UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පුරාණ ලංකාවේ බෞද්ධ කලා ශිල්ප 09: මුරගල වරුණ

මුරගල වරුණ

පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුවේ 
හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ 
සිරිසමන් විජේතුංග 
පුරාවිද්‍යා MSC පර්යේෂණ

" සිංහලයෝ තමන්ගේ පැරැණි විහාර දේවාල හෝ මාලිගා හෝ කිසියම් විශේෂ ගොඩනැගිල්ලක් ඉදිකර අවසන් කිරීමේ දී ඊට ඇතුළුවන දොරටු අලංකාර කිරීමට විශේෂ උත්සාහයක් ගත්හ. ඒ බව අපේ පැරැණි ගෘහ නිර්මාණයන්හි අවශේෂයන්වලින් පැහැදිලි වේ."

පුරාණ ගොඩනැගිල්ලක් පිහිටි මළුවකට ඇතුළුවන හෝ මළුවෙන් ගෙට ඇතුළුවන, මනා ලෙස අලංකාර කළ පියගැටපෙළවලින් යුක්ත ය. මෙයින් පළමුවැන්න බෙහෙවින් මටසිලිටු කළ රූකම්වලින් යුක්ත සඳකඩපහණ විය. පියගැට දෙපැත්තේ රූකමින් යුක්ත වු රූප විරහිත ( රූපනැති) කොරවක්ගල් දෙකකි. කොරවක්ගල් ඉදිරිපිට පුන්කලස්, බහිරව රූප, මිනිස් රූප, මිනිස් වෙස්ගත් නාග රූප ආදියෙන් යුක්ත වූ හෝ කිසියම් රූපයක් නැති දොරටුපාල ගල්වලින් යුතුය. ලංකාවේ පුරාවිද්‍යාඥයෝ මෙම ගල්ලෑලිවලට ‘මුරගල්’ යැයි ව්‍යවහාර කරති.

(මුරගල් ආචාර්ය චාල්ස් ගොඩකුඹුරේ හිටපු පුරාවිද්‍යා කොමසාරිස් පි. 5 පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව – 1965)

විහාර සහ දේවාලයන්හි දොර දෙපැත්තේ මැටියෙන් හෝ බදාමයෙන් සාදන ලද දේවරූපවලට ද දොරටුපාල රූප යන නාමය ව්‍යවහාර කරයි.

මෙය මුල් කාලයේ දී ලී කුඤ්ඤයක් ලෙසින් තිබෙන්නට ඇත. එයින් කොරවක්ගල නො පෙරළී තබා ගැනීමට හෝ, රඳවා ගැනීමට උපයෝගී වනු ඇත.

මුල් කාලයේ දී දැවයෙන් තැනූ මුරගල ඉතා සරල චාම් එකක් විය. සඳකඩපහණ ද මුල් කාලයේ දී කැටයම් රහිත වූයේ ය. දැව වෙනුවට ශිලා (ගල්) පුවරුවක් මේ සඳහා යොදා ගැනීම පැරැණි කාලයේ මුරගල් පිළිබඳ අතීතය සොයා බලන විට පෙනී යන කරුණකි. ඉතා පැරැණි ම මුරගල් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ තිරියාය වටදාගෙය අසල ද, කුරුණෑගල දිස්ත්‍රික්කයේ රාජාංගණ හත්ථිකුච්ඡි විහාරයේ වටදාගෙයි ද දැකිය හැකි ය. තව ද අනුරාධපුරයේ වෙස්සගිරිය අසල ද මුරගලකි. එය ද මුල්කාලයේ ම නිර්මාණය කළ එකකි.

පසු කාලයේ දී මුරගල පැරැණි කාලයේ ලෑලි පුවරුවල නිර්මාණය කළ අතර පසුව ශිලා පුවරුවල නිර්මාණය කර තිබේ. ඒ අනුව පළමුව ගල් පතුරක් හෝ ගලින් කළ කුඤ්ඤයක් සේ තිබූ මුරගල ඉන් පසුව එම ගලේ උඩ කෙරවල දෙක කපා දමා අර්ධ කවයක් ලෙසින් සකසා තිබේ.

ඉන්පසුව එම ශිලා තීරුවේ උඩකවය උල්ව සිටින සේ සකස් කර ඇත. මෙවැනි මුරගල්වලට කදිම උදාහරණය අනුරාධපුරයේ මිරිසවැටිය දාගැබ අසල ඇති මුරගල්වලින් දැකගත හැකි ය. ජේතවනාරාම දාගැබ ඇති ආරාම සංකීර්ණයේ ද මෙවැනි මුරගල් දැකිය හැකි ය.

