UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී දළදා පුරාණය - 21: අති පූජනීය දළදා වහන්සේ වැඩමවන පුණ්‍යවන්ත හස්තිරාජයා

අති පූජනීය දළදා වහන්සේ වැඩමවන පුණ්‍යවන්ත හස්තිරාජයා

ක්‍රි.ව. 310 වන වර්ෂයේ දී එනම්, කීර්ති ශී‍්‍ර මේඝවර්ණ රාජ්‍ය සමයේ දී බුදුරජාණන් වහන්සේගේ අතිපූජනීය වූ දළදා වහන්සේ ලංකාද්වීපයට වැඩම කර ඇත.

එතැන් පටන් රජු ඇතුලු සියලු රටවැසියන් දළදා වහන්සේ උදෙසා පුද පූජා පැවැත්වූ ආකාරය දාඨා වංශය, මහාවංශය, දළදා වංශය ආදි ග්‍රන්ථවල සඳහන් තොරතුරු ආශ්‍රයෙන් පැහැදිලි කරගත හැකි ය. කල්යාමේ දී රටේ සශ්‍රීකත්වය උදාකරගැනීම පදනම් කරගනිමින් ද, රාජ්‍යයත්වයේ සංකේතයක් ලෙස සලකමින් ද දළදා වහන්සේ ගරුබුහුමන් ලැබූ අයුරු ඓතිහාසික තොරතුරු අනුව අනාවරණය වේ. කලින් කලට පැවැති රාජ්‍යයත්වයත්, රාජධානි මාරුවීමත් සමඟ දළදා වහන්සේත් ඒ ඒ රාජධානිවලට වැඩම කරමින් රමණීය ලෙස නිර්මාණය කරන ලද දළදා මාලිගාවන් තුළ තැන්පත් කර ඇත. ඊට අනුකූලව වර්තමානය වන විට ශ්‍රී දළදා වහන්සේ මහනුවර දළදා මාලිගාවේ වඩා හිඳුවා ඇති අයුරු දැක ගත හැකි ය. බෞද්ධයාගේ මුදුන් මල්කඩ බඳු වූ අතිපූජනීය දළදා වහන්සේ වෙනුවෙන් නිරන්තරයෙන් ම මහත් උත්කර්ෂවත් අන්දමින් පුදපූජාවන් සිදුකිරීම අතීතයේ සිට පැවතෙන චාරිත්‍රයක් ලෙස සඳහන් වේ. තව ද, වර්තමානයේ දී සංස්කෘතික වශයෙනුත්, සෞන්දර්යාත්මක ප්‍රසංගයක් වශයෙනුත් එහි පැවැත්වෙන ඇසළ පෙරහර මංගල්‍යය කලාත්මක සංදර්ශන මාලාවකින් යුක්ත වන බව සඳහන් කළ හැකි ය. වාර්ෂික ව පවත්වනු ලබන ඇසළ පෙරහර වර්තමානයේ දී දෙස් විදෙස් සියලු ජනතාවගේ ගෞරවාන්විත උත්සවයක් බවට පත්ව තිබේ. දළදා වහන්සේ පෙරහරේ වැඩම වීම යන උදාර කාර්යභාරය ඉෂ්ට කිරීම සඳහා උචිත වන ඇතුන්ගේ හිඟතාවයක් පවතී.

