UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

 

මැදින් පුර අටවක 2019.03.14

ළමා ලෝකයේ අනාගතය

තමන්ට අනර්ථයක් නො වන සේ, අනුන්ට ද අනර්ථයක් නො වන සේ ජීවන ප්‍රතිපදාව සකසා ගත් පුද්ගලයාගේ ජීවිතය ඒ චරිතවත් බව නිසා ම බැබළීමට පත් වන්නේ ය. එවන් චරිත අපේ සමාජයේ බොහෝ වේ. එහෙත් දුර්ගුණයන්ගෙන් මෙහෙය වූ , නරකට යෙදූ සිත නිසා සමාජය ම දුර්ගන්ධවත් කරන්නෝ ද වෙසෙන බව අප අමතක කළ යුතු නොවේ. මේ තරම් ශ්‍රේෂ්ඨ, උතුම් ශ්‍රී සද්ධර්ම මාර්ගයක් තිබිය දී අන්ධ වූවෙක් සේ යම් වූ ද බෞද්ධයෙක් වැරැදි මග යනවා නම්, එය අභාග්‍යක්ම ය. එවැනි අඥානයෝ ඉන් මුදවා යහපත් මාර්ගයට ප්‍රවිෂ්ඨ කරවීම කළ හැකි වන්නෝ ද පෙර කී සාධු චරිතයන් ම ය.

විශේෂයෙන් ළමයා යහමගට ගැනීමෙහි ලා සමාජයේ කුඩාම ඒකකය වන පවුල තුළ අම්මා තාත්තාට ඒ වගකීමෙන් මිදෙන්නට නුපුළුවන. යම් වූ පළුද්දක් වූයේ නම් එතැනින් නිර්මාණය වන්නේ අමනුෂ්‍යයෙක් ය. පවුලෙන් පාසලට යොමුවන ළමයා බොහෝ සමාජයමය අත්දැකීම් එහිදී උකහා ගනී. එහිදී ගුරුවරුන්ට පැවරෙන කාර්ය භාරය ද සුළුපටු නොවේ. රටක අනාගතයේ කොඳු නාරටිය වර්තමානයේ ළමා පරපුර බව වියතුන්ගේ අදහස ය. ඒ කොඳු නාරටිය ශක්තිමත් නො වූයේ නම් ඉදිරිය අවිනිශ්චිත ය. ළමා පරපුර ගුණධර්මයන්හි පිහිටුවිය යුතු බව අපි නිරන්තරයෙන් පුන පුනා කියමු. ඒ අභාග්‍යසම්පන්න අනාගතයක පෙර නිමිති විටින් විට පහළවන බැවිනි.

පාඨශාලාන්තර ක්‍රිකට් ක්‍රීඩා තරඟ මෙකල බොහෝ ජනපි‍්‍රය ය. සිසු දරු දැරියෝ ද, ගුරු දෙගුරු ද, ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ද එහිලා බොහෝ උනන්දු වෙති. ක්‍රීඩාවේ අරමුණු අතර ළමයි අතර සමගිය, විනය, ශික්ෂණය ගොඩනඟා පෞරුෂත්වයෙන් යුතු පරපුරක් නිර්මාණය කිරීම ද ප්‍රමුඛ වේ. ක්‍රීඩාව වෙනුවෙන් කැප කරන කාලය, ශ්‍රමය, ධනය නිසි ලෙස යෙදවූවා වන්නේ ඒ පරමාර්ථ සාක්ෂාත් කරගත්තේ නම් පමණි. එහෙත් මෑත කාලීනව ඇතැම් පාසල් දරුවන් වෙතින් මේ සම්බන්ධව අප ලබන අත්දැකීම් දුක්ඛදායක බව රහසක් නොවේ.