ඉතා සරලව සාදන ලද මුරගලෙහි මුලින් ම කැටයම් කරන්නට ඇත්තේ පුන්කලස හෙවත් පූර්ණ ඝටය යි.මේ පිළිබඳ අදහස් දක්වන උගතුන් පවසන්නේ මෙම කැටයම් නැති මුරගල ඉදිරිපිට පළමුවෙන් ම පුන්කලස තබන්නට ඇති බවයි. මුරගල් දෙක (කැටයම් රහිත) ඉදිරිපිට ඒ අනුව පුන්කලස් දෙකක් තබන්නට ඇත. පුන්කලස සශ්‍රීකත්වය හා සෞභාග්‍යයේ සංකේතයකි. එය පසුකාලයේ දී මුරගල ඉදිරිපිට තැබීම වෙනුවට එම මුරගලෙහි රේඛා සටහනක් ලෙසින් කැටයම් කළේය. එසේ මුරගලේ මුල්ම කැටයම මුරගල බවට පත් වූයේ ය. ඉතා සියුම් ලෙස සටහන් කළ මුරගලක් ත්‍රිකුණාමලය, දිස්ත්‍රික්කයේ වෙල්ගම් වෙහෙර පුදබිමෙන් හමු වී ඇත. තව ද එවැනි මුරගල් රුහුණේ මගුල් මහ විහාරයේ ද, වව්නියාවේ මඩුකන්ද විහාරයේ ද හමුවී ඇත. රූපය මතු වී පෙනෙන සේ පුන්කලස නිර්මාණය කළ මුරගල් රැසක් ම අනුරාධපුරයේ ද දක්නට ලැබේ. මෙවැනි මුරගල් පැරැණිම මුරගල් බව, පැහැදිලි ය. (පැරැණි හෙළ කලා විස්කම් – සිරිසමන් විජේතුංග පි. 37-38

මුරගල් අතරේ ඉතා අලංකාර මුරගල ඇත්තේ අනුරාධපුරයේ රත්නප්‍රාසාදයේ ඇති මුරගල ය. අනුරාධපුරයේ ජේතවනාරාම කෞතුකාගාරයෙහි (මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත්) එම කෞතුකාගාරයෙහි තවත් නිර්මාණාත්මක මුරගල් දැකිය හැකි ය.

මුරගලෙහි දොරටුපාල රූප

මුරගල් රූප මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා ගේ විශේෂ අවධානයට ලක්වූ තවත් මූර්ති නිර්මාණයකි. පියගැට පෙළ දෙපස කොරවක්ගල් ඉදිරිපසින් සිටුවා ඇති මෙම මුරගල් පුන්කලස්, නාග, බහිරව රූප නෙළා ඇත. මේවා අතර මිනිස් රූපවලින් නිරූපණය කර ඇති නිර්මාණ කලාත්මක අගයෙන් යුක්ත උසස් නිර්මාණ වේ. එක් අතකින් පුන් කලසක් හා අනෙක් අතින් මල් ඉත්තක් රැගෙන සිටින ලෙස කැටයම් කර ඇති මෙම දොරටුපාල රූප දේශීය නිර්මාණයක් ලෙස සැලකිය හැකි වනුයේ මෙබඳු නිර්මාණ පුරාණ භාරතයේ නැති හෙයිනි.

අනුරාධපුර රත්නප්‍රාසාදයෙහි දක්නට ලැබෙන මුරගල් ඒවායේ විකාසනයේ උපරිම අවස්ථාව ලෙසින් සැලකේ. මෙම මුරගලෙහි මානවරූපයට ඉහළින් ආරුක්කුවක් දක්නට ලැබේ. එය කැටයම්වලින් ද යුක්ත ය. ආරුක්කුවේ උඩ කවය මුදුණේ දෙපසට ඇතිව සම්බන්ධ වූ මකර හිස් දෙකක් ද කැටයම් කර ඇත. එම ආරුක්කුවේ දෙපස කවය පටන් ගන්නා තැන මකර හිසක් බැගින් කැටයම් කර ඇත. නාගපෙනහිස වටා ඇති රජ ඇඳුම් පැළඳුම් වලින් සැරසුණු මිනිස් රූපයක් වේ. ඒ රූපයෙහි කැටයම් කළ පුන්කලසක් එක අතකින් ද, අනෙක් අතින් මල් අත්තක් ද දරා සිටී. මෙම රූපය මදක් නැමී සිටින ලෙසින් නෙළා ඇත. එම නැමී ඇති ආකාරය ත්‍රිභංග ලෙසින් හැඳින්වේ. එම රූපය තුන් පළකින්ම නැමී ඇති බව එයින් ප්‍රකාශ වේ.