අතීතයේ දී ඒ සඳහා විශාල ඇත්පංතියක් පැවතිය ද, වර්තමානය වන විට විවිධ බලවේග හමුවේ එම තත්ත්වය අඩු ප්‍රවණතාවයකින් දක්නට ලැබේ. ඒ අනුව අතීතයේ දී දළදා වහන්සේ වැඩම වීම සඳහා ගෞරවාන්විතභාවයක් ඉසිලූ ඇත් රාජයෙක් ලෙස රාජා හස්තියා හැඳින්විය හැකි ය. වර්තමානය වන විට නැදුන්ගමුවේ රාජා නමින් හඳුන්වන ඇත්රාජයා විසින් රාජා හස්තියාට හිමිව පැවැති ස්ථානය ලබාගෙන ඇත. නැදුන්ගමුවේ රාජා නමින් හඳුන්වනු ලබන හස්තිරාජයා දළදා වහන්සේ වැඩම කිරීම සඳහා ම පරිපූර්ණ වු හස්තියකුගේ ලක්ෂණ හිමිකරගෙන ඇත. සමව පිහිටි සතර පාද, කුළු වැනි විශාල දෙකන්, අඩි 11 ක් පමණ බිම ගෑවෙනසේ දිගු සොඬ, සහ දළදා කරඬ¼ුව තැබීමට උචිත වන පරිදි සකස් වූ පිට යනාදි වශයෙන් සකස් වු දේහ ලක්ෂණයන් එම හස්තිරාජයාට පරිපූර්ණ ව පිහිටා තිබීම විශේෂ ලක්ෂණයක් ලෙස සඳහන් කළ හැකි ය. එපමණක් නොව, පුදුම එළවන සුළු ඉවසිලිවන්ත බව, විනයානුකූල බව යන උත්තුංග ගුණයන්ගෙන් නැදුන්ගමුවේ හස්තියා ඉහළ තත්ත්වයක් උසුලනු ලබයි. තව ද, සියලු ගමන් බිමන් පා ගමනින් ම සපුරා ගන්නා හස්තියා දළදා හාමුදුරුවන් වහන්සේ පෙරහරේ වැඩම කරවීම සඳහා මහනුවර ප්‍රදේශයට පැමිණීමත් සමඟ කිලෝමීටර් 50,000 ටත් වැඩිදුර ප්‍රමාණයක් පා ගමනින්ම ගමන් කර ඇති බව සඳහන් වේ. 2018 වර්ෂයේ ඇසළ පෙරහර පැවැත් වූ කාල වකවානුව වන විට නැදුන්ගමුවේ හස්ති රාජයා වසර 13 ක් දළදා පෙරහරේ කරඬුව වැඩම කරතිබීම මහාර්ඝ පුණ්‍ය කටයුත්තක් ලෙස සැලකිය හැකි ය.

වයස අවුරුදු 60 ක් පමණ වුව ද, එම පුණ්‍යවන්ත හස්තිරාජයා අනෙකුත් දෑළේ ඇතුන් සමඟ දළදා පෙරහරේ ඉදිරියට ඇදෙන්නේ ඉතාමත් සාඩම්බර ලීලාවකින් බව සියලු දෙනාගේ පිළිගැනීමක් බවට පත්ව තිබේ. එම දසුන නෙත ගැටෙන සියලු දෙනාගේ ම මුවගින් මහහඩින් සාධුනාදය දෝංකාර දෙනුයේ එ නිසාම ය . තව ද, එම හස්තිරාජයා බෞද්ධ අබෞද්ධ දෙස්, විදෙස් ජනතාවගේත් සම්භාවනාවට පාත්‍රවන බව අමතක නොකළ යුතු කරුණකි. එසේ නම්, එම උදාර කාර්යභාරය ඉෂ්ට සිද්ධ කරන නැදුන්ගමුවේ ඇත් රාජයා පිළිබඳව අප කෙතරම් සිතිය යුතු ද? විශේෂයෙන් ම අතීතයේ දී ජීවත් වූ අප මුතුන් මිත්තන් වංගෙඩියට, මෝල්ගහට, වට්ටියට හට්ටියට පවා ගෞරව දක්වා ඇත. තමාට ආහාරපාන සපයා දෙන වස්තූන්ට කෘතගුණ සැලකීමට අප බෞද්ධ ජනතාව කිසිදු ආකාරයෙන් පසුබට නොවුණු නිසා ය.

එපමණක් නොව අතීතයේ ජීවත්වූ මිනිසුන් ගස්, වැල් පවා වන්දනාමාන කරමින් ඒවාට පුද පූජා සිදුකර ඇත. එනිසාම එම කාරණය අපට අරුම පුදුම කාරණයක් ද නොවේ. විශේෂයෙන්ම මෙවැනි තිරිසන්ගත සත්ත්වයෙකු ලෙස හැඳින්වුව ද නැදුන්ගමුවේ ඇත්රාජයා වෙනුවෙන් ඉටුකරනු ලබන පුද සත්කාර සියල්ලක්ම සිදුකරනු ලබන්නේ දළදා හාමුදුරුවන් වහන්සේ වැඩම කරන නිසා ය. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලැබූ පළමු අවස්ථාවේ දී ම උන්වහන්සේට බුද්ධත්වය අවබෝධකරදීම සඳහා පිහිටක් වූ, සෙවණක් වූ ඇසතු බෝධිරාජයාණන් උදෙසා සතියක් පුරා ඇසිපිය නොහෙළා බලා හිඳිමින් අනිමිස ලෝචන පූජාව පවත්වා කෘතගුණ සැලකූ අයුරු ලොවට ආදර්ශයක් විය.

