UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

 

ඉල් පුර පසළොස්වක 2018.11.22

අඹ උපමාව...

ජීවිතයේ යා යුතු මග මේ යැයි කවර තරමේ අවවාද උපදෙස් ලැබුණ ද වැඩි පිරිසක් යන්නේ හරිමග නොව නො මගය. එලොව ද මෙලොව ද අවැඩ සාදා ගන්නා එවැන්නෝ අතීතය හා සසඳා බැලීමේ දී නම් මෙකල බොහෝ යැයි හැඟේ. ලද දෙයින් සතුටු වූ , අල්ප කෘත්‍ය වූ සරල ජීවිතය සංකීර්ණ වීමත් සමඟ අපේ මිනිසුන්ගේ අවශ්‍යතා අප්‍රමාණ විය. ඒවා සපුරා ගන්නට මුදල් පසුපසම හඹා යාම ඒ තුළ, අනේකවිධ පුද්ගලයන් ඇසුරු කරන්නට සිදුවීම ආදි බොහෝ අනර්ථවත් දේ තමන්ට තමන් කවුදැයි හඳුනාගත නොහැකි තැනට මිනිසා පත්කරන්නට හේතු සාධක වී ඇති බවට සමාජයේ ඇසෙන දකින දේ ම සාධක ය.

හරිමග යන්නට ද, වැරැදි මග යන්නට ද පුද්ගල ඇසුර ප්‍රබල ලෙස බලපෑම් ඇතිකරයි. යහපත් මව්පිය ඇසුරේ හැදෙන වැඩෙන දරුවෝ ද යහපත් වෙති. යහපත් ගුරු ඇසුර ලබන දරුවෝ නැණවන්තයින් සේ ම ගුණවන්තයින් ද වෙති. කලණ මිතුරු ඇසුර ද එවැනිම ය. පස්පව් කරමින් වැරැදි මග යන්නෝ ද, යහපත් ඇසුර නිසා නිවැරැදි මඟට එති. එහෙත් බොහෝ දෙනෙකුට වරදින්නේ ඇසුරු කළ යුතු අය තෝරා ගැනීමේ දී ය.

මේ සමාජයේ බොහෝ දෙනෙක් අන්‍යයන් මනින්නේ බාහිර පෙනුමෙන් ය. ඇඳුමෙන් පැළඳුමෙන් ය. ගමනෙන් බිමනෙන් ය.එක්කෝ කතා බහෙන් ය. බාල, මහලු, ස්ත්‍රී පුරුෂ භේදයක් එහි නො වන්නේය. එහෙත් අපගේ ශාස්තෘන් වහන්සේ තථාගත බුදුරජාණන් වහන්සේ අපට දේශනා කොට වදාළේ බාහිර පෙනුමෙන් නොව නුවණින් දැක කෙනෙකු ඇසුරු කළ යුතු බව ය. ඒ , මේ සමාජය තුළ ජීවත්වන්නෝ විෂමාකාර වන නිසා ය. එක් අවස්ථාවක උන්වහන්සේ පුද්ගල විෂමතාවය ගැන සඳහන් කිරීමේ දී මෙලොව ජීවත්වන පුද්ගලයින් සිව් දෙනෙකු පිළිබඳව අඹ උපමාව ගෙන හැර දැක්වූ හ. පිටතින් අමු යැයි පෙනෙන, කැපූ විට අමු වූ අඹ එක් වර්ගයකි. පිටතින් අමු යැයි පෙනෙන කැපූ විට ඉදුණු අඹ තවත් වර්ගයකි. පිටතින් ඉදුණු යැයි පෙනෙන කැපූ විට අමු වූ අඹ සහ පිටතින් ඉදුණු යැයි පෙනෙන කපා බැලූ විට ද ඉදුණු අඹ අනෙක් වර්ගයන් ය.