මෙවර පාසල් ක්‍රිකට් තරග අවසන්වනතුරු කොළඹ පිහිටි බාලිකා විද්‍යාලවලට විශේෂ ආරක්ෂාවක් ලබා දීමට පොලීසිය තීරණය කර ඇති බවට පසුගියදා මාධ්‍ය වාර්තාවන්හි පළවිය. එවැනි ආරක්ෂාවක් දීමට සිදු වී ඇත්තේ පාසල් ක්‍රිකට් තරග මුල් කර ගනිමින් ඇතැම් බාලක පාසල්වල සිසුන්, ඇතැම් බාලිකා පාසල්වලට කඩා වැදීම නිසා ය. එම පාසල්හි දේපළ විනාශ කිරීම නිසා ය. එහි දී ලද පැමිණිල්ලකට අනුව විමර්ශනය කොට සිසුන් තිස් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන මව්පියන් කැඳවා අවවාද කර මුදාහැරිය බව ද එම වාර්තාවන්හි වැඩිදුරටත් සඳහන් විය.

මේ පාසල් දරුවන් සම්බන්ධව කිසිසේත් ම ඇසිය යුතු දේ නොවේ. ක්‍රීඩාවත්, මෙවැනි ක්‍රියාකාරකමුත් අතර ඇති සම්බන්ධය කුමක්දැයි නො වැටහේ, මෑත ඉතිහාසය වනතුරුම වරදක් කර පොලීසියට යාම අතිශය ලජ්ජාවට කරුණක් විය. පාසල් ළමයින් සම්බන්ධව නම් එවැනි දේ සිදු නොවුණේ ම ය. නීතියට ඇති බිය කරණ කොටගෙන ද බොහෝ දෙනා වරදින් මිදුණාහ. මෙකල සිදු වූ මේ පරිවර්තනය කුමක් ද? මේ සම්බන්ධව ළමයින්ට පමණක් චෝදනා කිරීම සාධාරණ නොවේ. විනයක්, හික්මීමක් ඇතිව දරුවෙක් හදා වඩා ගැනීමේ විශාලම වගකීම පැවරෙන්නේ මවුපියන්ට ය. පවුල තුළ තම නැඟණියට , අක්කාට, ගෞරවය කරන පුතෙකුට මේ සමාජයේ සියලු බාලිකාවන් තමන්ගේ ම සහෝදරියන් ය යන හැඟීම නිතැතින්ම ඇතිවේ. එවිට වැරැදි බැල්මක් හෝ ඔවුන් වෙත නො හෙළනු ඇත.

මවුපියන් විසින් ඒ හැඟීම දරුවන් තුළ ඇති කරවිය යුතු ය. පාසල යනු ශිල්ප ලබා දෙන තැනයි. තමන්ගේ පාසලට සේ ම අන්‍යයන්ගේ ද පාසලට ගරු කිරීමට නොහැකි ළමයා කිසිසේත් ම චරිතවත් නොවේ. පොදු දේපළ විනාශ කරනවා නම්, ඒ පුද්ගලයාගේ සිතිවිලි මොනතරම් පහත් තැනකට වැටී ඇති දැයි සිතාගත නොහැකි ය. අපේ දරුවන්ට පොතපතේ දැනුම දීම පමණක් ප්‍රමාණවත් නොවේ. සමාජයේ ජීවත්විය යුතු විලාශය ද ඉගැන්විය යුතුය. මනුෂ්‍යයකු ලෙස මිස මනුෂ්‍යත්වය ඉක්ම වූ තිරස්චීන ගති ඇත්තෙකු ලෙස සමාජගත කළ යුතු නොවේ.

වැරදි කා අතිනුත් සිදුවේ. හොඳම දේ වැරැදි නිවැරැදි කරගෙන නැවත වරදක් නො වන තැනට සිත මෙහෙයවීම ය. සම්බුදු දහම තුළ අර්ථවත් ජීවිතයකට අපගේ හැසිරීම් හැසිරවිය යුතු ආකාරය උගන්වා තිබේ. මේ ඒ අපූර්ව දහම් මඟට අපගේ ළමා පරපුර වඩ වඩාත් සමීප කරවන්නට කාලය යි.

 

මැදින් පුර අටවක පෝය


මැදින් පුර අටවක පෝය මාර්තු 14 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 04.23 ට ලබයි. 15 වනදා සිකුරාදා පූර්ව භාග 03.21 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 14 වනදා බ්‍රහස්පතින්දා ය.

 

 මීළඟ පෝය මාර්තු 20 වනදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 14

Full Moonපසෙලාස්වක

මාර්තු 20

Second Quarterඅව අටවක

මාර්තු 28

Full Moonඅමාවක

අපේ‍්‍රල් 04


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]