මෙම මුරගල පාමුල වාමනයෙකුගේ රුවක් ද කැටයම් කර තිබේ. අනුරාධපුරයේ මෙම මුරගල පිළිබඳව හිටපු පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය චාල්ස් ගොඩකුඹුරේ මහතා මෙසේ සඳහන් කරයි. මුරගලේ විකාශනය නාරජ ද්වාර රූපයෙන් මුදුන් පත්වේ. බොහෝ කාලයක් මුළුල්ලේ පැවතුණා වූ ලොකු කුඩා මුරගල් පුරාණ ලක්දිව නොයෙක් පුදබිම්වල දක්නට ලැබුණි. මුරගල් නෙළීමේ අතිදක්ෂතාවය ද, රූප නිර්මාණයෙහි සිංහල ශිල්පියාගේ බුහුටිකම ද නාග මුරගලෙන් පෙන්නුම් කරයි. මෙම රූපයන්ගෙන් ප්‍රධාන වූ නාග රුව ඇඳුම් හා අලංකාර ආභරණ රජකුමරෙකුට සුදුසු ඒවා ය. එම මධ්‍යයේ ඇති රූපය (නාගරුව) එක් අතකින් පුන් කලසක් ද, අනෙක් අතින් දලුලන අත්තක් ද දරයි. හිස් පහක් හෝ හිස් හතක් සහිත හිස්වැසුම (ශීර්ෂාභරණය) නාගයෙකුගේ විහිදුණු පෙණගොප් නා රජුගේ හිස උඩින් අර්ධ මණ්ඩලාකාරව නිරූපණය කර ඇත. නා රජුගේ පාමුල භූතරූපය (මුරගල ආචාර්ය චාල්ස් ගොඩකුඹුරේ හිටපු පුරාවිද්‍යා කොමසාරිස් පි. 9 පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව 1965)

මෙම විශිෂ්ටතම මුරගල් අනුරාධපුර යුගයට අයත් වේ. ක්‍රිස්තුවර්ෂ 8 හා 9 වැනි සියවස්වල මූර්ති ශිල්පය ඉතා විශිෂ්ට අන්දමින් දියුණු වූ බව විද්වත්හු පිළිගන්නා කරුණකි. මෙම රත්න ප්‍රාසාදයෙහි විශිෂ්ට මුරගල් එම යුගයට අයත් සේ සැලකේ.

අනුරාධපුරයේ රත්නප්‍රාසාදයේ මුරගල

ක්‍රිස්තුවර්ෂ 500- 1000 යුගයට අයත් මුරගල්වල මූර්ති කැටයම් සෞන්දර්යාත්මක වශයෙනුත්, ශිල්පීය වශයෙනුත් ක්‍රිස්තු වර්ෂ 9 වන ශතවර්ෂය වන විට උසස් තත්ත්වයකට පත් වී තිබුණි. අභයගිරි විහාරයේ රත්නප්‍රාසාදයේ මුරගල (ක්‍රි.ව. 9 සියවසට අයත්) මූර්ති කැටයම් කලාවේ අග්‍රඵලයකි. කඩවසම් පුරුෂ දේහය, සෞන්දර්යයෙන් පිරි තාරුණ්‍යය, ආචාරශීලි හා තේජාන්විත බව මූර්තිමත් වන සේ මෙහි දිසාපාලක රුව හතරෙන් තුනක් පමණ මතු වන සේ ත්‍රිභංග ඉරියව්වෙන් නෙළා ඇත. දිව්‍යරාජයෙකුට අවශ්‍ය ඇඳුම් පැළඳුම් වලින් සැරසී සිටින මෙම මූර්තියේ අඩක් ඔසවන ලද දකුණු අතේ ඉතා සියුම් කැටයම් සහිත පුන්කලස දක්නට ලැබේ. කටිය මට්ටමේ දී වමතින් අල්ලා ගත් මල් අත්තකි. හිසවටා ඇති නාග පෙන හත දුටුවන් බිය ගන්වන තරම් ස්වභාවික ලෙසින් නෙළා ඇත. මුරගලේ රූපය දෙපස කුළුණු දෙක මත උඩට කට දල්වා ගෙන සිටින මකරුන් දෙදෙනෙකි. මකර කටවල සිට මුරගලේ ඉහළ බෝඩරය ආරුක්කුවක හැඩයෙන් යුක්ත ය. එක් පාදයක් යට වාමන රූපයකි. මෙම මුරගල ක්‍රිස්තු වර්ෂ අට වැනි සියවසට අයත් ය. (පුරාණ අනුරාධපුරය මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න පි. 170 -1994)

 

ඉල් අමාවක පෝය


ඉල් අමාවක පෝය දෙසැම්බර් 06 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 12.16ට ලබයි.07 වනදා සිකුරාදා අපරභාග 12.55 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම දෙසැම්බර් 06 වනදා බ්‍රහස්පතින්දා ය.

 

මීළඟ පෝය දෙසැම්බර් 15 වනදා


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

දෙසැම්බර් 06

First Quarterපුර අටවක

දෙසැම්බර් 15

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 22

Second Quarterඅව අටවක

දෙසැම්බර් 29


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]