අප අතර ජීවත් වන්නෝ ද මෙවැනි ය. පිරිසක් බාහිරව ද දුසිල්වත් සේ පෙනෙන අතර ඇසුරු කිරීමේ දී ද දුසිල්වතුන් ම ය. එවැන්නෝ පළමුව කී අඹ වර්ගය හා සමානය. එවැන්නෝ ඇසුරු නොකළ යුතු ම ය. සමහරු බාහිර ස්වරූපයෙන් දුසිල්වතුන් සේ පෙනේ. එහෙත් අභ්‍යන්තරය සිල්වත් ය. ඔවුන් දෙවැනිව කී අඹ වර්ගයට සමාන ය. තවත් පිරිසක් බාහිර ස්වරූපයෙන් බොහෝ සිල්වත් සේ දිස්වේ. එහෙත් අධ්‍යාත්මිකව පිරිහී ගිය කිසිදු ගුණධර්මයක් ඔවුන්ට නැත. එවැන්නෝ තෙවනුව සඳහන් කළ අඹ වර්ගය හා සමය. සිව්වැන්නෝ බාහිර පෙනුමෙන් ද අධ්‍යාත්මික ගුණ දහමින් ද පොහොසත් වූවෝ ය. ඔවුහු ඇසුරට වඩාත් සුදුස්සෝ වෙති.

කුඩා දරුවෙකුට නම් අත්දැකීම් මදකම නිසා කවරෙක් ඇසුරු කළ යුතු ද, නොයුතුද යන්න තෝරා බේරා ගැනීම අපහසු ය. ඔවුන්ට හොඳ නරක නොතේරේ. ඔවුන් වෙනුවෙන් මව්පියන් ඉදිරිපත්වීය යුතුය. දරුවන් පසුපසම හිඳිමින් නිසි මගට නිසි ඇසුරට යොමු කළ යුතුය. එහෙත් වයසින් මෝරත්ම අත්දැකීම ඇසුරින් පවිටු පුද්ගලයන් හඳුනා ගැනීම අසීරු නොවේ. එහෙත් එවැන්නෝ ද වැරැදි ඇසුරට යන්නේ අඥානකම නිසා ය. එය දුරු කර ගන්නට නම් නිසි අවබෝධය අවැසි ය. සමාජය පිළිබඳ අවදිමත් මනසකින් යුතුවීම ඇවැසිය. ඒ සඳහා ප්‍රඥාවන්තයින්, ගුණවතුන්, ඇසුරුකළ යුතුය. නිවැරැදි පොතපත කියවිය යුතුය. සමාජයේ ගෞරවයට පාත්‍ර වූ සැබෑ ගුණවතුන් කොතෙකුත් සිටිති. එවැන්නෝ සමාජයෙන් බුහුමන් ලබන්නේ මිලමුදලට නොවේ. නිලයට, බලයටද නොවේ. සිල්වත් ගුණවත් ජීවිතය නිසාය. ඒ අය හඳුනාගන්නට ඇවැසි බුද්ධිය ප්‍රගුණ කළ යුතුය.

පිටතින් ඉදුණු සේ පෙනෙන, ඇතුළතින් අමු අඹ සේ දුසිල්වත්හු ගිහි සමාජයේ වෙති. පැවිදි සමාජය මහා සාගරයක් නම්, ඉන් දිය දෝතක් තරම් ප්‍රමාණයක් දුසිල්වත් භික්ෂු වෙස් ගත්තෝ ද වෙති. තමන්ගේ පටු අරමුණු ඉටු කරගනු පිණිස දුර්මත මුදා හරින එවැන්නන්ගෙන් ද වෙසෙසින් ධර්මාවබෝධය ලැබීමේ දී පරෙස්සම් විය යුතුය. කිරි කළයට ගොම බිඳක් වුව මුසු වූයේ නම් කිරි කළයම නිෂ්ප්‍රයෝජනය . අයහපත් ඇසුර නිසා සිදුවන්නේ ද එවැන්නකි. නිවැරැදි දෙයම දකින්නට, නිවැරැදි අය ම හඳුනා ගන්නට උත්සාහ කළ යුතු ය.

 

ඉල් පුර පසළොස්වක පෝය


ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් මස 22 වන දා බ්‍රහස්පතින්දා අපරභාග 12.51 ට ලබයි. 23 වන දා සිකුරාදා පූර්ව භාග 11.08 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 22 වන දා බ්‍රහස්පතින්දා ය.

 

මීළඟ පෝය නොවැම්බර් 30 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 22

Second Quarterඅව අටවක

නොවැම්බර් 30

Full Moonඅමාවක

දෙසැම්බර් 06

First Quarterපුර අටවක

දෙසැම්බර් 15


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]