්ට ද්‍රෝහීකම් කරන අය, මිතුරන් රැවටූ අය, බොරු පොරොන්දු දුන් අය, උදව් උපකාර කරන බව පවසා උදවු උපකාර නොකළ අය, බොරු කී අය, සුරාපානය කළ අය, මිත්‍යා දෘෂ්ඨියට පත් වූ අය මේ හැම කෙනෙක්ම උපදින්නේ අවීචි මහා නරකයේ.

දරුවනේ අප ඊළඟ ලිපියෙන් කතා කරන්නේ අප මහා බෝසතාණන් වහන්සේ ‘නිමි’ මහරජතුමා වී ඉපදී ඉන්නා කාලයේ සිදුවු අපූරු සිදුවීමක් ගැනයි. ශක්‍ර දේවේන්ද්‍රයාගේ අණින් මාතලී දිව්‍ය පුත්‍රයා පැමිණ ‘නිමි මහරජතුමා වෛජයන්ති රථයේ තබාගෙන දිව්‍ය ලෝකය බලා පිටත් වුණා. ඒ යන ගමනේදී අපායේ දුක් විඳින සත්ත්වයන්, දිව්‍ය ලෝකයේ සැප විඳින සත්ත්වයන් මාතලී දිව්‍ය පුත්‍රයා විසින් ‘නිමි’ මහ රජතුමාට පෙන්වා දෙනු ලැබුවා. අපි මැදින් පුර පසළොස්වක බුදුසරණ කලාපයෙන් ඒ ගැන දැන ගනිමු.

 

මැදින් පුර අටවක පෝය


මැදින් පුර අටවක පෝය මාර්තු 14 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 04.23 ට ලබයි. 15 වනදා සිකුරාදා පූර්ව භාග 03.21 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 14 වනදා බ්‍රහස්පතින්දා ය.

 

 මීළඟ පෝය මාර්තු 20 වනදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 14

Full Moonපසෙලාස්වක

මාර්තු 20

Second Quarterඅව අටවක

මාර්තු 28

Full Moonඅමාවක

අපේ‍්‍රල් 04


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]