UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නිමක් නැති අපා දුක

නිමක් නැති අපා දුක

" කවුරුත් අපායට බය වන්න. අපායේ ස්වභාවය දුක් ලබා දීම යි. ඒ දුක මෙතරම් යැ’යි කල්පනා කර “මා නම් අපායට යන්නේ නැහැ’යි” සිතා කිසිම දවසක සත්ත්ව ඝාතන ආදී කිසිදු පාපයක් සිදු නොකරන්න. "

සම්බුදු සසුන ලැබී ඇති මේ කාලයේ ද පන්සලට යන්නේ අල්ප පිරිසක්. දාන මාන පින්කම් සිදු කරන්නේ ද ,පෝයට සිල් සමාදන් වන්නේ ද, බණ භාවනා කරන්නේ ද අල්ප පිරිසක්. මේ ගැන සිතා බැලූ විට ලෝක සත්ත්වයා වාසය කරන්නේ භයානක තත්ත්වයක යි. ලෝකයේ බහුලව ම සත්ත්වයන් අපා ලෝකවල වාසය කරන අතර එයට හේතු වන්නේ පව්කාරයන් බහුලවීම යි.

බුදුසරණ පුවත්පතේ පුර පසළොස්වක පොහොයට පළවන ‘බිහිසුණු අපාය’ ලිපි පෙළෙහි හතළිස්වන අපාය වන්නේ සත්තිලෝම නරකය යි. කෙනෙකු මනු ලොව සිටිය දී සතුන්හට කිණිසි ආදී විවිධ ආයුධවලින් ඇණ, වධ හිංසා පමුණුවා, මරා මාංශ අනුභව කරන්නන්, මාංශ විකුණන්නන් මෙම අපායේ උපත ලබයි. එහි උපත ලබන නිරි සතුන්ගේ සිරුරේ ඇති සෑම ලෝම ගසක් ම හෙල්ලක් සේ සැකසී නිරි සතාගේ සිරුරේ ම ඇණෙයි. අන් නිරි සතුන්ගේ ලෝම ගස් ද තමාගේ සිරුරේ වැදී මස් ගැලවෙයි. රුධිරය ගලා යයි. එසේනම්, හොඳට මතක තබා ගන්න, දැන දැන කිසිම සතෙකු ඝාතනය කරන්න එපා. මැස්සෙක්, මදුරුවෙක්, හිසේ ඇති උකුණෙක්වත් මරන්න එපා. තමා සතාට දුන් වධ හිංසාව මෙන් සිය දහස් ගුණයක වධ හිංසා ලැබී සත්ති ලෝම නරකයේ දුක් විඳින්න සිදු වෙයි. තිරිසන් ලොව උපන්නත් රිය අනතුරකින් හෝ සිරුර කුඩු පට්ටම් වී විපාක වශයෙන් ලැබෙයි.

හතළිස් එක්වන නරකය උසුලෝම නරකය යි. එහි දී විපාක ලබන්නේ දුනු, ඊතල මඟින් සතුන් මරා මස් අනුභව කළ අය යි. පුරාතන ඇතැම් මිනිසුන් සතුන් මරා මස් අනුභව කළා. බොහෝ රටවල පණ පිටින්ම සතුන් අනුභව කරනවා. ඔවුන් පාපයේ විපාකය කිසි විටකත් නො දනියි. එසේනම්, කිසි දිනෙක සතෙක් මරා මාංශ අනුභව කරන්න එපා. විකුණන දේ ආහාරයට ගැනීමට වඩා සතෙකු මරාගෙන ආහාරයට ගැනීම භයානක පාපයක්. මනු ලොවේ දී විවිධ සතුන් වධ හිංසා පමුණුවා මරණයට පත් කළා සේ උසුලෝම නරකයේ දී විපාකය දහස් ගුණයකින් වැඩි වී සිරුර කපා කොටා, ඉරා දමා දරුණු වධ හිංසා අපායේ නිරි සතුන්ගෙන් පාපියාට ලැබෙනවා. අපායේ උපත ලබා දුක් විඳින විට අනේ! මින් මතු නම්, මා ප්‍රාණඝාතයෙන් වැළකෙනවා යැ’යි පවසනවා. එතැන දී එසේ පැවසුවාට වැඩක් නැහැ. කළ පාපයට විපාක විඳිය යුතුම යි. මනු ලොව ද ඇතැම් විට අඩු වයසින් මරණයට පත් වන්නේ සත්ත්ව ඝාතනය කළ අය යි. එසේම ශරීරයේ කැපීම්, කෙටීම් ආදිය සිදු වන්නේ ද සත්ත්වයන්ට දුන් වධ හිංසාවන්ගේ විපාකයන් නිසා යි. මේවා හොඳින් දැන කියාගෙන කිසිම සතෙකුට හිංසා පීඩා නො කරන්න. ‘සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! යනුවෙන් සැවොම සෑම ඉරියව්වක දී ම මෛත්‍රී භාවනාව වඩන්න. එවිට අවිහිංසාවාදය දියුණු වී සතුන්ට හිංසා පීඩා කරන්නට සිතක් යෙදෙන්නේ ම නැහැ.

