UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 සම්බුදු ගුණමහිම:  සම්මා සම්බුද්ධ රත්නයට නමස්කාර වේවා

ඉකුත් වසරේ වප් පුර පසළොස්වක පෝදා සිට සතර පෝයට ම කොටස් වශයෙන් පළවන නව අරහාදී සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව අංක – 38

සම්මා සම්බුද්ධ රත්නයට නමස්කාර වේවා

අනුත්තර පුරිසදම්ම ගුණ සමවත

ස්වාමීනි, බුදුරජාණන් වහන්ස! ඔබ වහන්සේ දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, සියලු සත්ව ප්‍රජාව සහිත. දෙව් මිනිසුන් සහිත සියලු ලෝකයාට සීලයෙන් උත්තරීතර වන සේක. විමුක්තියෙන් උත්තරීතර වන සේක. විමුක්ති ඥාන දර්ශනයෙන් උත්තරීතර වන සේක.

සතර සතිපට්ඨානාදී සත්තිස් බෝධිපාක්ෂික ධර්ම දේශනා විලාශයෙන් ද, මව්කුස තුළ සත්ත්වයන් පිළිසිඳ ගැනීමේ් පිළිවෙත හෙවත් ගර්හාවක්‍රාන්ති දේශනා විලාසයෙන් ද, ප්‍රථම ධ්‍යානාදී දර්ශන සමාපත්ති දේශනා විලාශයෙන් ද, පුග්ගලඤ්ඤප්ති දේශනා විලාශයෙන් ද, සත්ත බොජ්ඣංග දේශනා විලාශයෙන් ද, වාග් සමාචාර දේශනා විලාශයෙන් ද, සතර මගඵල නැණින් කෙලෙස් සිඳීමේ මග පැහැදිලි කිරීමේ දේශනා විලාශයෙන් ද , ලෝකයේ සදාකාලිකත්වය මත පදනම් වූ ශාස්වතවාද බිඳලීමේ දේශනා විලාශයෙන් අන්‍ය සත්ත්වයන්ට වඩා උත්තරීතර වන සේක.

මෙසේ රූප විලාශයෙන් හා දේශනා විලාශයෙන් අසම, අසමසම, අප්පටිම, අප්පටිභාග, අප්පටිපුද්ගල, අනුත්තර වන සේක. මෙසේ අනුත්තර වූ ඔබවහන්සේ දමනය කටයුතු වූ ආලවක, සුචිලෝම, ඛරලෝම වැනි යක්ෂයන් ද, ආජීවක ,පරිබ්‍රාජක, ශ්‍රමණ බ්‍රාහ්මණාදීන් ද, යක්ෂ ගෝත්‍රිකයන් ද, චූලෝදර, මහෝදර වැනි නාග ගෝත්‍රිකයන් ද, නාලාගිරි ආදි තිරිසන්ගත සත්වයන් ද, දිව්‍ය, බ්‍රහ්ම, සිද්ධි විද්‍යාධරයන් ද උත්තරීතර ආකාරයෙන් දමනය කළ සේක. එනම්, අනුත්තර පුරිසදම්ම සාරථි නම් වන සේක. මෙසේ අනුත්තර පුරිසදම්ම සාරථි ගුණයෙන් සමන්වාගත වූ සම්මා සම්බුද්ධ රත්නයට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා!

සාධූ! සාධූ!! සාධූ!!!

සත්ථා දේව මනුස්සානං ගුණ සමවත

ස්වාමීනි, බුදුරජාණන් වහන්ස! ඔබ වහන්සේ මෙලොව පරලොව දියුණුව පිණිසත්, ශාන්ත නිවන්සුව පිණිසත්, අනුශාසනා කළ සේක. ජාති,ජරා,ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස යන කාන්තාරයන්ගෙන් ද, ඝෝර,කටුක, භයංකර , සංසාර කාන්තාරයෙන් ද, සියලු සත්ත්වයන් අතමුදවා ගත් සේක. සියලු කාන්තාරවලින් එතෙරවීමේ මග දේශනා කළ සේක. සියලු සත්ත්වයන් සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිවිධ ශික්ෂාවන්හි පිහිටුවා නිර්වාණ ශාන්තියට පමුණුවා වදාළ සේක. සුපිරිසුදු ශීල ඇති , ආජීව ඇති, දේශනා ඇති, අර්ථව්‍යඤ්ජන සහිත ඥාන විලාස ඇති, සුපිරිසුදු ඥාන දර්ශන ඇති ඔබ වහන්සේ දෙවි මිනිසුන් හට ශාස්තෘවන සේක.

මෙසේ දෙව් මිනිසුන් හට ශාස්තෘ ගුණයෙන් සමන්වාගත වූ සම්මා සම්බුද්ධ රත්නයට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා!

සාධූ! සාධු!! සාධුූ!!!