නැදුන්ගමුවේ ඇත්රාජයා වෙනුවෙන් කළ හැකි ගෞරව සියල්ලම කෘතගුණ සැලකීමක් වශයෙන් බෞද්ධ ජනතාව විසින් වර්තමානය තුළ ද ඒ ආකාරයෙන් සිදුකරනු ලබයි. නැදුන්ගමුවේ ඇත්රාජයා සිදුකරනු ලබන එම මහාර්ඝ පුණ්‍ය කටයුත්ත පදනම්කරගෙන ඇත්රාජයා වාසය කරන කිරිඳිවැල ප්‍රදේශය තුළ මහත් උත්කර්ෂවත් අන්දමින් උත්සවයක් පවත්වා හස්තිරාජයා තවදුරටත් ඉහළට ඔසවා තබන්නට කටයුතු කළහ.

මල්වතු අස්ගිරි උභය මහා විහාරීය නා හිමිපාණන් වහන්සේලා ඇතුලු මහා සංඝරත්නය දළදා මාලිගාවේ දියවඩන නිළමේතුමන්, ඇත්රාජයාගේ හිමිකරුවා සේ ම ඇතාගේ සියලු සෞඛ්‍යාරක්ෂිත බව වෙනුවෙන් කැප වන වෛද්‍යාචාර්ය නැදුන්ගමුවේ හර්ෂ විජය ධර්ම ශ්‍රී මහත්මා, දේශපාලන අධිකාරය මෙන් ම ආරක්ෂක බලධාරින් විසින් එම ඇත්රාජයා වෙනුවෙන් කළ යුතු ඇප උපස්ථාන ගෞරව සම්මාන සියල්ලක්ම සිදුකරනු ලබයි. විශේෂයෙන් ම වර්තමානය වන විට එම ඇත්රාජයා කිරිඳිවැල ප්‍රදේශයේ සිට දළදා කරඬුව වැඩම කරවීම සඳහා පැමිණෙන අවස්ථාවලදී මග දෙපස රැඳී සිටින බොහෝ ජනතාවගේ වැඳුම් පිදුම් වලට පාත්‍රවෙමින්, ප්‍රාදේශීය වශයෙන් මහා සංඝරත්නයේ ආශිර්වාද පිරිත් සජ්ඣායනා මධ්‍යයේ නැදුන්ගමුවේ ඇත්රාජයා මහනුවර ප්‍රදේශයට පැමිණෙන ආකාරය අපට දැකගත හැකි ය. වර්තමානය වන විට නැදුන්ගමුවේ ඇත්රාජා අපට සිටින ජාතික වස්තුවක් ලෙස සැලකිය හැකි ය. වර්ෂ ගණනාවක් පුරා අඛණ්ඩව දළදා හාමුදුරුවන් වහන්සේ වැඩම කරවීම සඳහා, ගෞරවාන්විත ව, ඉවසිලිවන්ත ව, විනායානුකූල ස්වභාවයකින් කටයුතු කරන නැදුන්ගමුවේ ඇත්රාජයා ජාතික වස්තුවක් ලෙස සලකමින් එම ඇත්රාජයා සුරක්ෂිත කිරීම සියලු දෙනාගේම වගකීමක් බවට පත්වේ.


ශ්‍රී දළදා පුරාණය - 20 : අතිපූජනීය වූ දළදා වහන්සේ උදෙසා පවත්වනු ලැබූ විශේෂිත පුදපූජා

 

ඉල් පුර පසළොස්වක පෝය


ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් මස 22 වන දා බ්‍රහස්පතින්දා අපරභාග 12.51 ට ලබයි. 23 වන දා සිකුරාදා පූර්ව භාග 11.08 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 22 වන දා බ්‍රහස්පතින්දා ය.

 

මීළඟ පෝය නොවැම්බර් 30 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 22

Second Quarterඅව අටවක

නොවැම්බර් 30

Full Moonඅමාවක

දෙසැම්බර් 06

First Quarterපුර අටවක

දෙසැම්බර් 15


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]