හතළිස් දෙවන නරකය රථාචාරී නරකය යි. පෝය දවසට සිල් සමාදන් නොවී රිය පැදවීම, රිය දැක්කීම ද පාප කර්මයක් වෙයි. සතුන් බැඳි කරත්ත දැක්කීම පොහොය දිනට සුදුසු නො වෙයි. එදාටවත් සතාට විවේකයක්, නිදහසක් දිය යුතු යි. මෙම අපායේ උපත ලබන නිරි සතුන්ගේ සිරුර ගිනි ගත් රථයක බැඳ යමපල්ලන් විසින් වධ හිංසා පමුණුවනු ලබයි. සිරුර ගිනි ගන්නා අතර නිබඳව ම ගිනියම් රථයක නිරි සතා වාඩි කරවා තැබීම කෙතරම් භයානක දැ’යි බලන්න? ඒ නිසා පොහොය දිනට පොළොව කෙටීම්, සතුන්ගෙන් වැඩ ගැනීම්, විවිධ වැඩ රාජකාරි ආදී කටයුතු කිරීමෙන් වැළකී සිල්වත්, ගුණවත් ජීවිතයක් ගත කරන්න.

හතළිස් තුන්වන නරකය භූතකාදි නරකය යි. මිනිස් ලොවදී විවිධ දෙයට සම්මාදම් කළ දේ නොදී අනුභව කරන්නන් මෙහි උපත ලබයි. හොඳට මතක තබා ගන්න, ශාසනික දේ, ජාතික දේ සොරා කෑම බොහොම භයානක යි. ඒ නිසා තමා එවැනි මුදලක් ගත්තොත්, නැවත ඒ තැන්වලට ලබා දී සමාව ගත යුතු යි. ලබාගත් සම්මාදම් නිවැරැදි ව විය පැහැදම් කළ යුතු යි. අද බොහෝ දෙනෙක් දන්සල්, වෙහෙර විහාර ආදී විවිධ දෙයට මුදල් සම්මාදම් කර අනුභව කරනවා. ඒ අය උපත ලබන්නේ භූතකාදි නරකයේ ය. එම අපායෙහි උපදින නිරි සතුන්ට දුක සීමාවක් නැහැ. ඉවසිය නො හැකි ඉතා දුර්ගන්ධ අසූචි අනුභව කරන්නටත්, ඒ මත උඩ, යට සැරිසරන්නටත් ඔවුන්ට සිදු වෙනවා.