බුද්ධ ගුණ සමවත

ස්වාමීනි, බුදුරජාණන් වහන්ස! ඔබ වහන්සේ දුක, දුකට හේතුව, දුක නැතිකිරීම, දුක නැතිකිරීමේ මාර්ගය යන සිව්සස් දහම් මනාව අවබෝධ කළ සේක. සිව්සස් දහම් සියල්ලන්ට පෙරටුව අවබෝධ කර අන්‍යයන්ට අවබෝධ කරවු සේක. හේතු ප්‍රත්‍යාදීන්ගෙන් හටගත්, හටනොගත් සියලු ධර්මයන් නිරවශේෂයෙන් අවබෝධ කළ සේක. සියලු ලෝකයා විසින් දකින ලද, අසන ලද, පැමිණෙන ලද, සිතින් ගවේෂණ, නිරීක්ෂණ, පරීක්ෂණ, කරන ලද සියල්ල දන්නා සේක. පද්මයක් ප්‍රබුද්ධ වන්නා සේ විවිධ ගුණ පහළ කරමින් තෙමේම සියල්ල දත් සේක. රාග – ද්වේශ, මෝහ දුරු කර ඒකාන්ත වීතරාග – වීතදෝශ, වීතමෝහ වූ සේක. තෙමේම අනුත්තර වූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කළ සේක. සංසාර ගමන දිගු කරන අවිද්‍යාව නම් වූ අබුද්ධිය නසා විද්‍යාව නම් වූ බුද්ධිය ප්‍රතිලාභ කරගත් බැවින් බුද්ධ නම් වන සේක. මෙසේ බුද්ධ ගුණයෙන් සමන්වාගත වූ සම්මා සම්බුද්ධ රත්නයට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා!

සාධූ! සාධූ!! සාධූ!!!

භගවා ගුණ සමවත

ස්වාමීනි, බුදුරජාණන් වහන්ස! ඔබ වහන්සේ ලොව අසමාන කළ හැකි සමතිස් පාරමී නම් වූ පුණ්‍ය භාග්‍යයෙන් සමන්වාගත වන සේක. ලෝකයා විසින් සම්මත ඵෙශ්චර්ය ගුණ නැණ භාග්‍යයෙන් සමන්වාගත වන සේක. සියලු ලෝකෝත්තර ධර්ම භාග්‍යයෙන් සමන්වාගත වන සේක. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ, අසූවක් අනූව්‍යංජන ලක්ෂණ, ව්‍යාමප්‍රභා කේතුමාලාලංකාර, අසිතිහස්ථ ප්‍රභා, ඌර්ණ රෝම ධාතු ප්‍රභා, දන්ත ධාතු ප්‍රභා, ෂඩ්විධ බුද්ධ රශ්මි මාලා යන ශ්‍රී භාග්‍යයෙන් සමන්වාගත වන සේක.

අන් අයට හිත සුව පිණිස යමක් කැමති වන්නේ ද, ඒ දේ ලැබීමේ කාම භාග්‍යයෙන් සමන්වාගත වන සේක. ඒ කාම භාග්‍ය නොපිරිහෙළා ඉටුකිරීමේ සම්‍යග්වායාම නම් වූ ප්‍රයත්න භාග්‍යයෙන් සමන්වාගත වන සේක. ක්ලේශ මාර – ස්කන්ධ මාර, අභිසංඛාර මාර– දිව්‍යපුත්‍ර මාර, – මච්චු මාර යන පඤ්චවිධ මාර බලවේගයන් අභිබවනය කළ සේක. කාය විවේක– චිත්ත විවේක, උපධි විවේක යන ත්‍රිවිධ විවේකයන් හා බ්‍රහ්ම විහාර භජනය කළ සේක. සුඤ්ඤත අනිමිත්ත – අප්පණිහිත යන ත්‍රිවිධ විමෝක්ෂයන් ප්‍රධාන උත්තරීමනුස්ස ධර්ම උත්තරීතර ආකාරයෙන් භජනය කළ සේක. රාගාදී කෙලෙස් හුල් සිඳලු හෙයින් ද, ශ්‍රී සද්ධර්මය උද්දේශ – නිද්දේශ – පටිනිද්දේශ වශයෙන් විභාග කොට දේශනා කළ සේක. භාවනා වශයෙන් වඩනා ලද රූප කාය – නාම කාය – රූපාරූප ධ්‍යාන සමාපත්ති ඇති සේක. වඩනා ලද ලෞකික ලෝකෝත්තර ප්‍රඥා ඇති සේක. අල්ප – ශබ්ද –අල්ප නිග්ඝෝෂ ඇති ජනවාත රහිත මිනිසුන්ගේ රහස්‍ය කර්මයට ස්ථාන වු විවේකයට අනුරූප වූ වන සෙනසුන් භාවිත සුභාවිත කළ සේක. එතෙරක් මෙතෙරක් නොපෙනෙන සංසාර භව ගමනය කෙළවර කළ සේක. “භගවා” නම් වන සේක. මෙසේ ගුණයෙන් සමන්වාගත වූ සම්මා සම්බුද්ධ රත්නයට මම නමස්කාර කරමි.මාගේ නමස්කාරය වේවා!

සාධූ ! සාධූ!! සාධූ!!!

 

ඉල් අමාවක පෝය


ඉල් අමාවක පෝය දෙසැම්බර් 06 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 12.16ට ලබයි.07 වනදා සිකුරාදා අපරභාග 12.55 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම දෙසැම්බර් 06 වනදා බ්‍රහස්පතින්දා ය.

 

මීළඟ පෝය දෙසැම්බර් 15 වනදා


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

දෙසැම්බර් 06

First Quarterපුර අටවක

දෙසැම්බර් 15

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 22

Second Quarterඅව අටවක

දෙසැම්බර් 29


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]