හතළිස් හතර වන අපාය සූචක නරකය යි. එහි උපත ලබන්නේ මනු ලොව සිටියදී යකඩ කූරු, ඉදිකටු, වෙඩි බෙහෙත්, කටු ආදී උපක්‍රම යොදා සතුන් මරන්නන් ය. මසුන් අල්ලන්නන් ‘බිලී කොකු’ භාවිත කරයි. වන සතුන් මැරීමට විවිධ කම්බි, වෙඩි ආදිය යොදා ගනියි. මෙවැන්නෝ උපත ලබන්නේ සූචක නරකයේ ය. මෙවැනි පාප කර්ම කළ අය සූචක නරකයේ දී මහා විශාල ගින්නකට ඇද විසි කර දමයි. සතුන්ට දුන් දඬුවමට වඩා සිය දහස් ගුණයක විපාක නිරි සතුන්ට විඳින්නට සිදු වෙයි. එසේනම්, කවුරුත් අපායට බය වන්න. අපායේ ස්වභාවය දුක් ලබා දීම යි. ඒ දුක මෙතරම් යැ’යි කල්පනා කර “මා නම් අපායට යන්නේ නැහැ’යි” සිතා කිසිම දවසක සත්ත්ව ඝාතන ආදී කිසිදු පාපයක් සිදු නොකරන්න.

තමා පුළුවන් තරම් හොඳින් ජීවත් වනවා යනුවෙන් අධිෂ්ඨාන තබාගෙන, තුනුරුවන් වැඳ පුදාගෙන එයට සමීප වෙන්න. ශාසනික ගුණ සම්පත් ගැන කල්පනා කර, ඒවා වැඩි දියුණු කළොත් කිසිදු කරදරයක් වන්නේ නැහැ. දෙව් ලොවේ ඇති සැපය, අපායේ ඇති දුක, නිවන් මගේ ඇති වාසනාවන්ත බව සිතා නුවණ පාදාගෙන යහපත් ජීවිකාවක් ගත කරන්න. සම්මා සම්බුද්ධ ශාසනය ලබා ගත් ඔබ , අපි සියලු දෙනාම පාපයෙන් වැළකී පින් දහම් කර, කාය සංවරය, වචී සංවරය, මනෝ සංවරය, ඇති කර ගනිමු. සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය දියුණු කර ගන්න. දස පාරමිතා සම්පූර්ණ කරගෙන බුද්ධ ශාසනයෙන් ලබා ගත යුතු උතුම් ම දේ ලබාගෙන බුදුරජාණන් වහන්සේට, නව ලොවුතුරා ධර්මයට, මහා සංඝරත්නයට ගෞරවයෙන්, හැදූ වැඩූ මව් පියන්ටත් ඇප උපස්ථාන කර, පන්සිල් හොඳින් රැක , දාන ශීල භාවනා පින්කම් කිරීමෙන්, කිසිම නරකයකට වැටෙන්නේ නැහැ. සුගතියක ම වාසය කර, මහා සැප සම්පත් ලැබ, දිව්‍ය විමානවල වාසය කර, කටයුතු කරන්න පුළුවන්.

පිනට දහමට ගුණයට ලැදිව , මව් පියන්ට, ස්වාමියාට, ස්වාමි දියණියට සලකා, දරුවන්ට නිසි මඟ පෙන්වා දුන්නොත්, අපා ලෝකවල දොරටු වැසී යනවා. සත්පුරුෂ ධර්ම දියුණුවෙන් ඔබ අප සැම සතර අපායෙන් අත්මිදී, මනු ලොව, දෙව් ලොව වාසය කර දස පාරමිතාවන් පුරා බුදු,පසේ බුදු, මහ රහතන් වහන්සේ නිවී සැනසී වැඩ වදාළ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ලැබෙන සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අර්හත් යන මාර්ග ඵල පිළිවෙළින් සිද්ධ වන ශාන්ති ලක්ෂණ අමා මහා නිවන් සම්පත් අවබෝධ කර ගන්නට ලැබේවා!

 

ඉල් පුර පසළොස්වක පෝය


ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් මස 22 වන දා බ්‍රහස්පතින්දා අපරභාග 12.51 ට ලබයි. 23 වන දා සිකුරාදා පූර්ව භාග 11.08 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 22 වන දා බ්‍රහස්පතින්දා ය.

 

මීළඟ පෝය නොවැම්බර් 30 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 22

Second Quarterඅව අටවක

නොවැම්බර් 30

Full Moonඅමාවක

දෙසැම්බර් 06

First Quarterපුර අටවක

දෙසැම්බර් 15


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]